පාරිභෝගිකයා විශේෂයෙන් තමා සතු අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයකින් සිටීම අවශ්‍ය වෙයි. ජන ජීවිතයට සහ ජනතා සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ හා සේවා පිළිබඳව ජනතාව දැනුම්වත්ව සිටිය යුතුය. එසේම තමා ගන්නා භාණ්ඩය ගැන සැකයක් ඇති වූ තැන නිවැරදි තෝරාගැනීමකට මඟපෙන්වන තොරතුරු විමසීමට සහ ලබාගැනීමට ද පාරිභෝගිකයාට මග පෙන්වන තොරතුරු විමසීමට සහ ලබාගැනීමට ද පාරිභෝගිකයාට අයිතියක් තිබිය යුතුය. ගුණාත්මක බවින් යුතු භාණ්ඩ හා සේවා මොනවාදැයි තෝරා ගැනීමට පාරිභෝගිකයාට අයිතියක් ඇති අතර ගුණාත්මක බවෙන් තොර භාණ්ඩ හා සේවා නිසා සිදුවන හානිවලට අදාළ ආයතනවලින් වන්දි හෝ සහන ලබාගැනීමට ද පාරිභෝගිකයාට අයිතියක් ඇත.
පාරිභෝගිකයන්ට වෙළෙඳපොළේ සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එකම ව්‍යවස්ථාපිත ආයතනය වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. මෙම අධිකාරිය 2003 අංක 09 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කර තිබෙන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.
පාරිභෝගිකයාගේ ආරක්ෂාව සැලසීම අධිකාරියේ පරමාර්ථය බව එහි තේමා පාඨයෙන් කියැවේ. පාරිභෝගිකයා සවිබල ගැන්වීම වෙළෙඳපොළ විධිමත් කිරීම හා තරගකාරිත්වය ප්‍රවර්ධනය තුළින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම තම අරමුණ බව අධිකාරිය පවසයි. එසේම පාරිභෝගිකයාගේ රහස්‍ය බව පිළිබඳ සහතික කිරීමට අධිකාරිය බැඳී සිටියි. ඒ තුළින් සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් මත සුරක්ෂිත වූ පාරිභෝගිකයෙක් නිර්මාණය කිරීම අධිකාරියේ පරමාර්ථය බව දැක්වේ.
මෙරට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විවිධ නීති සකසා ඇති අතර ඇතැම් නීති පාර්ලිමේන්තුව විසින් සකසා සම්මත කර ඇත. මෙම නීති අදාළ අමාත්‍යවරයා විසින් බලතල ප්‍රකාර නියෝග ලෙස සකසා ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කොට ඇත. පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිය වන්නේ 2003 ජනවාරි මස 09 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතයි. මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ එතෙක් පැවති 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂක පනත, 1987 අංක 1 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත හා 1950 මිල පාලන පනත (73 වැනි අධිකාරිය) අහෝසි කරන ලදී.
කෙසේ වෙතත් මේ වනවිට ක්‍රියාත්මක වන 2003 අංක 09 දරන පාරිභෝගික පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති අතර සමූපකාකර පනත ද යුගයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට ඔහු අවධානය යොමු කර ඇත.
මෙලෙස අදාළ පාරිභෝගික පනත වෙනස් කිරීම පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් ද අපි විමසීමක් කළෙමු.
“දැනට පවතින පාරිභෝගික කටයුතු පනතේ යම් යම් ගැටලු තියනවා. ඒවා අනිවාර්යයෙන්ම සංශෝධනය වියයුතුයි. පසුගිය කාලය පුරාවට මෙම පනත් කෙටුම්පතේ ඇති ඇතැම් කාරණා ඉවත් කරනවට අපි විරෝධය පළකළා. පාරිභෝගිකයා සුරැකීම මේ ආයතනයේ වගකීමක්. පාරිභෝගිකයකුට වෙන ආසාධාරණකමක්, අකටයුත්තක් සඳහා තමයි මෙම ආයතනය පිහිටුවා තිබෙන්නේ. එහෙත් මෙම ආයතනයේ ඇති අඩුපාඩු රැසක් අපි පසුගිය කාලයේ දුටුවා. 2003 සම්මත වුණු පනතක් තමයි තවමත් තියෙන්නේ. ඒ නිසා මෙම පනත ඉක්මනින්ම සංශෝධනයට ලක්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ
පාරිභෝගික කටයුතු පනත හා සමුපකාර පනත යුගයට අවශ්‍ය වන පරිදි සංශෝධනය කිරීම අප තීරණය කරලා තියෙනවා. පාරිභෝගිතක අවශ්‍යතා වඩාත් සුරක්ෂිත කිරීමේ අරමුණින් තමයි මෙම පනත සංශෝධනය කරන්නේ. පසුගිය කාලය පුරාවටම පාරිභෝගිකයන්ගෙන් විවිධ පැමිණිලි ලැබුණා. යම් යම් සිදුවීම් සමඟ මෙම පනත සංශෝධනය මගින් ඒ අදාළ කටයුතු සිදු කෙරෙයි. මේ පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ඉදිරි මාස හය ඇතුළත ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය, තෘතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ අභ්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තිය යන ප්‍රතිපත්ති තුනත් ජනගත කිරීමට බලාපොරොත්තු වෙනවා.
► සටහන - හසිත් අංජන