මීට වසර 11කට පෙර සිසුන් නොමැති වීමෙන් වසා දැමීමට නියම වූ තිස්සමහාරාම නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලය අද වන විට සුපිරි පන්තියේ පාසල්වලට පවා අභියෝග කරන පාසලක් බවට පත්ව තිබේ. ඉතාමත් අඩු පහසුකම් යටතේ පවතින මෙම පාසල දකුණේ සම්මාන පිට සම්මාන ලබාගත් පාසලක් බවට පත්ව තිබේ. මෙම පාසල සොයා ඉකුත් දිනක අප එම පාසලට ගියේ අනෙකුත් පාසල්වලට සාපේක්ෂව බැලූ කල මෙම පාසල තුළ දැකිය හැකි වූ සුවිශේෂතා රැසක් නිසාවෙනි.
හම්බන්තොට තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ දෙබරවැව යකඩ පාලම අසලින් දකුණට හැරී කිලෝමීටර් 04ක් පමණ ගිය විට හමුවන තුන්මන් හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් 03ක් පමණ ගිය පසු මෙම අපූරු පාසල අපට හමු විය. පාසලට ඇතුළු වන ස්ථානයේ සිට පාසලේ කුමන දිශාවට නෙත යොමු කළද ඒ සෑම තැනකම ඇත්තේ නැවත නැවත හැරී බලන්නට සිතෙන දසුන්ය. විද්‍යාලයට ඇතුළු වන විට එහි සිසුන් පස් හය දෙනකු පමණක් දුටු නිසා අද පාසල නොපැවැත්වෙන්නේදැයි අපි විදුහල්පතිවරයාගෙන් විමසුවෙමු. ඒ පාසල තුළින් කිසිදු ශබ්දයක් හෝ සිසුන් සිටින බවක් හෝ නෑසුණු නිසාය. අප ඇසූ එම ප්‍රශ්නයට පිළිතුරු දුන් විදුහල්පතිවරයා පැවසුවේ විද්‍යාලයේ මේ අවස්ථාව වන විට සිසු සිසුවියන් 250ක් පමණ අධ්‍යාපනය හදාරමින් සිටින බවකි. එම වචනයෙන් අපි ද මවිතයට පත් වීමු. ඒ සිසුන් 250ක් අධ්‍යාපනය ලබන පාසලෙ හි පන්සලක පවතින තරමේ ශාන්ත බවක් තිබීම නිසාවෙනි. පාසල තුළ විනය උපරිම ලෙස පවත්වාගෙන යාමට විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කටයුතු කර ඇත්තේ අපූරැ ආකාරයටය. කිසිදු දරුවකු කෝටුවට හෝ වේවැලට බය කර නොමැත. සියලු දරුවන් ස්වයං පාලනයකට ලක් කර තිබේ. දරුවන් ඉහළ අධ්‍යාපන මට්ටමකට රුගෙන ඒමට ගුරැ මණ්ඩලය කටයුතු කර ඇති සේම දරුවන් තුළ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ගුණධර්ම ද ඉහළින්ම වගා කර තිබීමද විශේෂත්වයකි. බොහෝ පාසල් තුළින් රොබෝවරු මෙන් වූ දරුවන් සමාජයට දායාද කරන අවධියක තිස්සමහාරාම නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයෙන් බිහි වන්නේ අධ්‍යාපනයෙන් මෙන්ම ආචාරධර්මවලින් ද පොහොසත් දරැවන් වීම විශේෂත්වයකි.
පාසල් ගෙවත්ත තුළද විවිධ වර්ගයේ පළතුරැ හා එළවළු වගා කර තිබේ. එකදු පළතුරැ ගසක ගෙඩියක් හෝ සිසුන් විසින් කඩා නොදමන්නේ ඔවුන් තුළ ඇතිකර තිබෙන දැඩි විනය නිසාවෙන් යැයි අපට සිතුණි. බොහෝ විට පාසලක් තුළ ඇති අඹ ගසක වුවද ඉතිරි වන්නේ ගසෙ හි කොළ ටික පමණක් වුවද නැදිගම්විල කනිෂ්ඨයේ දරුවෝ ඉන් ඔබ්බට ගියා වූ ස්වයං පාලනයකට නතු වූ පිරිසක් වීම විශේෂත්වයකි.
පාසලේ එදා සහ අද පවතින තත්ත්වය පිළිබඳව විදුහල්පති පී.එන්.එම්. කුමාරසිංහ මහතා අපත් සමඟ පැවසුවේ මෙවන් අදහසකි.
නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටලා තියෙන පාසලක්. මේ පාසලට එන්නේ ඉතාමත් දුප්පත් මව්පියන්ගේ දුවා දරුවන් පිරිසක්. එදිනෙදා කුලියක් කරගෙන හේනක් කුඹුරක් කරගෙන ජීවත් වෙන ජනතාවක් මේ ප්‍රදේශයේ ඉන්නේ. නගරයෙන් ඈතට වන්න මේ පාසල පිහිටා තිබීම නිසා කාගේවත් අවධානයකට මේ පාසල ලක්ව තිබුණේ නෑ. අද වන විට මේ පාසලට අවුරුදු 65ක් වෙනවා. 1954 දී තමයි මේ පාසල ආරම්භ කරලා තියෙන්නේ. එවකට ළමයි 550ක් විතර මේ පාසලේ ඉඳලා තියෙනවා. නමුත් කාලයත් එක්ක ක්‍රමක්‍රමයෙන් සිසුන් අඩුවෙලා පාසලේ අධ්‍යාපනය පවා ඉතා දුර්වල තත්ත්වයට පත්වෙලා තියෙනවා. කොහොම හරි අන්තිම අවධිය වෙනකොට ළමුත් පාසලට එනවා යනවා විතරයි. අධ්‍යාපන මට්ටම ඉතා දුර්වල තත්ත්වයක තමයි තිබිලා තියෙන්නේ. 550ක් හිටිය ළමුන් සංඛ්‍යාව 130කට බැහැලා තිබුණා. පිට ප්‍රදේශවලින් මේ පාසලට ගුරුවරුන්ගේ පැමිණීම පවා සිදුව තිබුණේ නෑ. ගමේම ගුරුවරුන් කිහිප දෙනෙක් තමයි පාසලේ කටයුතු කර තිබුණේ.
කොහොම හරි 2008 වසර වන විට මේ පාසල වසා දැමීමට තමයි තීරණය කර තිබුණේ. 2008 වසර වන විට විද්‍යාලයට විටින් විට විදුහල්පතිවරැන් 19 දෙනකු පත්කර එවා තිබුණා. පාසල වහන්න කියලා බලධාරීන් තීරණය කරලා තියෙද්දී 2008 තමයි 20 වැනි විදුහල්පතිවරයා ලෙස මා මේ විද්‍යාලයට පත්කර එවන්නේ. මම පාසලට එනකොට මුළු පාසලේම දරැවන් 100ක් වගේ හිටියේ. පාසලේ පරිපාලන කටයුතු පවා දැඩි ලෙස පිරිහීමට ලක්වෙලා තියෙද්දී තමයි මං පාසලේ කටයුතු බාරගත්තේ. ඒ වෙනකොට පාසල කොයි තරම් පිරිහිලා තිබුණද කිව්වොත් මව්පියන් පාසලට දරැවන් එවන්නේ නැති වුණා. එක්තරා දිනක උදේ පාසලට දරුවන් එවනවා වෙනුවට හරක් එව්වා උගන්වන්න කියලා. මේ පාසල පැවතියේ එවන් තත්ත්වයකයි.
මම මේ පාසලට එනකොට 2008 වසරේ පළමු ශ්‍රේණිය සඳහා කිසිදු දරුවෙක් බාරදෙන්න මව්පියන් තීරණය කර තිබුණේ නෑ. පසුව මා මව්පියන් සමඟ සාකච්ඡා කළා. විද්‍යාලය හොඳ තත්ත්වයට ගේන්න අවශ්‍ය ක්‍රියාමාර්ග මම අරගන්නකොට 2009 වසර සඳහා මව්පියන් 1 වසරට සිසුන් 18 දෙනෙක් ගෙනැවිත් ඉස්කෝලෙට බාර දුන්නා. එදා මව්පියන් මා කෙරෙහි තැබූ විශ්වාසය මා කොයි ආකාරයකින්වත් කඩවෙන්න තැබුවේ නෑ. දරුවන් අධ්‍යාපනයෙන් කොහොම හරි පොහොසත් කරන්න මම කටයුතු කරනකොට පාසලේ හිටිය ගමේ ගුරුවරු ඒකට අවස්ථාව දුන්නේ නෑ. විවිධ ගැටුම් ඇති කරන්න ගත්තා. විදුහල්පතිවරයා ලෙස මං නිකම් හිටියේ නෑ. දිනපතා පන්තිවලට ගිහින් ගුරුවරුන් උගන්වන අයුරු පවා බලාගෙන හිටියා. බැරිවෙනකොට, කවුරැවත් නැතිවෙනකොට මම පන්තියට ගිහින් උගන්වන්න ගත්තා. ගමේ ගුරුවරු ටිකකට මේක ඇල්ලුවේ නෑ. ඒ අය මට විවිධ බාධා ඇති කළා. නමුත් එදා මං ඉස්සරහට තිබ්බ පය නැවතත් ඉස්සරහටම මිසක් පස්සට තිබ්බේ නෑ. ගමේ ගුරුවරු ටික මට මේ පාසල ගොඩගන්න සහාය දුන්නේම නෑ. පසුව මං විටින් විට පාසලේ අවුරැදු ගණන් හිටිය ගමේ ගුරුවරු 12 දෙනෙක් විතර වෙනත් පාසල්වලට මාරුකර යැවීමට කටයුතු කළා. පාසලේ තිබුණු දුක්ෂරතා නිසාවෙන්ම පිටතින් මේ පාසලට ගුරුවරු එන්න කැමති වුණේ නෑ. නමුත් මං ඒ සඳහාත් යම් යම් වැඩපිළිවෙළ හැදුවා. ඇතැම් අවස්ථාවලදී පිටතින් ආව ගුරුවරුන්ට මං ගෙදරින් කෑම එක ගෙනත් දීලා මේ පාසලේ රඳවා ගත්තා. කොහොම හරි වසරක් යන්නත් කලින් පාසලට හොඳ නිර්මාණශීලී ගුරුවරු ටිකක් එකතු කර ගන්න මට පුළුවන්කම ලැබුණා. පරිහානියට ගිහින් තිබුණු පාසල ටික ටික ගොඩනැගීම අපි සියලු දෙනා එකතුවෙලා ආරම්භ කරනකොට මව්පියන් පවා අපිත් එක්ක එකතුවෙලා අපිට සහාය දැක්වුවා. ගමේ දරුවෝ ටික ගමේ පාසලට එවන්න මව්පියන් කටයුතු කළා.
පාසල ටික ටික දියුණු වීමත් සමඟ අපි 2011 වසරේ සිට වසර පහක කාලයක් මහන්සි වුණා ජාතික ඵලදායිතා සම්මානය සඳහා. ඒ සඳහා දරුවන් හැඩගැස්සුවා. ගම, පන්සල හා පාසල කියන තුනම එකට එකතු කළා. මව්පියන්ට දරුවන් කෙරෙහි නව බලාපොරොත්තු ඇති කළා. කැපවීම මත අනිවාර්යයෙන්ම ජයගත හැකි බව දරුවන්ට කියා දුන්නා. වැඩි කාලයක් යන්නත් පෙර වැහෙන්න ගිය පාසල දකුණේ හොඳම පාසලක් බවට පත් කරන්න අපි සියලු දෙනාට හැකි වුණා. සියලුම දරුවන්ට අධ්‍යාපනය වගේම බාහිර ක්‍රියාකරකම් පවා අපි පවරලා තියෙනවා. ගුරුවරුන් බැලුවත් නැතත් ඒ ඒ දරැවන් තමන්ට හිමි නියමිත රාජකාරිය අකුරට ඉටු කරනවා. මේ වන විට අපේ පාසල දකුණේ හොඳම පාසලක් බවට පත් කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. 2017 හා 2018 වසර වෙනකොට අපේ පාසලේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සීයට සීයයි. විභාගයට ළමයි 20ක් ගියා නම් 20ම පාස්. කලාපයේ හොඳම ප්‍රතිඵල තියෙන පාසල බවට පත්වෙලා තියෙන්නේ අපේ පාසල.
විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, නැදිගම්විල පුරාණ රාජමහා විහාරාධිපති, උයන්වත්තේ සද්ධාරාම නායක හාමුදුරුවෝ මට මේ පාසල ගොඩනගද්දී විශාල දායකත්වයක් දුන්නා. හිටපු කතානායකවරයකු වූ චමල් රාජපක්ෂ, තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන කුමුදු සුජීව ඇතුළු විශාල පිරිසක් මට මේ පාසල ගොඩගන්න උදව් කළා. ඒ වගේම මේ වන විට මේ පාසල ලබාගෙන ඇති ජයග්‍රහණ හේතුවෙන් පාසල කෙරෙහි නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ද විශේෂ අවධානයක් යොමු වී තිබීමද විශේෂත්වයක්.
අද වන විට පාසලේ දුවා දරුවන් 240 දෙනෙක් අධ්‍යාපනය ලබනවා. ගුරුවර ගුරුවරියන් 22 දෙනෙක් සිටිනවා. මේ සියලුම දෙනා එකම කණ්ඩායමක් ලෙසයි කටයුතු කරන්නේ. අද වන විට දකුණේ පාසල්වලින් වගේම වෙන වෙන ප්‍රදේශවල පාසල්වලින් පවා අපේ පාසල නරඹන්න එනවා. පාසල් ගොඩනැගීම් පිළිබඳව අත්දැකීම් ලබාගන්න අපේ පාසලට බොහෝ පිරිසක් එනවා.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුරු ප්‍රතිභා ප්‍රභා විදුහල්පතිවරුන් ඇගයීමේ උළෙලේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳම විදුහල්පතිවරයා ලෙස මෙම පාසලේ විදුහල්පතිවරයා 2013 හා 2014 වර්ෂ තුළදී ජයග්‍රහණය ලබන අතර මෙම සම්මාන ඔහු 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් හිමිකර ගත්තේ දකුණේ හොඳම විදුහල්පතිවරයා ලෙස නම් දරමින් හා ප්‍රදේශයටම විශාල කීර්තියක් ද අත්කර දෙමිනි. සුන්දර කිරිඳිගල අසබඩ ඓතිහාසික නැදිගම්විල පුරාණ විහාරයට යාබද මීට වසර 65කට පෙර ඉතාමත් කුඩාවට ආරම්භ වූ නැදිගම්විල තක්සලාව අද වන විට ප්‍රදේශය ආලෝකමත් කරන පාසලක් බවට පත්ව ඇත්තේ විදුහල්පතිවරයා ගුරු මණ්ඩලය හා සියලු දෙනාගේ කැපවීම නිසාවෙනි.
සටහන හා සේයා රූ
සූරියවැව නුවන් ජයසේකර