2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

තාමත් කියැවෙන මැනිං - හැව්ලොක් - හෝර්ටන් - ලොන්ඩන්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 279

කොළඹින් සුද්දන් පිටමං වූයේ 1948දී මෙරටට නිදහස ලැබීමත් සමඟය. නමුත් කොළඹ වීදි තවමත් බ්‍රිතාන්‍ය මතක සටහන් ගෙනෙන බව අපි පසුගිය සතියේ විස්තර කළෙමු. මෙවර තවත් එවැනි මතක සටහන් කිහිපයක් සොයා පිටකොටුවෙන් ගමන් ආරම්භ කරමු.

තාප්පවලින් වටවූ කොළොම්පුරයෙන් පිටවීමට පෘතුගීසි යුගයේ පැවතියේ එකම දොරටුවකි. එය බලකොටුවේ නැගෙනහිර අංශයේ කොටුබැම්ම. යටින් හාරන ලද උමගේ දැවැන්ත ද්වාරයයි. එම ගේට්ටුව කයිමන් දොරටුව නමින් හැඳින්වේ. අදත් පිටකොටුවේ ගෑස්පහ හන්දියට නුදුරින් කයිමන් දොරටුව පිහිටා තිබේ. ජනප්‍රවාද අනුව ශාන්ත ජෝන් ගංගාව දිගේ කිඹුලෝ මේ දොරටුව අසලට රොක් වූහ. කයිමන් යනු කිඹුලන්ට ව්‍යවහාර වූ නාමයකි. නගරයේ අපද්‍රව්‍ය ගිලදැමීමට මේ කිඹුලන් ඇදී ආ බව පැවසේ. අද මෙහි අපට දැකගැනීමට ලැබෙන්නේ පැරණි ගණ්ඨාර කණුව පමණි. මේ ගණ්ඨාරය 16 වැනි සියවසේ කෝට්ටේ දේවස්ථානයකින් රුගෙන ආ එකක් බව පැවසේ.

කයිමන් දොරකඩ පසුකරගෙන කොටුවට යන අපට පුංචි එංගලන්තයක් දැයි සිතෙන තරමට බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාත්මක සැලසුම් සහිත ගොඩනැගිලි හමුවේ. පැරණි මහ තැපැල් කාර්යාලය, මිලර්ස් සහ කාගිල්ස් ගොඩනැගිල්ල, ගෆුර් ගොඩනැගිල්ල, ප්‍රදීපාගාර ඔරලෝසු කණුව, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල ගොඩනැගිල්ල ඒ අතරින් කිහිපයකි. මේ ගොඩනැගිලි අතරින් ඇදී යන යෝක් වීදිය, බ්‍රිස්ටල් වීදිය, චැතැම් වීදිය ආදී වීදි එංගලන්තයේ ස්ථාන නාම සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයන් ලබාදුන් නාමයන් වේ.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් දිවයන ඕල්කට් මාවතට මුහුණලා පැවතුණේ චාමර්ස් ධාන්‍යාගාර ඉඩමයි. එහි 1916 මැයි 11දා ආහාර ගබඩාවක් විවෘත කෙරැණේ ආණ්ඩුකාර රොබට් චාමර්ස්ගේ උපදෙස් මතයි. රොබට් චාමර්ස් 1913 සිට 1916 දක්වා මෙරට පාලනය කළ ආණ්ඩුකාරයයි. අක්කර 9ක භූමියක් වූ මෙහි ගබඩා 64ක් ඉදිකළ අතර එය හැඳින්වූයේ ආණ්ඩුවේ හාල් ස්ටෝරුව නමිනි. 1982දී මේ ගබඩාව වසා දැමිණි. අද ශ්‍රී ලංකා රේගු මූලස්ථානය ඉදිකර ඇත්තේ එම ඉඩමේ කොටසකයි.

පිටකොටුව පසුකරගෙන පැරණි නුවර පාර ඔස්සේ ගමන් කරන විට හමුවන්නේ ආමර් වීදිය හන්දියයි. එම ස්ථානයෙන් ඇරඹෙන ආමර් වීදියට ඒ නම ලැබී ඇත්තේ බයිබලය සිංහලට පරිවර්තනය කළ ඇන්ඩෘ ආමර් දේවගැතිවරයා සිහිපත් වීමටය. 

කලින් වේල්ස් කුමාර මාවත ලෙස හැඳින්වූ මාර්ගය ආරම්භ වන්නේ ආමර් වීදියෙනි. සුගතදාස ක්‍රීඩාංගනය ඉදිරිපිටින් ඇදීයන මාර්ගය පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ලෙස නම් කෙරිණි. නමුත් පැරණි වෙළඳ නාම පුවරුවල වේල්ස් කුමාර මාවත යන යෙදුම තවමත් දැකගත හැකිය.


එංගලන්තයේ රාජකීය සංකේත නාමයක් වන වේල්ස් කුමාර නාමයෙන් වර්තමානයේ හැඳින්වෙන්නේ එළිසබෙත් රුජනගේ වැඩිමහල් පුත් චාලස් කුමරුය. වේල්ස් ප්‍රදේශයේ උපත ලද රාජකීයන්ට ලබාදුන් මේ නාමය මුලින්ම ඇරඹුණේ 1301 දීය. වේල්ස් කුමාරයා සිහිපත් වීමට මොරටුවේ වේල්ස් කුමාර විදුහල ද පවතී.

වේල්ස් කුමාර මාවතට නුදුරින් පිහිටියේ බ්ලුමැන්ඩල් පාරයි. එය පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ කොළඹ කුණු එකතු කළ ස්ථානය එහි පිහිටි නිසාය. අද බ්ලුමැන්ඩල් කුණු කන්ද ස්වභාවික කඳු ගැටයක් සේ ලඳු පඳුරින් වැසී ගොසිනි. නූතනයේ කුණු ගොඩ ගැසූ බ්ලුමැන්ඩල් අතීතයේ මල් යායක්ව පැවති බව පැවසේ. බ්ලුමැන්ඩල් යන ලන්දේසි වචනයේ අර්ථය “මල් යාය”යි.

කොළඹ අධිකරණ සංකීර්ණය පිහිටා ඇති උස් බිම්කඩ හල්ෆ්ට්ඩෝප්ය. එය පසුව අලුත්කඩේ නමින් හඳුන්වන්නට වූයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොටුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසල් එම ප්‍රදේශයට අලුතින් රැගෙන ආ බැවිනි. හල්ෆ්ට්ඩෝප් නම මේ ප්‍රදේශයට ලබාදුන්නේ ලන්දේසි පාලන කාලයේදීය. ජෙරල්ඩ් පීටර්ස් හල්ෆ්ට් (1621 - 1656) ලන්දේසි ජෙනරාල්වරයෙකි. ඔහු දෙවැනි රාජසිංහ රජු සමඟ මිත්‍රත්වයක් පවත්වා ගත් අතර රජුගේ හමුදාවේ ද සහාය ලබාගනිමින් පෘතුගීසින් ලංකාවෙන් පන්නාදැමීමට සමත් විය. නමුත් කළුතර ප්‍රදේශයේදී පෘතුගීසින් සමඟ පැවති සටනකදී ඔහු මරණයට පත්විය. ඔහුගේ නිවස පිහිටා තිබුණේ අද අලුත්කඩේ ප්‍රදේශයේය.

කොළඹ සිට මීගමුව දක්වාත් මහනුවර දක්වාත් මාර්ගය ඇදී ගියේ කැලණි නදියේ තොටුපොළ හරහාය. අදත් භාවිත කෙරෙන ග්‍රෑන්ඩ්පාස් යනු තොටුපොළ පැවති තැනයි. තොටුපොළ තිබූ තැන බෝට්ටු පාලමක් 1822 දී ඉදිකළ අතර 1865 දී තොටළඟ දුම්රිය පාලම ඉදිකරන ලදි. නමුත් මහාමාර්ග ඇදීගියේ බෝට්ටු පාලම මතිනි. ඉන්පසු එය වෙනුවට “වික්ටෝරියා රැජන”ගේ නමින් යකඩ පාලමක් ඉදිකෙරිණි. 1895 මැයි මාසයේ දී එය විවෘත විය. එයට එකල වැයවී ඇත්තේ රු. 50,000කට අඩු මුදලක් බව ආර්.එල්. බ්‍රෝහියර් සඳහන් කරයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් යන මාවත එකල හැඳින්වූයේ බුලර්ස් පාර (අද බෞද්ධාලෝක මාවත) යනුවෙනි. අදත් පැරැන්නෝ ඒ නමම භාවිතා කරති. බ්‍රිතාන්‍ය රජයේ බස්නාහිර පළාතේ ඒජන්තවරයා වූයේ සී.ආර්. බුලර්ස්ය. ඔහු 1840 ගණන්වල වාසය කළේ අරලියගහ මන්දිරයේය.

බගතලේ පාර කොල්ලුපිටියේ ගාලු පාරට නුදුරින් පිහිටි මාවතකි. කොල්ලුපිටිය 18 වැනි සියවසේ දී පොල්වතුවලින් පිරුණු සරුසාර පෙදෙසක් විය. මේ පොල්වතුවලින් අක්කර 125ක් එවකට සිටි ධනවතෙක් වූ චාල්ස් එඩ්වඩ් ලයඩ් මිලදී ගත්තේය. ඔහු එම වතුයායට “බගතලේ” යන නම ලබාදුන්නේය. එය ප්‍රංශ වචනයක් බිඳී පැමිණි සිංහල වචනයක් වන අතර එහි අරැත “ආභරණය” යන්නයි. පසුව බගතලේ වතුයාය මිලදී ගත්තේ පෙරෝනිස් ද සිල්වා (චාල්ස් හෙන්රි ද සොයිසාගේ පියා)ය.

පිටකොටුවේ මැනිං මාකට්ටුව මෙන්ම කොළඹ 5 මැනිං ටවුන් ද බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර නාමයක් සිහිපත් කරවන හැඳින්වීමකි. විලියම් හෙන්රි මැනිං (1863 - 1932) මෙරට ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළේ 1918 සිට 1925 දක්වාය. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන්වරයෙකි. පිටකොටුවේ මැනිං පොදු වෙළෙඳපොළ අදත් පිහිටා ඇත්තේ ඔහුගේ කාලයේ ඉදිකළ සීනි ගබඩාවකයි. යකඩ බාල්ක, ගඩොල්, ආරැක්කු ආදියෙන් යුත් මේ පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට පොළොවට අතුරා ඇත්තේ ද කළුගල්ය.

ආතර් එල් බෑන්ක් හැව්ලොක් ආණ්ඩුකාරයා මෙරට බ්‍රිතාන්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කළේ 1890 සිට 1895 දක්වා අවුරුදු පහකි. එහෙත් ඔහුගේ නම අපි අදටත් පවසන්නේ කොළඹ 5 හැව්ලොක් ක්‍රීඩාපිටිය, හැව්ලොක් ටවුම ආදී නම් නිසාය. ඔහු දුම්රිය මාර්ග පුළුල් කිරීමට උනන්දුවක් දැක්වූ අතර වී වගාවට “කුඹුරු බද්ද” හඳුන්වාදීම නිසා දෝෂාරෝපණයට ලක්විය.

කොළඹ 7 මලලසේකර මාවතට ඒ නම ලබාදී ඇත්තේ ප්‍රකට විද්වතෙකු වූ ගුණපාල මලලසේකර සිහිපත් වීමටය. එයට පෙර ඒ මාර්ගය හැඳින්වූයේ ලොන්ඩන් පෙදෙස යනුවෙනි. ඒ ආණ්ඩුකාර ජේම්ස් රොබට් ලොන්ඩන් (1827 - 1891) සිහිපත් කිරීමටය. ඔහු 1827 සිට 1883 දක්වා මෙරට ආණ්ඩුකාර ධුරය දැරීය.

► කුසුම්සිරි විජයවර්ධන