පළමුව ඇදී ගියේ මිග් යානා සමූහයකි. ඒ පසුපස කෆීර් යානයක් ශබ්දයේ වේගය පරදවමින් පියඹා ගියේය. ඊට පසු හෙලිකොප්ටර් පෝලිමක් මේ විපර්යාසය කුමක්දැයි බොහෝ දෙනෙක් අහස දෙස බලා සිතූහ.
1950 දශකයේ චිප්මන්ක් ගුවන් යානයෙන් පළමුව ගුවන තරණය කොට අද වනවිට මිග් යානා, කෆීර් යානා පමණක් නොව ලොව නවීනතම තාක්ෂණයෙන් සමන්විත එෆ් 7 ගුවන් යානාවලින් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 66 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ ගුවන් දර්ශනය බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට දැකගත හැකි වූයේ එලෙසිනි. සුරකිමු ලකධර තේමාවෙන් ශ්‍රී ලාංකික අභිමානය ලොවට ගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි.
ගුවන් හමුදාවේ ගෞරවාන්විත සේවාවේ 66 වැනි සංවත්සරය අභිමානයෙන් සමරන්නට සුවිශේෂි සැමරුම් උළෙලක් සමඟ ප්‍රදර්ශනාත්මක සැණකෙළියක් පසුගිය 3, 4, 5 දිනයන්හිදී රත්මලාන ගුවන් හමුදා කඳවුරැ පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ සියල්ල සංවිධානය වූයේ මාර්තු 2 වැනිදාට යෙදුණු සංවත්සරය නිමිත්තෙනි.
උත්සවයේ සමාරම්භය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර දෙවැනි දිනයේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. තෙවැනි දිනයේ සැණකෙළිය රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු යුදමය හැකියාවන් සහ දක්ෂතාවයන් දේශීය මෙන්ම කලාපීය වශයෙන් ජාත්‍යන්තරයට වැදගත් වන ආකාරය ප්‍රදර්ශනය පුරා මනාව පිළිඹිමු කෙරිණි. ගුවන් හමුදාවේ සුවිශේෂී කාර්යභාරය මෙන්ම හමුදාව සතු ශක්තිය ප්‍රදර්ශනය කිරීමද සැණකෙළිය පුරා දැකගත හැකිවිය. මේ අතර හදිසි ආපදා තත්ත්වයන්හිදී සහ ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී මහජනතාව මුදා ගැනීම සඳහා ගුවන් හමුදාව ක්‍රියාකළ ආකාරය නිදර්ශනාත්මකව පෙන්වීමටද කටයුතු කෙරිණි.
ප්‍රදර්ශනය හා සැණකෙළිය අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සියලුම ගුවන් යානා යොදාගෙන සිදුකළ ගුවන් යානා සංදර්ශනය සහ ගුවන් කරණම් උත්සවය විචිත්‍රවත් කළේය. ගුවන් හමුදා පැරෂුට් බලගණය ඉදිරිපත් කළ පැරෂුට් සංදර්ශනය සුවිශේෂී අංගයක් වූ අතර අඩි 10,000ක් ඉහළ අහසේ සිට විශාල ගුවන් හමුදා ධජයක් සංදර්ශන භූමියට රැගෙන එන්නට ඔවුහු කටයුතු කළහ. රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ගොඩබිම යුදමය අවස්ථාවක් සංදර්ශනාත්මක ලෙස නිරුපණය කළ අතර ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම, හදිසි ආපදා තත්ත්වයකදී ගුවන් හමුදාවේ ගිනි නිවන ඒකකයේ කාර්යභාරයද එහිදී නිරෑපණය කෙරිණ. ගුවන් නිල සුනඛ සංදර්ශනය මෙන්ම ගුවන් හමුදා තූර්ය වාදන කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ නර්තන නිර්මාණ උත්සවය වර්ණවත් කළ අතර සෑම දිනකම උත්සවය අවසන් වූයේ දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සහභාගී වූ සංගීත ප්‍රසංගයකිනි.
ප්‍රදර්ශනය අතරතුර ගුවන් හමුදාව සතු සියලු ගුවන් යානා වර්ග නැරඹීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබූ අතර මෙරට වර්ධනය වන ගුවන් සේවා ක්ෂේත්‍රවලට අයත් සේවා සපයන්නන් සහ අදාළ ආයතන පිළිබඳව හඳුනා ගන්නටත් අවස්ථාව උදාකොට තිබිණ. සැණකෙළියට සහභාගී වූ දරු දැරියන්ට විනෝද කලාපයක් වෙන් වී තිබූ අතර ආහාර පාන අලෙවි කලාපයක්ද විය.
1951 වර්ෂයේ මාර්තු 2 වැනිදා රාජකීය ගුවන් හමුදාව ස්ථාපිත වූ අතර එහි පළමු ගුවන් හමුදාපති වූයේ දෙවන ලෝක සංග්‍රමයේ ක්‍රියාශීලි ගුවන් නියමුවෙක් වූ ග_ප් කැප්ටන් ජී.සී. බ්ලේණ්ඩ් මහතාය. පළමු ශ්‍රී ලාංකික ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් ඊ.ආර්. අමරසේකර මහතා පත් වූයේ 1962 වර්ෂයේදීය. 1971 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ 1972 මාර්තු 2 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස පරිවර්තනය විය. විනය, කැපකිරීම, ක්ෂේත්‍රීය දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාම සාධක හමුදා කටයුතුවලටද තෝරා ගැනිණ.
ගුවන් හමුදාපතිවරු 15 දෙනකුගෙන් පෝෂණය වූ ගුවන් හමුදාවේ වර්තමාන ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතාය. 66 වසරක අභිමානවත් මෙහෙවර තුළ ලාංකික අඹර සුරුකූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දේශය සුබ පතමු.
♦ කතාව / සේයාරූ
සමන්ත ප්‍රදීප් විල්තෙර