2017 මාර්තු 11 වන සෙනසුරාදා

පනහ පැන්නත් හුණුවටය තාම තරුණයි

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 611

ළය ලෙය කිරි කළ ඇය අම්මාය. රක්ත වර්ණ රුහිරු දහරාව ශ්වේත වර්ණ කිරි දහරාවක් කළ විස්මය අම්මාය. තොටිල්ලක් කොට සැතපෙන්නට දරු කළලයට කුසයහන දන්දුන් අරුමය අම්මාය. ඒ වැදූ අම්මාවරුන්ටත් - වැදූ පසු හැදූ අම්මාවරුන්ටත් කිරිකැටියාගේ අයිතිය වෙනුවෙන් අරගල කරන්නට සිදුවූයේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ද කොකේසියන් චෝක් සර්කල් නම් කෘතිය තුළ පමණක් නොවේ. දරු සෙනෙහස අරභයා වැදූ මවුවරුන් මෙන්ම හැදූ මවුවරුන් ඒ යුරෝපීය පොළොවේත් මේ ආසියානු පොළොවේත් ලොව නන්දෙසත් ඉතිහාසය හා වර්තමානය තුළ අනේක වාරයක් කම්පාව හැඬුවෝය.

1966 අගභාගයේ දවසක ද කොකේසියන් චෝක් සර්කල් කියවූ තරුණ හෙන්රි ජයසේන මොහොතක් සසල විය. අවසානයේ ඒ සසල බව හුණුවටයේ කතාව නිර්මාණයේ සමාරම්භය විය. එදා කොළඹ රාජකීය කණිෂ්ඨයේ ශාලාවක පස් මසක් මුළුල්ලේ මෝරා වැඩුණු හුණුවටයේ පළමු අග්‍රඵලය 1967 මාර්තු අට වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී විචිත්‍රවත් ලෙස පෙළහර පෑවේය.

2017 මාර්තු අට වැනිදාට ඒ සමාරම්භය පනස් වසර සපුරාලීය. 1976 සිට 1996 දක්වා උසස් පෙළ කලා විෂය ධාරාවේ සිංහල විෂයට අදාළ නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වූ හුණුවටයේ කතාවේ පනස් වස පූර්ණ සැමරුමේදී එදා එහි රඟපෑ නළු නිළියන් වෙනුවෙන් විශේෂ ඇගයීමක්ද සිදුකෙරුණි. පරම්පරා ගණනක් නාට්‍යාස්වාදයෙන් ප්‍රේක්ෂකයන් බැඳ තැබූ දරුවාගේ අයිතිය වැදූ මවටද හැදූ මවටද යන සංවේදී ප්‍රස්තුතය හෙවත් හුණුවටයේ කතාව පිළිබඳ අතීතාවලෝකනයකි මේ.



හෙන්රි ජයසේනයන්ගේ සතුට නිම්හිම් නැත. තත්ත්පර දින සති මාස ඇවෑමෙන් ගෙවුණු කාලයේ ඉසිඹුවක් නොලැබ අසඩක් වෙනුවෙන්ම කැප කළ කාලය මොනතරම්නම් කොයිතරම් නම් සොඳුරු වෙහෙසක් නොවේද? මංගල දර්ශනය අවසානයෙහි පෙනෙන නොපෙනෙන කඳුළක් හෙන්රිගේ දෑසෙහි දිලිසුණේ ඒ සිතුවිල්ලෙනි. හෘදයෙන් හෘදය ගලා ආ සුබ පැතුම් අහංකාර නොවූ ආඩම්බරයෙන් දරාගත් වේදිකාවේ අසඩක් එදා පටන් හුණුවටය තම ජීවිතයේ කොටසක් කරගත් වේදිකාවේ විනිසුරෙකු වූයේය. විජේරත්න වරකාගොඩ අදටත් ඒ මතක සිහිපත් කරන්නේ භක්ත්‍යාදරයෙනි. පුතුගේ අයිතිය වැදූ මවටද හැදූ මවටද යන දාරක ස්නේහයේ අතිශය ගැඹුරාන්තයක් පිළිබඳව මානුෂීය කියවීම හෙවත් හුණුවටය දශක පහක් මුළුල්ලේ පරම්පරා ගණනාවක ප්‍රේක්ෂකයෝ සංවේදීභාව උත්පාදනයෙන් යුතුව විඳගත්හ. පනස් වසරක් වේදිකාවේ ජීවමාන වන්නට අනායාසයෙන් ලද විවරණයම ඊට දෙස් දෙන සඳ තවත් නම් උදාහරණ සොයා වෙහෙසෙනු කුමටදැයි මට සිතේ.

මේ වෙද්දී හුණුවටයේ නාට්‍ය කණ්ඩායම සාමාජිකයන් තිස්පස් දෙනකුගෙන් සැදුම් ලද්දත් එහි ආරම්භක සාමාජික සංඛ්‍යාව 40ක් පමණ විය. ගෘෘෂා - මානෙල් ජයසේන, කස්බෙක් - එල්සන් දිවිතුරගම, සයිමන් සෂාවා - සැන්ටින් ගුණවර්ධන එදා හුණුවටයට ප්‍රාණය පොවද්දී චන්ද්‍රා කළුආරච්චි, ග්‍රේස් තෙන්නකෝන්, ඩග්ලස් රණසිංහ වැනි වේදිකාවේ දැවැන්තයෝද ඊට රංගනයෙන් දායක වූහ.

නාට්‍ය කණ්ඩායමේ පුහුණුවීම් කාලය හරිම රසවත් සුන්දර කාලයක්. අපි සමහරදාට වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා මේ නාට්‍යයේ පුහුණුවීම් කළේ. ඒත් කවදාවත් බඩගින්නක්, තිබහක් මහන්සියක් නොදැනුණු තරම්. ඉස්සර රාජකීය කණිෂ්ඨයේ විදුහල්පති එච්.ඩී. සුගතපාල මහත්තයා හෙන්රිගේ හොඳ මිත්‍රයා. එයා අපිට අවසර දුන්නා ඉස්කෝල භූමියේ පුහුණුවීම් කරන්න. ඒ කාලේ මේ නාට්‍ය කණ්ඩායමේ හැමෝම එක්කෝ රජයේ සේවකයෝ. එහෙම නැත්නම් පෞද්ගලික අංශයක රුකියා කරපු අය. ඉතින් අපි හැමදාම පුහුණුවීම් පටන් ගන්නේ හැන්දෑවේ පහට ඉර බැහැගෙන යන වෙලාවේ. කාලය ගෙවිලා යනවා. අපිට දැනෙන්නෙ නෑ. මහ රූ වෙනකම් අපි ඉන්නේ හුණුවටයේ සිහියෙන්. ඒ වේදිකාවෙන් එහා ලෝකයක් තියෙනවා කියලා අපිට මතක් වෙන්නෙම නැතිතරම්. අද වගේ ඒ කාලෙ වාහන නෑ. සමහරදාට අපිට යන්න බස් නෑ. ඉතින් හැතැප්ම ගණන් පයින් යනවා. එහෙම නැත්නම් ඔය රූට බඩු අඳින ලොරිවල නැගලා ගෙවල්වලට ගියපු දවස් අනන්තවත් තිබුණා. ඒත් කවදාවත් අපිට එහෙම වුණා කියලා නාට්‍යවත් හුණුවටයවත් එපා වුණේ නෑ. යටගියාවක මතක සමුද්‍ාය එලෙසින් වර්තමානයේ මතක ද්වාරය අබියසට කැන්දාලූයේ නාට්‍යවේදී නිමල් ජයසිංහය.

ගෘෘෂා, අසඩක්, සයිමන් සෂාවා පොතේගුරා වේදිකාවට පැමිණි විගසින් හුණුවටය හුණුවටයක් වූයේ නැත. එය කවුරුත් කතා කරන හුණුවටයේ කතාව කරන්නට ඔවුහු බොහෝ කැපකිරීම් කළහ. දුෂ්කරතා විඳදරා ගත්හ.
කටු අත්තක වුව මල් පුබුඳුවාලිය හැක. නොතිත් අදිටනත් අත්නොහරින වීර්යයත් ඊට අවැසිය.ගෘෘෂා - අසඩක් පෙරටු පෙරමුණ ඒසා වීර්යවන්තයෝ වූහ. ඒ අතීතය නිමල් ජයසිංහ නාට්‍යවේදියා අද සිහිපත් කරන්නේ බෝතුටිනි.
එදා හුණුවටය සමඟ ගෘෘෂාලා, අසඩක්ලා රට පුරා රවුම් ගැසූහ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වේදිකාවෙන් වේදිකාවට හුණුවටය රැගෙන යද්දී ඔවුන් ගියේ ඊබට් සිල්වාට අයත් බස්රථවලය. ඒ යන ඇතැම් දිනකදී බස් රථය හදිසියේ කුමක් හෝ දෝෂයකින් මහ මඟ නතර වෙයි.
දිනක් නාට්‍ය කණ්ඩායම බදුල්ලට ගොස් එද්දී බස් රථය ගිරිඋල්ලේදී හදිසියේ නතර විය. මඟ දෑල රූස්ස කැලෑවය. මන්දාලෝක තරු මිස සඳවත් නොපෑයූ ඝන අන්ධකාර රාත්‍රියකි ඒ. වනය දෙසින් ඇසුණේ නිමාවක් නැති රෑ රැහැයියන්ගේ අඳෝනාවය. වාහනයක් මේ මඟ එතොත් යතොත් ඒ කලාතුරකිනි. ළඟ පාතක ඇස ගැටෙන මානයේ ගෙයක් දොරක් තිබුණේද නැත. අද මෙන් සුරුවමට ජංගම දුරකථන තිබුණේද නැත.
දැන් මොකද කරන්නේ... පොතේගුරා විමසුවේය.

අසඩක් විනිසුරු තීන්දුවක් දෙන්නට හදිසි නොවූයේය.
යමු කවුුරුහරි දෙන්නෙක් ටෙලිෆෝන් එකක් තියෙන තැනක් හොයාගෙන ඊබට් සිල්වා බස් එකට වෙච්ච ඇබැද්දිය කියලා තව බස් එකක් ගෙන්න ගන්න... ඒ යෝජනාව අවසානයේ ක්‍රියාවට නැංවිණි.
ඒත් ඒ බසය එන්නට පැය ගණනක් ගතවේ.

අඳුර හැඟුම්බරය. රාත්‍රිය සුන්දරය. අඳුර මකන්නට සඳ තරු තබා පහන් කණුවක්වත් නැත. ඔවුහු මහ මඟ පැදුරු එලාගෙන සුවසේ හිඳගත්හ. ගී ගැයූහ. ඊබට් සිල්වාගේ රෝද හතර එනතුරු නිශාව පහන් වූයේ ඒ පැදුරු සාජ්ජයේ සතුට සමඟය.
අම්පාර මඩකලපුව අගුණකොළපැලැස්ස වැනි ප්‍රදේශවල හුණුවටය රඟදක්වන්නට රුගෙන ගියත් ඒ ඇතැම් ස්ථානවල විදුලිය පහසුකම් තිබුණේ නැත. එහෙත් ඔවුහු හැරී නොආවෝය. චිමිනි ලාම්පුවේ ආලෝකයෙන් ඔවුහු එදා හුණුවටය ඒ ඒ වේදිකාවන්හි රඟදැක්වූහ.
යාපනය, මඩකලපුව වැනි ප්‍රදේශවලද හුණුවටයේ කතාව වේදිකාගත කෙරෙණි. යාපනය වීරසිංහම් ශාලාවේදී කළ වේදිකා ගතකිරීම ඒ අතර සුවිශේෂීය. නිමල් ජයසිංහ ඒ මතකය අප හමුවේ මෙලෙසින් සජීවීකරණය කළේය.
ඒ කාලේ යාපනයේ කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට නාට්‍යය වේදිකාගත කළා. මන්නාරමෙත් අපි පෙන්නුවා. එදා ලොකු උළෙලක්. ඉන්දියාවෙනුත් ඒ උළෙලට කට්ටිය ආවා. එළිමහන් රංග පීඨයක තමයි නාට්‍යය උළෙල තිබ්බේ. පන්දාහක් පමණ පිරිසක් ඒ නාට්‍යය බලන්න ආවා. ඉන්දියානු නැටුම්, සංගීතයටත් පසුව හුණුවටයේ නාට්‍යය කණ්ඩායමට ඔවුන් ආරාධනා කළේ පාන්දර දෙකට. වටේම මයික්ෆ්‍රෝන් එල්ලලා තිබුණා. ඒ එකක් ළඟට ගිහින් තමයි අපි එදා දෙබස් කිව්වේ...
මේ වනවිට හුණුවටයේ නාට්‍යය දර්ශන වාර හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් වේදිකා ගතකොට අවසන්ය. වර්තමානයේදී ගෘෘෂාගේ චරිතය රුවනි මනම්පේරි රඟපාන්නීය. අසඩක් ලෙසින් නලින් ප්‍රදීප් උඩුවෙල, පොතේ ගුරු නිමල් ජයසිංහ, ෂවුවාගේ චරිතය චූලා කාරියවසම් රඟපායි. වේදිකා නාට්‍යයේ ආරම්භයේදීත් චූලා කාරියවසම් ආරම්භක සාමාජිකයෙක් ලෙසින්ද සම්බන්ධ වූ අතර අද ද ෂවුවාගේ චරිතයට ඔහු පණදෙයි. මීට අමතරව ලලිත් ජයකාන්ත, චාමික හත්ලහවත්ත, චරිත් සේනානායක වැනි කලාකරුවෝද මෙහිලා රංගනයෙන් සහභාගී වෙති.

“මම මුලින්ම අත්වැල් ගායනයට තමයි හුණුවටයේ කතාවට එකතුවුණේ. නමුත් මේ වසර පනහක් සමඟ අසඩැක්ගේ චරිතය ඇතුළුව මම විවිධ චරිත විස්සක් මේ වෙද්දී මේ වේදිකා නට්‍යයෙදී වරින් වර කරලා තියෙනවා. හෙන්රි අසනීප වුණ කාලයේදී අසඩක්ගේ චරිතය දර්ශන වාර පනහක් පමණ මම කළා.
මෙලෙස වරින්වර විවිධ චරිතවලට නිමල් ජයසිංහයි තම දායකත්වය ලබාදුන්නේය. හෙන්රි ජයසේනගේත්, මානෙල් ජයසේනගේත් එකම පුතු සුධාරක ජයසේනත් කලක් මයිකල් කුමරු ලෙස රඟපෑවේය. හුණුවටයේ කතාවේ ආරම්භක මයිකල් කුමරු නිලන්ත ජයසේන වුවත් නාට්‍යයේ පස්වැනි මයිකල් කුමරු වූයේ සුධාරකයි.

ඒ පස්වැනි මයිකල් කුමරුටත් අපි මතක ආවර්ජනයට ඉඩ සැලසුවෙමු.
“මයිකල් කුමරයා විදිහට රඟපාන්නත් කලින් ඉඳන්ම මම ඔය නාට්‍ය කණ්ඩායමත් එක්ක යන හැම තැනකම ගියා. මම මයිකල් කුමාරයාට රඟපෑවේ මට අවුරැදු පහේදී. හැබැයි අම්මයි තාත්තයි එක්ක නාට්‍ය යන තැන්වල බස්එකේ නැගලා මාත් ගියා. ඒ කාලේ මම අම්මගේම තුරුලේ තමයි හිටියේ. ඒ නිසා නාට්‍යයේ ඒ සුන්දරත්වය මම දැකලා තිබ්බා. මට කලින් මයිකල් කුමාරයාට රඟපාපු අය ඒ චරිතය කරනවාත් ඒ නිසා මා දැකලා තිබ්බා. ඉතින් මාත් හරිම ආසාවෙන් මගේ ඒ වයස හරියනකන් හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මයිකල් කුමාරයාගේ චරිතය මම හරිම ආසාවෙන් කළා. කිසිම දෙබසක් තිබුණේ නෑ. ඉතින් තාත්තා කියලා දීපු විදියට මම කළා.

පුංචි මයිකල් කුමාරයාට තිබුණ ලොකුම සතුට වූයේ ඒ බස් රථයේ යන ගමනයි. පිට පළාත්වල ගිය ගමනේදී පුංචි සුධාරක වීදුරුව අයිනකට වී බස් රථයෙන් වේගයෙන් ඈත්වන සුන්දර වටපිටාවට ඇළුම් කළේය. ඒ විතරක් නොවේ බස් රථයේදී වැඩිහිටියන් ගයනා ගීතයන්ට සුධාරක පුංචි අත්පුඩියකින් තාල තැබුවේය. අම්මාගේ උණුසුමට තුරුල්වී ඇගේ ගීත ඔහු අසාගෙන සිටියේය.
ඈත එක් යුගයක
ලෙයින් නැහැවුණු සමයක
කව්කාශ්කි නගරයක
ශාපලත් නගරයයි නම් වූ
විසුවා යුව රාජයෙක්
ඒ මධුර සංධ්නිය පරපුරෙන් පරපුරට සනහාලු සවන්පත් කොතෙක්දැයි ගණින්නට මම නොවෙහෙසෙමි. පනස් වසරක මතක මංපෙත අහුමුළු නෑර ඇවිදින්නට මට බැරි වග මම විශ්වාස කරමි. මතක සමුදාය එපමණකි. එය මහ කන්දක් වැන්න. පත්පිටුවක් පුරා අතුරන්නට බැරිතරමට ඒ මතක කන්ද විසල්ය.
එදා ගෘෘෂා - අසඩක් අද වේදිකාව හැරගොසිනි. හුණුවටය හැරගොසිනි. ජීවිතයත් හැරගොසිනි. ආවොතින් යා යුතුය. නොගොසින් යළි එන්නට බැරිය. ගෘෘෂා - අසඩක් සිහිපත් වෙද්දී නොරිකෝද මතකය අග්ගිස්සට රිංගයි. එහෙත් හුණුවටය මළවුන් සමඟ නොමළේය. පොතේ ගුරා වියපත් වෙද්දීත්  පුංචි මයිකල් මැදි වියට ළංවෙද්දීත් හුණුවටය තාම තරැණය. ඔව් තාම තරැණය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00