2017 මාර්තු 11 වන සෙනසුරාදා

ගහන උන්ටවත් ගුටිකන උන්ටවත් තේරුමක් නෑ මචං...

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

ගුටිකාගෙනම අපි පාර දිගේ දිව්වා. හැමෝම සීසිකඩ. මමයි රාජයි අන්තිමට මහජන පුස්තකාලේ කැන්ටිම පිටිපස්සෙ නතරවුණා. රාජාගේ ඇහැට උඩින් පැලිලා ලේ වැක්කෙරෙනවා. මම ලේන්සුව පොඟවලා තුවාලෙට තිබ්බත් ලේ නතර වෙන්නෙ නැතිවම වතුරත් එක්ක කලවම් වෙලා මගේ ඇඟිලිකරු අස්සෙන් ‍බේරිලා අත දිගේ ගලනවා. උගෙ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. මට මං ගැනම තරහයි. උගෙ ඇස් දිහා බලන්න බැරි තරම් දුකයි. රාජා මාව විශ්වාස කරලා පිකට් එකට ආවේ ඌට වැඩ නැති හින්දා නෙමෙයි. මන්නාරමේ ඉපදිලා ජිවිත කාලෙම යුද්දෙන් බැටකාපු රාජා හීන කන්දක් අරගෙන කොළඔ ඇවිත් ඉන්නෙ. හැමදාම රෑට රාජා අම්මා අප්පා ගැන ජීවිතය ගැන හුගක් දේවල් කියවනවා. මට ලේ නෑකමක් නැති සහෝදරයෙක් ඉන්නවා කියලා ‍තේරුණේ රාජා හම්බවුණාට පස්සෙ. මට දුක ඒකයි. 

“මචං, මට සමාවෙයන්” 

“මම උගේ ඇස්, මඟඇරලා කිවුවා. ඒ වෙලාවෙ තමයි රාජගෙ ඇස්වල පිරිලා තිබුණ කඳුළු එළියට පැන්නෙ. ඒ හැම කඳුළකම දිග කතාවක මට මඟඇරැන හුඟක් දේවල් තිබුණා. මචං උඹ අවුල් වෙන්න එපා. මීට වඩා දේවල් මම දැකලා තියෙනවා.” 

ටික වෙලාවක් කඳුළුවලට ඔහේ ගලාගෙන යන්න දීලා බලාගෙන හිටපු රාජා මගෙ උරහිසට අත තියන ගමන් කිව්වා. 
“උපන්දා ඉඳලා ගුටිකාපු අපිට රිදෙන්නෙ නෑ බං. මට ඇඬුනෙ උඔ මගෙන් සමාව ඉල්ලපු හින්දා. ඔය වචනෙ අපේ අම්මලා තාත්තලා දැනගෙන හිටියනම් අපි මේ වගේ අතරමං වුණ පරම්පරාවක් නොවෙන්න තිබුණා. හැමෝම හිතුවෙ අයිතීන් ගැන. යුතුකම් අමතක කළා. තාමත් එහෙමයි. අපි අයිතීන් ඉල්ලලා අරගල කරනවා. ඇත්ත, අයිතීන් බන්දේසියක තියලා දෙන පාලකයො බිහිවෙලා නෑ. අයිතින් ලැබුණෙ අරගලවල ප්‍රතිඵල විදිහට. ඒත් අපි යුතුකම් ගැන හිතලවත් නෑ. නිදහස් අධ්‍යපනය අයිතියක් විදිහට ඉල්ලුවට යුතුකමක් විදිහට අපි හරියට ඉගෙන ගන්නවද? අපි මොනවද මේ පො‍ෙළාවට ඕන නව දැනුම කියලා නිෂ්පාදනය කරගෙන තියෙන්නෙ? යුතුකම්-අයිතීන් සමබරව තියෙන්න ඕනෙ. එහෙම නැතුව කුහක විදිහට අයිතීන් වෙනුවෙන් අරගල කරලා යුතුකම් මඟඅරින උන් මේ පොළොවට වැඩක් නෑ. ඉතිහාසයෙ ඉඳලා අයිතීන් ඉල්ලපු උන් හිටියා. හැබැයි උන් යුතුකම් ඉෂ්ටකළේ නෑ.

බලපන් ඡන්ද අයිතිය ඉල්ලුවා ලැබුණා ඒත් අපිට යුතුකමක් විදිහට යහපත් දැක්මක් තියෙන, අවංක පාලකයො ටිකක් පත් කරගත්තද? උඹට හිතෙන්නෙ නැද්ද ලෝකෙ අනිත් රටවල්වලට සාපේක්ෂව අවුරුදු, ගාණක් පිටි පස්සෙන් ඉන්නෙ කියලා. අපි තවම ජාතිය, භාෂාව, ආගම එක්ක එල්ලිලා ඉන්නවා මිසක් ආදරයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් අලුත් සංකල්ප බිහිකරගෙන නෑ. සිය දහස් ගාණකගෙ ලේ වලින් මේ පොළොව පෙඟුණත් අපි තාම පාඩම් ඉගෙන ගෙන නෑ. අපි යුද්ධ කළේ රණ්ඩුවුණේ මිනිස්සු, එක්ක මිසක් මතවාද එක්ක නෙමෙයි. ඇතිවෙනකම් මරාගත්තා. ලැබුණෙ මොනවද? අතීත පරම්පරාවට මේ රට මීට වඩා යහපත් කරන්න බලාපොරොත්තු තියෙන්න ඇති. ඒ වුණාට මම හිතන්නෙ උන් තෝරගත්ත පාර වැරදියි. ඒවුණත් උන්ට හැරෙන්න වුවමනා වුණෙත් නෑ. ආයුදවලින් සන්නද්ධ වෙනවා වෙනුවට දැනුමෙන් සන්නද්ධ වෙන්න පුළුවන්, මතවාදී, අරගල තිබුණා නම් මේ කතාව අපිට මීට වඩා වෙනස් විදිහට කරන්න තිබුණා. මම අසුභවාදී වෙනවා නෙමෙයි මචං...”

රාජා උන්නු තැනම නැගිටින ගමන් කිව්වා. නල‍ළෙන් ලේ එන එක නතරවෙලා තැනින් තැන ලේ කැටි ගැහිලා තිබුණා. අපි ආයෙමත් කැම්පස් එක පැත්තට එන්න පටන් ගත්තා.

“අධ්‍යපන අයිතිය සුරකිනු” 

රතුපාට ලස්සන අකුරින් ලියලා තිබුණ පෝස්ටර් බිම තැන් තැන් වල. ඒවා උස්සගෙන හිටපු උන් ම ඒවා උඩින් පැනලා යනවා. මඟඇරලා යනවා. පාගගෙන යනවා. 

“අපි ඉල්ලපු අපේ අයිතියම පාගාගෙන යනවා” 

රාජා උගෙ පුරුදු හිනාවෙන්ම කිවුවා.

“උඔ හිනාවෙන්නෙ අපි අයිතීන් වෙනු‍වෙන් අරගල කරන එක, ගුටිකන එක තේරැමක් නෑ කියලද?” 

මම ඇහුවා. 

ගහන උන්ටවත් ගුටිකන උන්ටවත් තේරුමක් නෑ තමයි.

“බලපන් අපිට ගහන පොලීසිය අයිති රජයට. ගුටිකන අපි රජයෙ විශ්වවිද්‍යාලේ ගුටිකාලා බෙහෙත් රජයෙ රෝහලෙන්. මේ ඔක්කොම නඩත්තු කරන්නෙ අපේම දුප්පත් අහිංසක අම්මලා තාත්තලා. මිනිස්සු කන බත්පතට ගහන බදුවලින් මේවා නඩත්තු වෙන්නෙ. උන් කරන කැප කිරීමට සාධාරණයක් කරන්නනම් මේ ප්‍රශ්න මීට වඩා හොඳ විදිහකට විසඳගන්න උත්සාහ කරන්න ඕනෙ කියලා දකින්න එකෙක්ටවත් ඕනෙ නෑ. උඹ අහලා තියෙනවද දර්ශනයක් නැති තැන විනයක් නෑයි කියලා. මොකද්ද උඹ එතකොට කියන්න හදන්නෙ? අපිට පොත් පත්වල තියෙන දේවල් පාඩම් කරලා විභාග පාස් වෙන්න පුළුවන්. එතකොට උගත්තු. ඒ වුණාට සමාජයක් විදිහට ඉස්සරහට යන්න අපි අපිට වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න ඕනෙ. එහෙම හිතන්නෙ නැතුව මේ සමාජය මිට වඩා යහපත් තැනක් කරන්නෙ කොහොමද?

අපිට ජීවිතය ගැන අදහසක් නෑ. අපේම උන්, මැරෙනවා දැක්කට ඒ මරණ අපිට දැනිලා නෑ. එහෙම වුණා නම් අපි මීට වඩා වෙනස්ව හිතනවා. අපි මිට වඩා මේ ගැන කතා නොකර ඉමු. 

අපි බෝඩිමට එනකම්ම වචනයක්වත් කතා කළේ නෑ. රාජා ආපුගමන් නාගෙන පොතක් පෙරළා ගත්තා. මම එහෙම්ම ඇඳට වෙලා සිවිලිම දිහා බලාගෙන හිටියා. මට හිතන්න හුඟක් දේවල් තියෙනවා. හිතන්න... නැවත හිතන්න... නැවත නැවත හිතන්න. 

ටික වෙලාවකින් රාජා ළඟට ආවා. 

“මචං, උඔ හෙට පිකට් එකට යන්නෙ නැද්ද?” 

මට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. මම උගෙ මුණ දිහා බැලුවා.

“හෙට අයිතීන් ඉල්ලලා පිකටින් එකට කලින් අද පාඩම් කරලා ඉවර කරපන්. Assignment ටික ඉවර කරපන් නැත්තම් හෙටත් ගුටිකන්න වුණොත්, තේරුමක් නැති වෙනවා.

“උඔත් එනවද?” 

“ඔව්.” රාජා උගෙ සුපුරැදු හිනාවෙන්ම උත්තර දුන්නා.

♦ චන්දිම කාරියවසම්