රාත්‍රී සමාජ ශාලාවල සහ බීච් පාටිවලදී අධික මිලකට අලෙවි කරන ඩාන්සින් ටැබ්ලට් නොහොත් නැටුම් පෙති නමින් හඳුන්වන ජාවාරම අද සමහරුන්ට මත්පෙති ජාවාරමේ ධන උල්පතක් වී ඇත. එම ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් රුපියල් 80,000කට අධික වටිනාකමින් යුත් මත්පෙති 20ක් සමඟ මරදාන ටෙක්නිකල් හන්දියේදී ඉකුත් දිනෙක අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකය සමත්ව තිබේ.
වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.
එදින සිකුරාදා දිනයක් වූයෙන් ආරම්භවීමට නියමිතව තිබුණේ දීර්ඝ සතිඅන්ත නිවාඩුවකි. කොළොම්තොට සේවයේ නිරතව සිටින්නන් බහුතරය සති අන්තයට ගම්බිම් බලා ගියද කොළඹට ජනතාව හිඟ නොවේ. සාමාන්‍ය සති අන්තයකට වඩා දීර්ඝ සති අන්තයක් එළැඹෙන තෙක් සිහින මවන පිරිසක් කොළඹ සිටිති. ඔවුන් සැබැවින්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවෝ වෙති.
මේ පිළිබඳ පැහැදිලිවම තතු දන්නා කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් මත්කුඩු හා මත්පෙති ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රමවත් වැටලීම් සිදුකරමින් සිටිති. සති අන්තයේදී එවැනි වැටලිම් වැඩි වශයෙන් සිදුකරන්නට නිලධාරීන් පියවර ගන්නේ එම දිනවලට ජාවාරම් බහුලව සිදුකෙරෙන නිසාය.
ඉකුත් පෝය දිනයේදී කොළඹ නගරය තරමක් පාළු බවක් දිස්වුවද කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ එක්කයේ උප පොලිස් පරීක්ෂක කැළුම් සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මරදාන පොලිස්ථානයෙන් ගමන් අරඹා ටෙක්නිකල් හන්දිය දෙසට ජීප්රථය ධාවනය කරමින් සිටියේය. තරමක් සවස් වෙමින් තිබූ වේලාවකදී ඔවුන් පැමිණි රථය සංඝරාජ මාවත දෙසට හරවනවාත් සමඟම මංසන්ධිය පසෙක සැක සහිත ලෙස සිටි පුද්ගලයන් හතර දෙනකු දෙසට කැළුම් මහතාගේ දෙනෙත් යොමුවිය. වහාම ජීප් රථය නවත්වන්නට අණ කළ ඔහු තම නිලධාරීන් සමඟ ඔවුන් පරීක්ෂාවට ලක්කළේය. මේ අතර හතරමංහන්දියේ අනෙක් පසෙන් පැමිණි අයෙක් පදික මාරුව හරහා ගමන් කිරීමට පැමිණි අතර පොලිස් නිලධාරීන් දුටු වහාම නැවත ආපසු හැරී යන බවක් දුටු උප පොලිස් පරීක්ෂකවරයා වහා ක්‍රියාත්මක වී ඔහුගේ ගමන වළකා පරීක්ෂාවට ලක් කළේය.
ඒ අවස්ථාවේදී ඔහු ළඟ සඟවාගෙන සිටි පැකැට්ටුවක් පරීක්ෂා කිරීමේදී මේ ඩාන්සින් ටැබ්ලට් නොහොත් නැටුම් පෙති නමින් හඳුන්වන (actacy) මත් පෙති හමු වී තිබේ.
පසුගිය දිනකදී සැකකටයුතු හතර දෙනෙක් ඉන්නවා දැක්කේ ටෙක්නිකල් හන්දියෙදි. ඔවුන් පරීක්ෂාවට ලක්කරන අතරතුරදී පුද්ගලයෙක් මාර්ගය හරහා මාරුවෙන්න ඇවිත් අපි දැකපු ගමන් හැරිලා යන්න ගියා. ඔහු ගැන සැකයෙන් පරීක්ෂා කළාම මේ මත්පෙති ඔහු ළඟ තිබුණා යැයි උප පොලිස් පරීක්ෂක කුෂ්ටි සෝමරත්න මහතා පැවසීය. අනාවරණය වී ඇති පරිදි මත්පෙති මෙරටට ආනයනය කරනු ලබන්නේ පාකිස්තානය, ඉන්දියාව සහ ඩුබායි වැනි රටවලිනි. මේවා හොර රහසේ ගෙන්වන ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක බවත් ඔවුන් හෙරොයින් ජාවාරමේද නිරතව සිටින්නන් බවට තොරතුරු වාර්තා වී ඇත.
සැකකරු සන්තකයේ තිබියදී මත්පෙති 20ක් අඩංගු පැකැට්ටුවක් සොයාගත් අතර එහි මිලිග්‍රෑම් 615ක් බැගින් අඩංගු වූ ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300කට අධික පෙති තිබී ඇත. මෙම මත් පෙත්ත භාවිත කිරීමේදී කුසගින්න, මහන්සිය හෝ නිදිමත බවක් නොදැනෙන අතර කිසිදු වෙහෙසක් නොදැනෙන බව කියයි. මේ තත්ත්වය පැය 24කට අධික කාලයක් පවතින බැවින් ඒ කාලය තුළදී කිසිදු ආහාරයක් නොගෙන ජලය පානය කිරීමෙන් පමණක් ගත කළ හැකිය. මේ හේතු මත ඩාන්සින් පෙත්තට වැඩි ඉල්ලුමක් තිබෙන අතර, රාත්‍රී සමාජශාලාවල සහ බීච් පාටි පැවැත්වෙන ස්ථානයන් වෙත යන අය වැඩි වශයෙන් මිලට ගැනීමට පුරුදුව සිටිති. රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව මෙම පෙත්තක් රුපියල් 8000ක් තරම් මුදලකට අලෙවි කෙරෙන අතර, රැපියල් 3500ක අවම මිලක් යටතේද අලෙවි කරන්නට ජාවාරම්කරුවෝ ක්‍රියා කරති.
මෙම මත්පෙති ලංකාවට ගෙන ආ මුල් කාලයේදී විදේශිකයන් සහ මෙරට ධනවත් පිරිස් ගැවසෙන රාත්‍රී සමාජ ශාලාවල පමණක් අලෙවි කළ පෙත්ත මේ වනවිට කොළඹ ආශ්‍රිත වතුවලට ව්‍යාප්තව තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ඩාන්සින් පෙත්ත ලෙස අර්ථ දක්වන්නට හේතුව වශයෙන් දක්වන්නේ පෙත්ත ගිලීමෙන් පසු මහන්සියකින් තොරව පැය 24කට වැඩියෙන් නර්තනයේ නියැලීමට හැකි නිසාය. කොළඹ වතු ආශ්‍රිතවත් සෙසු ස්ථානවල හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවෝත් හෙරොයින් වල අධික මිල ගණන් නිසා මෙකී පෙත්තට පුරුදු වී ඇතැයි වාර්තා වේ. ඇතැම් යුවළ වශයෙන් රාත්‍රී සමාජ ශාලා වෙත යන අය එක් පෙත්තක් මිලට ගෙන දෙකට බෙදා පානය කරන අතර එහිදී එහි වින්දනය පැය 12ක් අවම වශයෙන් පවතින බවද කියා සිටිති. මේ අනුව වාර්තා වන්නේ actacy පෙත්ත සඳහා ඇතැම් කාන්තාවන්ද ඇබ්බැහි වී සිටින බවකි.
ගල්කිස්ස ඇතුළු වෙරළ ආශ්‍රිතව පැවැත්වෙන බීච් පාටි සඳහා මෙම පෙති වර්ගය බහුලව ලබාගන්නා බවද එහිදී රුපියල් 5000කට පමණ එක් පෙත්තක් අලෙවි කරන බවද වාර්තා වේ. මේ ආකාරයට අලෙවි වන මත්පෙත්ත දැනට කොළඹ හා අවට නිවෙස්වල පවත්වන සාද සඳහාද ඇණවුම් කරන බව වාර්තා වේ. මේ අයුරින් කොළඹ වතු ආශ්‍රිතව මත්පෙති ජාවාරම ව්‍යාප්ත වීම බරපතළ තත්ත්වයක් බව පොලීසිය පවසයි. පසුගියදා අත්අඩංගුවට පත් ජාවාරමේ නිරත වූ තැනැත්තා 28 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු පීර් සයිබු වීදිය, කැඩිච්චවත්ත, කොළඹ 12 පදිංචි අයෙකි. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොහු මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් පෙති ලබාගෙන කොමිස් මත විකුණන බවය. ඔවුන් නගරයේ ඇති දුරකතන කුටි ඔස්සේ සන්නිවේදනය කොට ගනිමින් භාණ්ඩ හුවමාරු කරගන්නා බවද පවසා ඇත. වසරකට වැඩි කාලයක් ජාවාරමේ නිරත වෙමින් සිටි පුද්ගලයා ඊට පෙර හෙරොයින් ජාවාරමේ නිරත වූවෙකි. ඔහුගේ පියා අධිකව හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටි බවත් හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට සිරගත වී සිටින බවද වාර්තා වී ඇත. සැකකරුගේ මවද එවැනි ජාවාරම්වලට සම්බන්ධව සිට කේරළ ගංජා අලෙවි කිරීමේ වරදට වරදකාරියක වී දැනට බන්ධනාගාර ගතව සිටින්නියකි.
මේ වනවිට සාමාන්‍ය ජනතාව අතර භාවිතයට පත්ව ඇති ඩාන්සින් ටැබ්ලට් නොහොත් නැටුම් පෙත්ත මාළිගාවත්ත, කෙසෙල්වත්ත, වනාතමුල්ල, ඔබේසේකරපුර ඇතුළු වතු ආශ්‍රිතව ව්‍යාප්තව තිබෙන බව සඳහන් වේ.
කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා, උප පොලිස් පරීක්ෂක කැළුම් සෝමරත්න, පොලිස් සැරයන් 1675 ජයවීර, පොලිස් කොස්තාපල්වරැන් වන 16571 අබේසිංහ, 72811 කසුන්, 79997 වාසල, 86586 පුෂ්පකුමාර යන නිලධාරීහු විමර්ශනවලට දායක වූහ.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර