2017 මාර්තු 11 වන සෙනසුරාදා

සාධුකාරයක් අවශ්‍යයි පින්වතුනි

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

අප ජීවත් වන්නේ ආසියාතික අගතීන්ගෙන් පිරුණු සමාජයකය. උත්තරාරෝපිත ධනේෂ්වර ක්‍රමයක අවවර්ධිත ගති ස්වභාවයන්ද, පැරැණි වැඩවසම් සමාජයක නෂ්ටාවශේෂද ඊට එකතු වී තිබේ. එනිසාම ලංකාවේ සමාජය තුළින් නිරන්තරයෙන්ම මතු වෙමින් තිබෙන්නේ ඇදහිය නොහැකි සමාජයීය දුබලතාවයන්ය. සංස්කෘතික දිළිදුකම්ය. තවමත් බඩ ගාමින් දණ ගාමින් සිටින ආර්ථිකයක පසුගාමීත්වයද ඊට මුසු වූ විට කිසිදු දෙවියෙකුට අපව බේරාගත නොහැකිය. 

බුදුපිළිම අගින් සවනක් රැස් විහිදෙන්නේ යැයි රැවටුණු අප වරක් මහ පාරේ සාධුකාර දුන්නෙමු. අනන්ත බුදු ගුණ බෙලෙන් සකල ලෞකික පීඩා දූරිංභූත වන්නේ යැයි වතාවක් අප දොළුකන්දේ බඩ ගෑවෙමු. කැබිලිත්තෙන් ප්‍රාතිහාර්ය පතා දුෂ්කර වන රොදක මොන තරම් දුම් ඇල්ලුවේද යත්, එකී සියඹලා ගස මැරී යන්නට විය. සමහර විටෙක කතරගම දෙවියන් දුම ඉවසාගන්නට බැරිව වෙන ගසක් සොයා ගන්නටද ඇත. එක ක්‍රිකට් තරගයකින් ඕනෑම ජාතික ගැටලුවක් අමතක කරන්නටද අපි දක්ෂය. ජයග්‍රහණයට ඔල්වරසන් දෙන අපි පරාජයේදී දෙවැනි වන්නේ ගිනි තබා ගන්නා ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට පමණි. ඊළඟ දවසේ පටන් ගෙදර දොරේ ප්‍රශ්නවලටත් වඩා ජාතික සංචිතය ගැන අවධානය යොමු කරන අපි ඊළඟ තරගාවලියට කණ්ඩායමද තෝරන්නෙමු. ඒ කාලයේ තේරීම් කමිටු සභාපතිවරයාටද වඩා තදින් අපි ඒ ප්‍රශ්නය ඔළුවට ගන්නෙමු. පුදුමය නම් එක තරගයක පරාජය දරාගන්නට අකැමැති අප හැට අට වසරක් රට පරාජය වන හැටි අකම්පිතව බලා හිඳීමය. මාලිංගගේ පන්දු ඕවරයකට යොමු කරන තරමේ අවධානයකින්වත් අප රටේ දේශපාලන චලනයන් නිරීක්ෂණය නොකරන්නෙමු.

එය දියුණු ක්‍රීඩා ලෝලීත්වයක් යැයි වරදවා වටහා ගැනීම වෙනුවට අප තේරුම්ගත යුත්තේ ගිලී සිටින පසුගාමීත්වයේ අගාධය කොතරම්ද යන්නය. නවක වධය හෝ වෙනත් ඕනෑම සංසිද්ධියක් පිළිබඳව අපේ කතාබහ පටන් ගත යුත්තේ මෙන්න මේ පසුගාමීත්වයේ තරම අවශ්‍ය ප්‍රමාණයට ඔළුවට අරගෙනය. විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයනයට පිවිසෙන්නේ වෙනත් ග්‍රහලෝකයක සිසු සිසුවියන් නොව මෙන්න මේ පසුගාමී සමාජය තුළින්ම ලෝකය කියවන ලද පිරිසකි. අප ශිෂ්‍යයන්ව සිටින සමයේ වරක් කොළඹ විශ්වවිද්‍යාලයේ සිනමා උලෙළක් සංවිධානය කළෙමු. එහිදී UNFAITHFUL සිනමා පටය නැරඹූ ඇතැම් සිසුවියන් නව කලාගාරයෙන් එළියට බැස්සේ එහි ප්‍රධාන නිළියගේ චපලත්වයට දෙස්දෙවොල් තබමින් කුණුහරුපයෙන් බැණ වදිමිනි. ඒ වචන ප්‍රසිද්ධ මාධ්‍යයක පාවිච්චි කිරීම නුසුදුසු බැවින් නොලියමි. ඒ මේ පසුගාමී සමාජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ රසිකත්වයේ තරමය. එම සරසවියේම වරක් කිසියම් කණ්ඩායමක් “මාලන් බ්‍රැණ්ඩෝ”ගේ චිත්‍රපට උලෙළක් සංවිධානය කළේය. එහිදී ඇතැම් සිසුන් ඊට එරෙහි වූවා මට මතකය. 

(ලබන සතියට)
♦ නලින්ද සංජීව