2017 මාර්තු 11 වන සෙනසුරාදා

ලස්සනවෙන්න බෙහෙත් තියෙනවා!

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 875

නීරෝගී සම්පත උතුම්ම ලාභය වන්නාසේම මනා රූප සම්පත්තියක් යනු විශේෂයෙන්ම කාන්තාවන්ට ආභරණයකි. පුරාතනයේ පටන්ම කාන්තා, පිරිමි භේදයකින් තොරව වැඩිමනක් දෙනා තම තමන්ගේ රුව රැකගැනීමට අවධානය යොමුකළ අතර අදද රුපලාවන්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් හිමිව ඇත්තේ පිරිස් රූපලාවන්‍ය කෙරෙහි ඇති වැඩි නැඹුරුව නිසාය.

වර්තමානයේදී රූපය අලංකාර කිරීම සඳහා නොයෙක් කෘත්‍රිම දෑ කෙරේ වැඩිදෙනෙක් යොමුවුවද අතීතයේ රුව රැකගැනීම සඳහා භාවිත කළ උපක්‍රමයන්ද ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමය හරහා තවදුරටත් භාවිතයේ යෙදේ. අපේ වෙදකමෙන් මෙලෙස පිවිසෙන්නේ රැව රුකගැනීම සම්බන්ධයෙන් ආයුර්වේදයෙහි දක්වා ඇති කරුණු ඔබට ඉදිරිපත් කරන්නටය. මේ පිළිබඳව අපව දැනුම්වත් කරන්නේ රාජගිරිය සෙත්මිර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය ගල්කැටියා ජී. ලුෂාන්ති මෙනවියයි.

ඇත්තටම අපි කිහිපදෙනකුගෙන්ම ඇහුවොත් රූපලාවන කියන දේ ගැන ඒ එක එක පුද්ගලයා එක එක විදිහට එය අර්ථකථනය කරන්න පුළුවන්. සමහර කෙනෙක් එයා දකින විදිහට රූපලාවන අර්ථකථනය කරනවා. ඔහු දකින ආකාරයට ලස්සන සමක් තියෙන එක, ලස්සන මුහුණක් තියෙන එක, ලස්සන කොණ්ඩයක් තියෙන එක, එහෙම නැත්නම් උසට ගැළපෙන මහත, මේ ආදී වශයෙන් විවිධ අර්ථකථන ලබාදීමේ හැකියාව තියෙනවා. සාමානයෙන් ආයුර්වේදයට අනුව ගන්නා විට රූපලාවන කියන එක ගැන ඊට වඩා ගැඹුරින් අපට සාකච්ඡා කරන්නට සිදුවෙනවා.

සරලව ආයුර්වේද පැත්ත ගත්තත් අපි ආසියාතික රටක් විදිහට ඉන්දියාව වගේ රටවල්වල වැඩිපුරම රූපලාවන්‍ය ගැන කතා කරද්දි අවධානය යොමුවෙන්නේ පංච කල්‍යාණයට. විශේෂයෙන්ම රූපලාවන්‍ය කියන එක කාන්තාවන්ට පමණක් සීමා කරන්නට උත්සාහ කළාට ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශ්වයටම එය ගැළපෙන්න ඕනෙ.

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයිති පංච කල්‍යාණය

පංච කල්‍යාණය කියූ පමණින්ම අපට කාන්තාවන්ම පමණක් සිහියට ආවත් රූපලාවන්‍ය කියන කාරණයේදී එය දෙපක්ෂයටම පොදුයි. දන්ත කල්‍යාණි, ඡවි කල්‍යාණි, වයස් කල්‍යාණි, කේෂ කල්‍යාණි, මාංශ කල්‍යාණි කියන මේ ඕනෑම කල්‍යාණයක් ගත්තාම අපි කාන්තාවන් වගේම පිරිමින්ගෙනුත් මෙම හැම කල්‍යාණයක්ම අපේක්ෂා කරනවා. උදාහරණයක් විදිහට පිරිමියකුගේ තට්ටය පෑදීමද එක්තරා ආකාරයට මෙම කල්‍යාණයන්ගෙන් එකක් ඔහුට අහිමිවීමක්.

රූපලාවන්‍යයේදී වඩා වැදගත් නීරෝගී බවයි

බුද්ධ දේශනාවට අනුව ආරෝග්‍යා පරමා ලාභා වන ආකාරයෙන්ම ආයුර්වේදයේදීත් වැදගත්ම කාරණය වෙන්නේ මිනිසුන්ගේ නිරෝගී බවයි. ඒ කියන්නේ පුද්ගලයෙක් ගත්තම ඔහු ශාරීරික, මානසික යන දෙයාකාරයෙන්ම නිරෝගී වෙන්නට ඕනෙ. කොයිතරම් ලස්සන කෙනෙක් වුණත් යම් රෝගයකින් පෙළෙනවානම් ඔහුට හෝ ඇයට තමන්ගේ ලස්සන ගැන හිතන්නවත් වෙලාවක් නෑ. ඒ නිසා මේ රූපලාවන්‍යයේ පළවැනි කාරණාව ආයුර්වේදයේ විදිහට තමන්ගේ ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමින්, ඒ වගේම දීර්ඝායුෂ ලබාගනිමින් අනෙකුත් පංච කල්‍යාණි කියන මේ කාරණා ආරක්ෂා කරගෙන ජීවත්වීමයි.

කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට කැතයි

අපි කෙනකුගේ බාහිර රූපය දිහා බැලුවාම අපිට ලස්සන කෙනා තවත් කෙනකුට ලස්සන නොවෙන්න පුළුවන්. ඒකනේ විවිධ පුද්ගලයන් විවිධ ආකාරයේ කාන්තාවන් විවාහ කරගන්නේ. ඒ කියන්නේ පෞද්ගලිකව බැලුවොත් කෙනකුගේ ඇසට දකින දේ අනුවයි රූපය තීරණය වෙන්නේ. තමන් ප්‍රිය කරන, තමන් අගය කරන කාරණාවන් අනුවයි ඒ ඒ පුද්ගලයා දකින ලස්සනත් තීරණය වෙන්නේ. නමුත් ඊට එහා ගිය බැරෑරුම් කාරණාවක් මෙතන තියෙනවා.

ආයුර්වේද රූපලාවන්‍ය

ආයුර්වේද රූපලාවන්‍ය කියන කාරණාවේදී පුද්ගලයෙක් ලස්සන වෙන්න බලපාන  කාරණා ගොඩක් තියෙනවා. කෙනකු ලස්සන වීමේ කාරණා තුනක් පිළිබඳව ආයුර්වේදයේ අවධානය යොමුවෙනවා. ඉන් එකක් තමයි බාහිර රෑපය. දෙවැනි කාරණාව අභ්‍යන්තර රූපයයි. ඊටපසුව තවත් කාරණාවක් තියෙනවා, රහස්‍ය රූපය කියලා. බාහිර රූපය හා අභ්‍යන්තර රූපය සමබර කරන්නේ රහස්‍ය රූපයෙන්. යම් කෙනකුට මෙම කාරණා තුනම සංතෘප්ත කරගැනීමේ හැකියාව තියෙනවානම් අන්න එතනදී තමයි ඒ පුද්ගලයා ලස්සන කෙනෙක් වෙන්නේ.

Make - Up ස්වාභාවික නෑ

බාහිර රූපය කියන්නේ යම් පුද්ගලයකු දකින ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂ එනම්, ඇසට, කනට, නාසයට, දිවට ඒ කියන්නා වූ දේවලින් ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන දේයි. උදාහරණයක් විදිහට කාන්තාවකගේ පංච කල්‍යාණය ගත්තොත් ලස්සන කෙස්, පැහැපත් සම, මුතුවන් දත් දෙපළක්, හොඳ මාංශ පිහිටීමක්, වයසට ගියත් වයස නෑ වගේ පේන එක මේවා තමයි බාහිර රූපය. බාහිර රූපයෙන් කෙනකුට ලස්සන වෙන්න පුළුන්කම තියෙනවා. ඒ වගේම කෙනකුට බාහිර රූපය වඩවා ගන්න කරන්න පුළුවන් දේවලුත් තියෙනවා.
වර්තමානයේදී කේෂාලංකරණය ගත්තත් ස්ට්‍රේට් කිරීම, ෆර්ම් කිරීම, රීබොන්ඩින්, රිලැක්සින්, ඩයි කිරීම, වර්ණ ගැන්වීම ආදී නොයෙකුත් ක්‍රම තියෙනවා. ඊට අමතරව සම ලස්සන කරගන්නත් අද වෙද්දී විවිධ රූපලාවන්‍ය ක්‍රම, ක්‍රීම් වර්ග ආදී මේ හැමදෙයක්ම තියෙනවා. ඊට අමතරව දත් ලස්සන කර ගැනීමටත්, නියපොතු ලස්සන කරගැනීමටත්, විවිධ පැහැයන්ගෙන් යුත් කාච භාවිත කරමින් ඇස්වල පැහැය පවා වෙනස් කරගැනීමටත් අවශ්‍ය පහසුකම් රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ තියෙනවා. ව්‍යායාම හෝ ස්වාභාවික නොවන ක්‍රමවේදයන්ට අනුව යමින් හෝ කෙට්ටු හෝ මහත් වීමටත් ක්‍රම තියෙනවා. කාන්තාවන් මේකප්වලින් තමයි ගොඩක් ලස්සන වෙන්න උත්සාහ කරන්නේ. නමුත් මේ දේවල් ස්වභාවික නෑ. ස්වභාවික ක්‍රමවේදයන්ට අනුගත වෙමින් රුව වඩාගැනීමේ හැකියාව තියෙනවානම් එකේ විශාල වටිනාකමක් තියෙනවා. ආයුර්වේදයේදී මේ ස්වභාවික ක්‍රමවේදයන්ට අනුව යමින් අපගේ රූපය ලස්සන කරගන්න පුළුවන්.

හොඳ ගතිගුණත් නියම බෙහෙතක්

අභ්‍යන්තර රූපය කෙනෙකුට ලොකුවට පෙනෙන්නේ නෑ. නමුත් ඒක මිනිස්සු ලස්සන වෙන ක්‍රමයක්. මෙහිදී අප සැලකිල්ලට ගන්නේ එම පුද්ගලයාගේ මානසික ස්වාභාවය පිළිබඳවයි. ඒ කියන්නේ අභ්‍යන්තර වශයෙන් මෙයා මොනවගේ තත්ත්වයක ඉන්නවාද ආයුර්වේදයේ විදිහට ගත්තොත් සත්ත්ව, රජස්, තමස් කියලා ගුණ තුනක් තියෙනවා. මේවා මනසේ ගුණ. සත්ත්ව ගුණය කියලා කියන්නේ හොඳ ගුණයක්. මිනිසුන් තුළ තියෙන දයාව, කරුණා ගුණය සත්ත්ව ගුණයට අයත් වෙනවා. ඉතා ඉක්මණින් කිපෙන සුළු පුද්ගලයින් ළඟ තියෙන්නේ රජස් ගුණයයි. රජස් ගුණය පුද්ගලයින්ගේ රූප ස්වභාවයයි සත්ත්ව ගුණය තිබෙන අයගේ රූප ස්වභාවයයි අතර ලොකු වෙනසක් තියෙනවා. තමස් ගුණය කියන්නේ නිතරම නිද්‍රාසීලී භාවයෙන් යුතු පුද්ගලයින් සතු ගුණයයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී එලොවටවත් නැති මෙලොවටත් නැති පුද්ගලයින් ලෙස හඳුන්වන්නේ මේ ආකාරයේ ගුණ ඇති පුද්ගලයන්. ඉතින් මේ ගුණයන්ගේ වැදගත්ම ගුණය ලෙසට අපි හඳුනාගන්නේ සත්ත්ව ගුණයයි. සත්ත්ව ගුණය වැඩියෙන්ම තිබුණ ලොව පහළ වූ ශාස්තෘවරයා තමයි බුදුරජාණන්වහන්සේ. බුදුරජාණන්වහන්සේගේ දයාව, කරුණා ආදී සියලු සත්ත්ව ගුණ ආවට පස්සේ කොයිතරම් ලස්සන රූප සම්පත්තියක් තිබුණාද? උන්වහන්සේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත වුණා. මානසික පැත්ත ගත්තම ඉහළටම ගියා. අවසාන වශයෙන් බුදුරුස් විහිදෙන්නට ගත්තා. නිරෝගීකම හා මානසික තත්ත්වයක් තිබෙන වෙනස්කම මත උන්වහන්සේට ඉතාම ලස්සන රූපයකට හිමිකම් කියන්නට හැකියාව ලැබුණා.

රුව වැඩෙන්න පින් කරන්න

අභ්‍යන්තර රූපය අපේ ආත්මයෙන් ආත්මයට බැඳෙනවා. ඇත්තටම මානසික පැත්තට තියෙන්නේ ආත්මීය සම්බන්ධයක්. කළ හෝ කරන පින්කම් අනුව යම් පුද්ගලයෙකුට විපාක ලැබෙනවා. බණ භාවනා, යෝග ව්‍යායාම, වුවමනාවෙන්ම හිංසනයෙන් වැළකීම ආදී යහපත් ක්‍රියා මගින් විපාක යම්තාක් දුරකට පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. කෙනෙකුට බුදුදහමේ සඳහන් පස්පව්වලින් වැළකී සිටින්නට හැකිනම් එය ඔහුගේ ජීවිතයට ගොඩාක් වටිනවා.
ආයුර්වේදයේදී අපි මෙයට කියන්නේ සද්වෘත කියලා. ඒ කියන්නේ යහපත් පැවැත්ම. පුද්ගලයකු යහපත් පැවැත්මකින් යුතුනම් එම පුද්ගලයාගේ රූප සම්පත්තිය අනාවාර්යයෙන්ම වැඩිකර ගැනීමේ හැකියාව තියෙනවා. එයට හේතුව තමයි දයාව, කරුණාව, මෛත්‍රිය ආදිය ඒ පුද්ගලයාගේ හදවත තුළ වැඩීම.

ආශිර්වාදයත් ලස්සනට බෙහෙතක්

ආචාර රසායනය යනුවෙන් අදහස් කරන්නේ වැඩිහිටියන්ට ගරුකිරීම, වැඩිහිටියන්ට සැලකීම ආදියයි. අපි මවුපියන්ට ගරු කරනවානම්, හොඳට සලකනවානම් ඒ සඳහා මවුපියන්ගෙන් අපිට ආශිර්වාද ලැබෙනවා. ආශිර්වාදය සමඟ ලැබෙන මානසික තෘප්තිය හරහාත් නිරෝගී බව ලැබෙනවා.

ෆෙෂල් තාවකාලිකයි

බාහිර රූපය හා අභ්‍යන්තර රූපය තරාදියක දෙපැත්තට දැම්මොත් ඒ දෙක සමතුලිත වන ස්ථාන රහස්‍ය රූපය කියලා හඳුන්වන්න පුළුවන්. ඇත්තටම අභ්‍යන්තර රූපයත් බාහිර රූපයත් සැබෑලෙස පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවානම් අපේ රූපය අලංකාර ස්වභාවයකට පත්කරගන්න පුළුවන්. නමුත් අද අපි මේ දේවල් කිව්වට අපේ රටේ කාන්තාවන්ට ලස්සන වෙන්න බෑ. එහෙම ලස්සන වෙන්නනම් එයාට සැබෑ ලෙසට ලස්සන වෙන්න ඕනෙ කියන හැඟීම තියෙන්න ඕනෙ. හැඟීම විතරක් තිබුණාට මදි. ඒ වෙනුවෙන් කැපවෙන්නත් ඕනෙ. එක දවසක් පේෂල් කළාම දවස් දෙක තුනක් පැහැපත්ව ඉඳියි. ඊට පස්සේ තිබුණටත් වඩා කළුවෙයි. දිගුකාලීන උනන්දුව අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.

ඇත්තටම දවසෙන් දෙකෙන් මේ දේවල්වල ප්‍රතිඵල ලබාගන්න බෑ. ඒ සඳහා යම් කාලයක් ගතවෙනවා. අපි මෙතනදී විශේෂයෙන්ම කාන්තාවන් ගැන කතාකරන නිසා කාන්තාවන් විදිහට අපි දැනගන්න ඕනෙ බාහිර රූපය හා අභ්‍යන්තර රූපය සමතුලිත කරගන්න නම් බාහිර රූපයට සැලකිලි දක්වනවා සේම මානසික පැත්තන් දියුණු කරගන්න කරගන්න ඕනෙ කියලා. ඒ කියන්නේ සත්ත්ව ගුණය වර්ධනය කරගන්න ඕනෙ. ඒ සඳහා විශාල කැපවීමකුත් උනන්දුවකුත් අවශ්‍යයි.

 හේමමාලා කුමාරි රාජකරුණා