2017 මාර්තු 11 වන සෙනසුරාදා

ඔරේනස් ඔබට සුබ ගමන්

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

නිම්නයෙන් ඔබ්බේ වූ කඳුකර වන තීරයට අරුණලු නැගෙන මහා පාන්දර කල්ප කාන්තරයක් ඉපැරැණි ගල්තලාව මත ඔරේනස් නම් වූ හේ හිරුරැස් දිහා බලාන උසට උසේ හිටගෙන උන්නේය. රාත්‍රී කාලය මුළුල්ලේ යහමින් පවිත්‍රව ගිය වාතයෙන්ද උදුල හිරු රැසින්ද, සදාහරිත වනතුරු ලතාවන්ගෙන්ද සැදුම්ලත් උදෑසන නම් වූ මේ මොහොත පිළිගනු වස් නීලකොබෝ කෝකිල ගිරා මලීත්තන්ද ගී ගයනු ඇසිණ. කල්පයෙන් කල්පය කාලය නම් අවකාශය හරහා අතීතයේ සිට සංචාරය කළ මේ සොඳුරු ගීතාවෝ ඔරේනස් මනැසින් කෙඳිරූහ. වසර දෙදහස් පන්සීය ගණනක ‍ප්‍රෞඩ ඉතිහාසයක් ඇතැයි කියන දේශයකි මෙය. මෙතෙක් පහළ වූවා වූද අනාගතයේදී පහළ වන්නාවූද සියලු ශාස්තෘවරුන්ගේ ඇල්ම බැල්ම වැටෙතැයි විශ්වාස කරන පූජනීය භූමියකි මෙය. එහෙත් මිනිස් හුස්මක් නෙවැටෙනා මෙවැනි සදාහරිත ඉසව් හැරුණු කළ අවශේෂ පොළෝ අවකාශයේ ඇති සියලු කාරණා කොතරම් නොසොඳුරුද? මේ විනාශය කර ගත්තේ කවරහුද? ඔහුමය. ඔරේනස්ගේ ගුරුවරයාණන් වහන්සේ සේම ඔරේනස්ද මුන් කෙරේ පිළිකුළකින් තොරව බැලුවේය. 

අසරණයෝය, නොබුද්ධිමත්හුය, මන්දපෝෂණකාරයෝය, විකාරය. ඇස්, කන්, නාසා, කද, බඩ පමණක් හිමි ශාපලත් ජීවීහුය. යන්නේ කොහේදැයි නොදැන ගමන් යන්නාවූද, කරන්නේ මොනවාදැයි නොදැන ක්‍රියාශීලී වන්නා වූද, කන්නේ මොනවාදැයි නොදැන බුදින්නාවූද, දන්නේ මොනවාදැයි නොදැන දෙසන්නාවූද ඔවුහු ඔවුන්ගේම උද්‍යානයේ අතරමං වූවෝ වෙති. ඔවුන්ගේම නිවසේදී අවාසනාවට ගොදුරුවූවෝ වෙති. ඔවුන්ම බැඳි ඔවුන්ම වැඳි දේවාලයේදී සාප ලද්දෝ වෙති. ශාස්තෘන්ගේ ධර්මය ගෙන ශාස්තෘන්ටම දෙසන දේශයක් පිළිබඳ අනුකම්පාවෙන් හාත්පස බලන්නේ ඔරේනස්ය. වටහා ගන්නට පිනක් කෙසේ වී නමුදු බුද්ධියක් ඇති කෙනෙකු වෙත් නම් වටහා ගනිත්වා. මා මාගේ දේශාටන චාරිකාවේ මේ පියවරද සාපුරාලමියි සිතා හේ තෙමේ ගල්තලාවෙන් පහළට බසින්නේය. දියසීරාව ගලන ගල් තලාවේ වූ සදාකාලික දිය සෙවෙල් පවා ඈත් මෑත්ව ඔහුට ඉඩහසර පෑහ. නොලිස්සා පරිස්සමට පහළට අවතීර්ණ වීමට අත්වැල් සපයනු වස් තුරු බදා වැළඳ හුන් ලතාවෝ සමීපයට වන්නාහ. සෙමින් බර අඩි තියා හේ පහළට වන්නේය. 
දැන් වන රේඛාව පාමුලය. මඳ දුරක් ගිය පසු නිම්නයේ උල්පතක් විසින් මුදා හරින අපරිමිත කරුණාවේ සිහිලැල් පළිඟු කැට වන් දිය දහරාව සිහින් දොළකට රොක්ව ගලන්නේය. වනේ සතා සීපාවා පවා තවමත් සිය දෙනෙත්වලින් නොදුටු ඉසව්හි සිට උපත ලබා වනයේ පෝෂකාඖෂධ වෘක්ෂ මූලයන් සිප සෝදා ගලන මේ දියදහර කොතරම් නම් ප්‍රණීතද, සැහැල්ලුද, ජීවන ගුණයෙන් අනූනද? හේ ඉන් දෝතක් පුරවා පානය කළේය. 

ඈත මිටියාවත දෙසත් තමන් ආ නිම්න භූමිය දෙසත් වරන් වර බැලූ කල, හේ මෙසේ සිතයි.

“මිනිසුන් යථාර්ථය යැයි සිතා සිටින සංකල්පයම කොතරම් මුසාවක්ද? ඔවුන්ගේ මැවුම්කාරයා ඔවුන්මයැයි සිතීමෙහි ඇති වරදක් නැත. එහෙත් එසේ සිතන නිසාම ඔවුන්ගේ විනාශකාරයා බවටද ඔවුන්ම පත්ව ඇතැයි මිනිසුන් නොදත්තේය. ඔරේනස්ගේ ගුරුවරයාණන්ගේ අදහසට අනුව මේ ප්‍රජාවට දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇතත් අනාගයක් නම් අනිවාර්ය ලෙසම නැත්තාහ. ඔවුන්ට පිහිට විය යුත්තේද ඒ නිසාමය.

තම දෙපා අසලම ඇවිස්සී එහා මෙහා දුවන කුහුඹු රැළක් ඔරේනස්ගේ නෙත ගැටෙයි. හේ පහත් වි බලයි. එක් කුහුඹුවෙකු ඉලක්ක කර බලා සිටියි. කුහුඹුවා කොහේදෝ ගමන් යයි. එකිනෙකා හමුවෙයි. මඟ වෙනස් කරයි. නැවත යයි. නැවත හමුවෙයි. නැවත ගමන් කරයි. මඳ වෙලාවකට පසු එකී කුහුඹුවා ගමන් කරමින් සිටින්නේ තමන් පෙර ගමන් ආරම්භ කළ මාවත ඔස්සේමය. මින් කියැවෙන්නේ කුමක්ද. මෙවන් ජීවියෙකුට අරමුණක් නැත. ජීවියක් ලද්දා සේම ඒ ජීවියාට අරමුණක් පිහිටිය යුතුය. එසේ නැති නම් ඔවුන්ට උරුම වන්නේ හුදු දෛවයක්ම පමණි. ඔරේනස් නැගිට ඈත බලන්නට විය. 

මින් එහා ගම්මානයය. ඉන් එහා මෙවන් දිය උල්පතක් තබා ගවර කැසි ජලය තරමටවත් පිරිසුදු ජලපතක් නොතිබෙන්නට පුළුවන. එහෙත් මාගේ ව්‍යායාමය අත්නොහරිමියි හේ සිතුවේය. භෞතික සේම අභෞතික වශයෙන්ද අකම්පාලව, අපිරිසුදුව ගිය වාසනාවට පයින් ගැසූ අවාසනාවන්ත ජාතියකට දේවෝත්තම නිම්නයේ උල්පත් ඇති තැන් කීම ඔහුගේ සංදේශය වන්නේය. එහි ගොස් නිම්න උල්පත් වලින් හිත කුස පුරා පිපාසය සංසිඳුවාගත හැක්කේ ආශීර්වාද ලද්දන්ට පමණක් බව පසක්කර දීමද ඔහුට පැවරුණු රාජකාරියකි. මේ සියල්ල තනිව කළ හැකිද නොදනිමියි සිතා හේ ඉදිරියට පය තැබුවේය. ඔරේනස් ඔබට සුබ ගමන්.

♦ සමන් එදිරිමුණී

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00