රවි කරුණානායක මන්ත්‍රීවරයා විදුලිබල හා බලශක්ති ඇමැති ලෙස පත්වූවාට පසු විදුලි බල අමාත්‍යංශයේ මෙතෙක් පැවැති සම්ප්‍රදායන් සහ රාජකාරිවල විශාල පරිවර්තනයක් කිරීමට කටයුතු යොදමින් සිටි බව වාර්තා විය. මෙහි එක් පියවරක් ලෙස 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල අමාත්‍යංශ පනතේ වගන්ති ගණනාවක් සංශෝධනය කිරීමට යෝජනා වී තිබුණි. මේ පිළිබඳ පසුගිය 25 දා විදුලි බල ආංශික අධීක්ෂණ කාරක සභාව සමඟ ද සාකච්ඡා කර ඇති අතර විදුලි පාරිභෝගිකයන් සතුව විදුලි බල මණ්ඩලයේ පවතින රුපියල් කෝටි 1550 කට ගෙවිය යුතුව තිබූ පොලිය වූ කෝටි 815 මුදල පාරිභෝගිකයාට නොගෙවා අමාත්‍යංශය සතුකර ගැනීම මෙම සංශෝධනවල එක් අරමුණක් විය. මුලදී තීරණය වී තිබුණේ මෙම පොලී මුදල පාරිභෝගික බිල්පත්වලින් අඩු කර ගැනීමටය. එය විදුලිබල පනතේ 28 – 3 වගන්තියේ දක්වා තිබිණ.
ඒ සමඟම බලාපොරොත්තු වූයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අවසන් අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බවට පනතේ අඩංගු ප්‍රතිපාදන ඉවත් කිරීමය. මෙයට පෙරද ගාස්තු වැඩි කිරීමට අමාත්‍යංශය උත්සාහ ගත් අවස්ථාවලදී මහජන උපයෝගිතා කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා නීති සංශෝධනය කර එම බලය තමාට ලබාගැනීම අමාත්‍යවරයාගේ අපේක්ෂාව වූයේය.
අනිත් සංශෝධනය වූයේ විදුලි බල පනතේ 43 (4) යන අනු වගන්තිය ඉවත් කර තරඟකාරී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විදුලිය මිලට ගැනීමට බලය ලබාගැනීමට යාමය. ඒ අනුව හදිසි අර්බුදකාරී අවස්ථාවලදී මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියකින් තොරව අධික මිලට විදුලිය ලබාගැනීමේ බලය ද ඇමැතිවරයාගේ අතට ගැනීමට බලාපොරොත්තු විය. එහිදී දැනට සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් ලබාගන්නා රුපියල් 20 මිල මෙන් දෙගුණයකට ද වැඩියෙන් ගෙවීමට සිදුවනු ඇත.
මේ අතර ඇමැතිගේ සම්බන්ධතා ඇතැයි කියන ඩුබායි පිහිටි යූ.ඩී.ඊ. සමාගම් ජාලයෙන් නැව් මත ස්ථාපිත කර ඇති විදුලි බලාගාර කිහිපයකින් විදුලිය වැඩි මිලට ගැනීමට ඇමැති බලාපොරොත්තුව සිටියේය. එම නැව් දැනටමත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටින බවට ද වාර්තා විය. මේවායින් මෙගාවොට් 400ක පමණ ධාරිකාවයක් ලබාගැනීමට අපේක්ෂිතව සිටියේය.
විදුලි බිල ගෙවීමට දැනට පාරිභෝගිකයාට මාසයක් කල් දෙන නමුත් ඉදිරියේදී පනතට ගෙනෙන සංශෝධන මගින් සතියක් තුළ විදුලි බිල ගෙවිය යුතු බවට නීති ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බව ඇමැතිවරයා පසුගියදා මහනුවරදී පවසා තිබුණි. විදුලි පාරිභෝගිකයා තුළ හිඟ හිටවීම නිසා අමාත්‍යංශයේ සහ මණ්ඩලයේ එදිනෙදා වියදම් පවා දරා ගැනීමට අපොහොසත්ව ඇති අතර ඉදිරියේදී විදුලි ගාස්තු චක්‍රය වෙනස් කිරීමට ද කටයුතු කිරීමට අපේක්ෂිතව සිටියේය. එසේම මෙම නව ක්‍රමවලට ගැලපෙන සේ අද පවතින විදුලි මීටරය ද වෙනස් කරන බවද ඇමැති කීවේය.
විදුලි පාරිභෝගිකයන්ට අයිති රුපියල් කෝටි 2400ක මුදලක් ඔවුන්ට අහිමි කිරීමට විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා දරන උත්සාහය පරාජය කිරීමට එක්වන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඉල්ලීමක් කර ඇත. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මිකගේ අත්සනින් යුතුව මෙම ලිපි යවා ඇති අතර නිවාස සහ ගොඩනැගිලි සඳහා පාරිභෝගිකයන් තබා ඇති ඇප මුදල්වල පොලිය ඔවුන්ගේ උරුමයක් බවද ඔහු කියා සිටී. මෙය පාරිභෝගික මුදල් කොල්ලකෑමක් බවද පෙන්වා දී ඇත.
මෙම ඇතැම් වෙනස්කිරීම්වලට අදාළ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර එහි දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 6 දා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබුණද පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපතිවරයා එදින උදෑසන කතානායකවරයාට දැනුම් දී තිබීම නිසා මෙම පනත ඉල්ලා අස්කර ගැනීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලට අවසාන මොහොතේදී සිදුවිය.
කෙසේ වුවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ බලය ඇමැතිවරයා ඩැහැගැනීමට යන බවට විපක්ෂ නායකවරයා ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණු අතර ඇමැතිවරුන් හැමදාම නොසිටින බවද මේ හරහා ඇමැතිට අසීමිත බලතල ලැබීම අයෝග්‍ය බවට ද අදහස් ප්‍රකාශ විය. තවද මහජන උපයෝගිතා කොමිසම ද, විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද මෙයට එරෙහිව ඇති බවද අනාවරණය කෙරුණි. මෙහිදී සභා නායකවරයා ද පවසා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම තම අපේක්ෂාව නොවන නිසා එය ඉල්ලා අස්කර ගන්නා බවය.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ ඇත්තවශයෙන්ම මෙය ජනතාව ලැබූ ජයග්‍රහණයක් වන අතර අපේක්ෂා කළ අසීමිත බලතල විදුලි බල ඇමැති අතට ගියා නම් ජනතාව විශාල හිරිහැරයකට පාත්‍ර වීමට ඉඩ තිබූ බවය. තම ව්‍යාපාරය ද මෙම අසාධාරණ උත්සාහයට එරෙහිව පසුගිය දිනවල බලධරයන් වෙත පැමිණිලි කර තිබූ අතර නීතිපතිගේ කරුණු දැක්වීම මත හෝ අවසන් මොහොතේ පාර්ලිමේන්තුව ඉදිරි පියවර නොගැනීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර දැනට පවත්වාගෙන යන විදුලි බල අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් මද බව පවසමින් එය වෙනත් කුලී ගොඩනැගිල්ලකට ගෙන යාමට විදුලි බල අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණද ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් කිරීමට මුදල් අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබුණි. ඊට පසුව අවශ්‍ය මුදල් ලංකා විදුලිබල පෞද්ගලික සමාගමෙන් වැය කිරීමට ඇමැතිවරයා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණද වෘත්තිය සමිතිවල විරෝධතා නිසා තවමත් එම වෑයම සථල කර ගත නොහැකිව ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන ලංකා විදුලි බල පෞද්ගලික සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් ක්ලීටස් පවසන්නේ විදුලි බල අමාත්‍යංශ ගොඩනැගිල්ලක් සඳහා තම ආයතනයේ මුදල් යෙදවීමට එරෙහිව උපරිමයෙන් විරෝධතා පවත්වන බවය. අමාත්‍යංශය සහ සමාගම එකිනෙකට වෙනස් ආයතන දෙකක් වන අතර ඒ සඳහා තම ආයතනයේ මුදල් වැය කිරීමට නීති විරෝධී බවද ඔහු කියයි.
“දැනට අපේ ප්‍රධාන කාර්යාලය පවා කුලියට තමා පවත්වාගෙන යන්නේ. අපට අයිති ඉඩමක් තියෙනවා නාරාහේන්පිට. එහි අපට කාර්යාලයක් හදන්නේ නැතුව අමාත්‍යංශ ගොඩනැගිල්ලකට මුදල් ගෙවන්න යාම විහිළුවක්. නීත්‍යානුකූලව එහෙම කරන්න බැහැ. අපේ ආයතනයේ සියයට 54ක් විදුලි බල මණ්ඩලයට අයිති අතර ඉතිරි කොටස් රජයට අයිතියි. අපි මේ පිළිබඳ විදුලි බල මණ්ඩලයත් සමඟ එකතු වෙලා දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යනවා.
විදුලි බල අමාත්‍යංශය දැනට පවත්වාගෙන එන්නේ කොළඹ ආනන්න කුමාරස්වාමි මාවතේ ගොඩනැගිල්ලකය. එහි කුලිය වර්ග අඩියට රැපියල් 74යි. දැන් ගොඩනැගිල්ල ඉඩ මදියි කියලා නවම් මාවතේ පිහිටි විශාල ගොඩනැගිල්ලකට වර්ග අඩියක් රුපියල් 282ක කුලියටයි ගේන්න යන්නේ. මෙහිදී ඉතා විශාල ලෙස අයථා ගනුදෙනු සිදුවන බව දැනගන්න තියෙනවා.
දැනට උත්සාහ කරමින් පවතින්නේ අමාතංශය ගොඩනැගිල්ල කුලියට ගන්නට ලෙකෝ ආයතන අරමුදලින් රුපියල් මිලියන 364ක් ගන්නයි. අප අගෝස්තු 01දා සියලු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව විරෝධතාවක නිරත වුණා. එහිදී මාධ්‍යයට තොරතුරු දුන් බවට චෝදනා කරමින් අප සංගමයේ විධායක සභිකයකුගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා. එසේම ජාතික සේවක සංගමයේ අපේ ශාඛාවේ ලේකම්වරයා ඒකල සිට නුගේගොඩට මාරු කරලා තියෙනවා. අපේ සමිති 16කින් 11ක් මේ සංවිධානයට අනුබද්ධයි. ආයතනයේ මුළු සේවක සංඛ්‍යාව වූ 1500න් 1100ක් අපේ සංගමයේ සාමාජිකයන්.
අපි මේ වෘත්තිය සමිති අරගලය කළේ නීත්‍යානුකූලව කම්කරු කොමසාරිස් සාමාන්‍යාධිකාරී ආදි අවශ්‍ය අය දැනුවත් කරලා කල් දීලයි. අපේ ආයතනයේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳ රංජිත් සියඹලාපිටිය ඇමැති කාලේ සමිති 8ක් එකතුව පැමිණිලි කරලා තියෙනවා. ඒ කරුණු පිළිබඳ ඇන්ජලීන් අබේවර්ධන කමිටුව විමර්ශනය කරලා වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. එහිදී දූෂිත පුද්ගලයන්ට ආයතනයේ විනය නීති සංග්‍රහය අනුව කටයුතු කරන්න නිර්දේශ කරලා තිබුණත් එසේ නොකර වෘත්තීය සමිති නිලධාරීන් දඩයම් කිරීමකයි දැන් නිරත වෙලා සිටින්නේ. අපි කොහොමත් එයට ඉඩදෙන්නේ නැහැ. මිලියන 364 ගන්න ඉඩදෙන්නෙත් නැහැ.
ලංකා ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්
ඔය කියන මහජන උපයෝගිතා කොමිසම ගැන අපේ කිසිදු පැහැදීමක් නැහැ. ඒ අයගෙන් ජනතාවට හෝ මණ්ඩලයට ලැබෙන සේවයක් නැහැ. එය නිකම්ම නිකං සුදු අලියෙක් විතරයි. කොළඹ ටවර් එකක මෙම කාර්යාලය පවත්වාගෙන යාම නිසා විශාල මුදලක් වැයවෙනවා. ඒවා ඇමැතිගේ මුදල් නොවේ. ජනතාවගේ මුදල්. 2009 මාර්තු මාසයේ ස්ථාපිත කළ මෙම ආයතනයට දැනට වසර 10ක් පිරිලා. සිදු වූ කිසිදු යහපතක් ගැන අපි නම් දන්නේ නැහැ.
අප මෙය පටන්ගන්නවට මුල සිටම විරුද්ධ වුණා. පෙළපාලි ගියා. උද්ඝෝෂණ කළා. ඒවා තුට්ටුවකටවත් මායිම් නොකර අපිව ඉවත් කරලා ගේට්ටු වහලයි මෙය පටන්ගන්නේ. මෙහි මූලික පරමාර්ථය යැයි කියන්නේ ජනතාවට සහන දීමයි. විදුලි මිලට සහනයක් සලසන්නයි. එහෙත් මෙයින් අද දක්වාම එහෙම වෙලා නැහැ. අමාත්‍යංශය නියම කරන විදුලි ගාස්තුව සුළු ප්‍රමාදයකින් පසුව අනුමත කිරීමයි කළේ. ජනතාවගේ හඬට ඇහුම්කං දීමක් කළේ නැහැ. ජනතාව විදුලි බිලට විරුද්ධ වුණාට සිදු වූ දෙයක් නැහැ. අනිත් අතට පාරිභෝගිකයකුට විදුලි සම්බන්ධතාවක් දීම නියමිත කාලයට වැඩිය ප්‍රමාද වුවහොත් දඩයක් ගෙවිය යුතුයැයි එහි සඳහන් වුණා. කෝ එහෙත් එහෙම වෙනවද?
අනිත් අතට මහජන උපයෝගිතා කොමිසම දෙන උපදෙස් අමාත්‍යංශය පිළිගන්නවද? අමාත්‍යංශය වැඩ කරන්නේ ඒ අයට අවශ්‍ය විදිහට. එහෙව් එකේ මෙම ආයතනය නිකං නමට පවත්වාගෙන යාම ජනතා මුදල් අපතේ යැවීමක් පමණයි.
විදුලි බිල වැඩි කරන්නට යන්නේ හැමදාම කියන විදිහට මණ්ඩලයට තියෙන පාඩුව දරාගන්න බැරි නිසාලු. ඇමැතිවරයා නම් අපට සහතික වෙලා තියෙන්නේ වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කරන්නට ඇමැතිට විකල්ප ක්‍රියාමාර්ගයක් තියෙනවද? නැහැනේ. මෙහෙම ඉඳලා එකපාරටම වැඩිකරයි. මණ්ඩලයේ නාස්තිය අවම කරනවා නම් මෙම තත්ත්වය යහපත් කරන්න පුළුවන්. එහෙත් හැම පැත්තෙන්ම නාස්තිය. නෝනගේ නමට ලියාපදිංචි කරලා තියෙන වාහනේ මහත්තයා තමා මණ්ඩලයේ සේවයට කොන්ත්‍රාත් ගැනීමට අනුමත කරන්නේ. කොළඹ එනවිට රාජකාරිවලදී එක කලාප කාර්යාලයක නිලධාරීන් වාහන ගණනාවකින් එනවා. ඒ සියලු දෙනාට එකම වාහනයකින් එන්න පුළුවන්. එක කරුණකට කිහිපදෙනා එන්න අවශ්‍ය නැහැ. එහෙම ඇවිල්ලා යැපීම් දීමනා ගමන් ගාස්තු ආදිය ඇති පදම් ලබාගන්නවා. කිසිම වියදමක් සීමා කරන්නේ නැහැ. සියල්ල හරියට කළමනාකරණය කරනවා නම් විදුලි ගාස්තු වැඩි කළ යුතු නැහැ.
මණ්ඩලයේ ඇතැම් ලොක්කන් නිතරම උත්සාහ කරන්නේ විදුලි සැපයීම අඩුකර බලශක්ති අර්බුදයක් ඇතිකරන්නයි. එහෙම වුණාම ඒගොල්ලන්ට අවශ්‍ය ස්ථානවලින් වැඩිමිලට විදුලිය ගන්න ඉඩ සැලසෙනවා. ඒ මොකද ජනතාව කළුවරේ තියන්නෙ නැහැ කියන සංකල්පය මත. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ඉටු කිරීම උවමනාවෙන්ම ප්‍රමාද කිරීම නිසයි විදුලි අර්බුදය ඇතිවෙන්නේ. දැනටමත් මුහුද වටේ තියාගෙන තියෙන්නේ ඇමැතිගේ පාවෙන බලාගාර ටිකයි. ඒ අය බලාගෙන ඉන්නේ කොයිවෙලේ හරි රටේ විදුලි සැපයිම අඩු වෙලා ඒ අයගෙන් විදුලිය ගන්න වෙයි කියලා. ඒ අවස්ථාව ලබාගැනීමට ඇමැතිවරයා ඇතුළු ලොකු අය බලාගෙන ඉන්නවා. විදුලි බල මණ්ඩලයට පාඩු වෙනවා නොවේ පාඩු කරනවා කියලයි කියන්න ඕන.
පසුගිය රජයේ අවසාන මොහොතේදී විදුලි ඉංජිනේරු සංගමය 2014 – 11 – 27 දා එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ කතා කරලා ඒ අයගේ වැටුප විතරක් සියයට 120කින් ඉහළ නංවාගත්තා. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බටහිර දකුණ ද මේ වැටුප් වැඩිවීම ඒගොල්ලෝ හදලා ඒ අයම ගෙවාගන්න කටයුතු කළේ. 2015 ජනවාරි 08 දා චක්‍රලේකයක් නිකුත් කරලා ඒ අයම වැටුප වැඩිකර ගත්තා. චම්පික රණවක තමා ඒ කාලේ සිටිය විදුලි බල ඇමැති. ඔහුට අපි තත්ත්වය පහදලා දුන්නට වැඩක් වුණේ නැහැ පසුව බලමු කියලා කිව්වා. එයා විදුලි බල පොදු සේවක සංගමය හැදීමට පුරෝගාමීව කටයුතු කළා. එහෙම කළේ ජාතික සේවක සංගමය අඩපණ කරන්නයි.
චම්පික ආණ්ඩු මාරුවෙන් පසුවත් විදුලිබල අමාත්‍යංශය ලැබේවි කියලා බලාපොරොත්තු වුණත් එය ඉටුවූයේ නැහැ. රංජිත් සියඹලාපිටිය තමා ඇමැති වුණේ. අපි කරැණු පෙන්වා දුන්නත් එයාටත් බැරිවුණා මෙය සාධාරණීකරණය කරන්න. පස්සේ අධිකරණ තීන්දුව ලැබුණත් අපට වැඩක් වුණේ නැහැ. තීන්දුවට යටින් රිංගලා ගිහිල්ලා වැටුප් වැඩිකර ගත්තා. දැන් ඒ වැටුප් ක්‍රමය හඳුන්වන්නේ ‘E Scale’ කියලයි. ඒ අය ඉංජිනේරු මට්ටමේ තබාගෙන විශේෂ ක්‍රමයකින් වැටුප් දිගටම රුකගත්තා. දැන් වුණත් පාලනයේ සාර්ථක වෙනසක් නැහැ. සේවක වැටුප් විෂමතාව නිසා තෘප්තියක් නැති සේවකයන්ගෙන් නිසි සේවයක් ලබාගන්න බැහැ. ඉදිරියේදී තත්ත්වය බොහොම බැරෑරුම් වෙයි. දැන් ඡන්දයක් තියෙන නිසා තවදුරටත් ඔහොම යයි.
► යසවර්ධන රුද්රිගු