මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි ස්ථානයකින් කසිප්පු පානය කොට පිරිසක් මියගිය සිද්ධියේදී ජීවිතය බේරාගෙන තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන 65 හැවිරිදි අයෙක් කී කතාව එසේය. නම හෙළි කිරීමට අකමැත්තෙන් වුවද සිය අත්දැකීම පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේ කීය.
“කසිප්පු ටිකක් බොන්න මම කාංචන මුදලාලිගේ ගෙදරට ගියා. කළු අයියා තමයි එතන කසිප්පු විකුණන්නේ. එයා බොන කෙනෙක් නෙවෙයි. බදුල්ල පැත්තේ පදිංචි කෙනෙක් කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මම රුපියල් 200ක විතර බොනවා. එදා අමුතු රහක් වෙනසක් දැනුණ නිසා මම රුපියල් 100ක විතරයි බීවේ. බීවාට පස්සේ ඇඟට හරිම අමාරුයි. පහුවදා වැඩට ගියෙත් අමාරුවෙන්.
අමාරු පිට මම බාර් එකකින් සීල් අරක්කු කාලයක් අරගෙන බීවා. එදා අමාරුවෙන් ගෙදර ආවේ. ඒ නිසා මුලින් දිව්ලපිටිය රෝහලට ගියා. පස්සේ කොළඹ ජාතික රෝහලට යැව්වා. මේ වින්නැහිය වුණේ බොන්න ගිය නිසා කියලා මම පිළිගත්තා. එතැනින් බීපු සමහරු මැරුණා කියලා මට ආරංචි වුණා.”
අගෝස්තු පළමුවැනිදා මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු පානය කළ පුද්ගලයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් 20කට අධික පිරිසක් රෝගාතුරව ප්‍රතිකාර ලබන සිදුවීම මෑත ඉතිහාසයේ මත්පැන් නිසා වූ බරපතළ ඛේදවාචකයකි.
ඉහත කී දිනයේ කාංචන මුදලාලිගේ කසිප්පු තිප්පොලට ගොස් කසිප්පු පානය කළ බොහෝ පිරිසට වෙනදා නොවුණු තරමේ ශරීර අපහසුතාවන් රැසකට මුහුණ පාන්නට සිදුව ඇත. ඔවුන්ට ඇස් දැවිල්ල, වමනය, පාචනය, ඇස් නොපෙනීම සහ පණ මදගතිය ඇතුළු රෝගී තත්ත්වයන් රාශියක් නිසා රෝහල්ගතව තිබෙන අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූවන් සඳහා හදිසි ප්‍රතිකාර ලබාදී ඇතැමුන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබිණ.
මේ අයගෙන් කීපදෙනකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි. ඊට අමතරව මීරිගම, වත්තේමුල්ල සහ උඩුමුල්ල ප්‍රදේශවල වැටී මියගොස් තිබූ මළසිරුරු දෙකක් හමුව ඇත. ඔවුන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් කාංචන මුදලාලිගේ කසිප්පු තිප්පොළෙන් කසිප්පු පානය කිරීමට ඇබ්බැහි වී සිටි අය බවටත් ගම්මුන් විසින් හඳුනාගෙන තිබුණි.
විෂ සහිත කසිප්පු පානය කිරීමෙන් ශාන්ත ලාල් (55), සුමනදාස (82), සරත් කුමාර (57), දයාරත්න (63), අජිත් පුෂ්පකුමාර (50), මංජුල පද්මකුමාර (44), ජයන්ත රූපසිංහ (55), ඇන්ටනී (55), සුමිත් හිරිපිටිය (50), සෙල්වදොරේ කාර්අප්පන් (55) සුමිත් ආබෘෘ (56) යන අය මියගොස් ඇති බවට වාර්තා විය. මෙසේ රෝගාතුර වූවන් ඇති බවට වාර්තා විය. මෙසේ රෝගාතුර වූවන් ගම්පහ, දිවුලපිටිය, මීරිගම, වතුපිටිවල, රාගම හා කොළඹ රෝහල්වල ප්‍රතිකාර ලැබූ අතර වැඩිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.
එසේම මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔවුන්ගේ සිරුරුවල මධ්‍යසාර අඩංගු බවට අනාවරණය වී ඇත. එමෙන්ම හෘදයාබාධ සහ විජලනය හේතුවෙන් මරණ සිදු වී ඇති බව නිගමනය කර ඇත.
මියගිය කෙනකුගේ ඥාතියකු සහ රෝගීව රෝහල්ගතව සිටින දෙදෙනකුගේ බිරියන් දෙදෙනෙක් විසින් කොටදෙණියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකරමින් කියා ඇත්තේ පිරිසක් මරණයට පත්වීම සහ රෝගී වීමට හේතුව බාඳුරාගොඩ ප්‍රදේශයේ ස්ථානයකින් කසිප්පු පානය කිරීම නිසා බවය. ඊට හේතුව එම කසිප්පුවල විෂක් අන්තර්ගතව ඇතැයි සැකකරන බවත් එබැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසද ඉල්ලා ඇත. ඊට අමතරව ප්‍රදේශවාසීන් රැසක් එක්ව කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට පසුව අදාළ සිදුවීම අයත්වන පල්ලෙවෙල පොලීසිට දැනුම්දීමට කටයුතු කර ඇත. ඒ අනුව පල්ලෙවෙල පොලීසිය විසින් සැකකාර කසිප්පු ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බීමත්ව රෝගී වූ අයගේ කටඋත්තර අනුවය.
මේ අය පානය කළ කසිප්පු මීරිගම ලෝලුවාගොඩ ප්‍රදේශයේ නිවසක පෙරා ඇතැයිද ඒවායෙන් ලීටර් 8ක් පමණ අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය. ඒවායේ විෂ රසායන අඩංගුව ඇත්දැයි පරික්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගෙන තිබුණි. මෙම සැකකාර කසිප්පු ව්‍යාපාරිකයා වසර ගණනාවක සිටම කසිප්පු ජාවාරම සිදුකරන්නෙකි. යහමින් මුදල් හදල් ඇති ඔහු ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට පවා අත දිගහැර වියදම් කරමින් බාධාවකින් තොරව ජාවාරම සිදුකර ඇතැයි කියති.
මරණයට පත්වූ අයකුගේ දේහය මීරිගම - මීගමුව මාර්ගයේ තබා ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක ද නිරතව ඇත. එහිදී කසිප්පු ව්‍යාපාරිකයා සහ පල්ලේවෙල පොලීසියේ ක්‍රියා කලාපයට විරෝධතාවය එල්ල කළේය.
සිදුවීම පිළිබඳ ජනමාධ්‍ය ආයතන විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් තොරතුරු විමසීමෙන් ඒ පිළිබඳව පල්ලෙවෙල පොලීසිය කරුණු සඟවා තිබුණේ එවැන්නක් සිදුව නැතැයි කියමිනි. ඒ අනුව පොලිස් නීති කොට්ඨාශය විසින් විමර්ශනයක් අරඹා පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා කළුතර දකුණ පොලීසියට මාරු කර යවා ඇත. මේ අතර පොලිස් විශේෂ විමර්ශන අංශය ස්ථානාධිපතිවරයා පිළිබඳ විශේෂ විමර්ශනයක් අරඹා ඇත. විමර්ශන වාර්තාව පදනම් කරගෙන පොලිස් ස්ථානාධිපතිවරයාට විනය පියවර ගැනීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ පල්ලෙවෙල පොලීසියේ නිලධාරීන්ගේ ක්‍රියාත්මක නොවීම මත නිදහසේ කසිප්පු ජාවාරම සිදු කර ඇති බවත් ඒ සඳහා ඇතැමි නිලධාරීන්ගේ අනුබලය ලැබී ඒ හරහා සන්තෝෂම් වරප්‍රසාද ලබාගෙන ඇති බවත්ය.
මියගිය අයගේ මරණ පරීණ සිදුකිරීමේදි දයාරත්න සහ සුමනදාස යන අයගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබුණී. අධිකරණ නියෝග යටතේ එම සිරුරු යළි ගොඩගැනීමට නියමිතය.
► සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා හා සේයා රූ
මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි