ඊ.එම්.ඩී. සෙනරත්ගේ අභ්‍යාස සමය වසර විස්සකටත් වඩා දිගුවිය යුතුය. පුවත්පත් සහ සඟරාවලට සිය කාව්‍ය නිර්මාණ සපයමින් ස්වකීය සතතාභ්‍යාසය ගෙන ගිය හෙතෙම ඒවා සංග්‍රහ කොට එළිදැක්වීම හිතාමතාම ප්‍රමාද කළ බව පෙනේ. එකී ඉවසිල්ල සෙනරත්ගේ පරිණතියට හේතුවුවද, අද දවසේ කඩිනම් වැඩ කරන පරපුරට ඔහු ආගන්තුක වීමටද මේ පමාව හේතුවන්නට ඇත. ස්වයං දණ්ඩන නමින් මෙසේ සංග්‍රහ කරන්නේ සෙනරත්ගේ ප්‍රථම තනි අස්වනු සම්පතය. එහෙයින් එය තරමක් විශාල වීමද, විවිධ හා විචිත්‍ර වීමද සිදුවිය හැකිය.
සෙනරත්ගේ කවියෙහි මුඛ්‍ය ලක්ෂණය සේ පෙනෙන්නේ උත්ප්‍රාසය හා උපහාසයයි. එහෙයින්ම එහි යම් පමණක නාටකීය ස්වරූපයක්ද ඇත. හෙතෙම බොහෝ දුරට සම්ප්‍රදායික කවියේ ඡන්දස් හා වෘත්ත විසින් සම්පාදනය කරන ශබ්දාලංකාරවල සේවයද කවියට ලබාගන්නෙකි. සාම්ප්‍රදායික වෘත්ත හා බැඳුණු එළිවැට හා අනුප්‍රාසාදී අනුෂංගික අලංකාරද ඔහුට අභිමත වන්නේය.
"ලොකුම ලොකු අක්කා ඇයය" යනුවෙන් සෙනරත් නම් කොට ඇති කවිය, ආකෘතික විවිධ විචිත්‍ර ස්වභාවයත්, ඔහුට ආවේණික හෘදයාංගම ගුණැති මුදුවදන් නිරූපණය කැටි කරගත් රචනයකි.
තාත්තගෙ පැත්තකය
ඇත්තෙ පණ
අම්මාත්
ඔත්පලව එකම තැන
කාත් කවුරුවත් නැති උනගෙ
දුක් යාය
දැක්ක
අක්කාය ඇය!
"ක" අනුප්‍රාසය විසින්, අක්කා නම් "ක" අකුරු වැඩි චරිතයේ ගුණාංග නාභිගත කෙරෙන අයුරු කදිමය.
සෙනරත් සම්ප්‍රදාය කෙරෙහි කෙතරම් අනම්‍යව බැඳී ඇත්තේද යත්, මෙහි දෙවන පදයේ සක්ක පද ඇසුරුම නිසා, හෘදයාංගම භාවික ගුණ තම කවියට අහිමිකර ගන්නේය. එහෙයින් ආරම්භක සාධනීය ගුණ අපතේ යයි.
මුලදී තමාට මැනවින් අවනත කරගන්නා ඡන්දස, කවියාගේ නිගමන සම්පාදනය නිසා ඵල හීනවනු පෙනේ. වලතු රාගය කවියා නොව පාඨකයා නිර්ණය කළ යුත්තකි. එමෙන්ම මේ ආරම්භය ඉක්බිතිව, හුදු ප්‍රකාශන කතා දක්වා ලඝු කිරීමද කවිය වින්දනයෙන් තොර කරයි.
එහෙත්, සම්ප්‍රදායික ආප්ත පද උඩු යටිකුරු කරමින්, නූතනත්වය සමඟ ප්‍රතිමුඛ කරන විට, සෙනරත් අපූරැ උත්ප්‍රාසවත් ගුණ උපදවා ගන්නට සමත් වෙයි.
ගුණමකු මිතුරු දහසක් ලදුවත් නිසරු
නැණ ගුණ සපිරි මිතුරාමය ඉතා ගරු
පැහැයයි අඳුර ඉටි පහනේ බෙලෙන් සරු
කණමැදිරියන් කැල දුරලති දෝ අඳුරු
පැරඩි (Parady) නම් ඉංග්‍රීසි රචනා ක්‍රමයේදී මේ සෝපහාසය ප්‍රකට වන නමුත් සිංහලයේ එය දක්නට හැක්කේ ව්‍යක්ත නොවූ හාස්‍ය කවි ඇසුරේය. ජනපද කල්‍යාණිලාගේ චෝදනාව* නමින් සෙනරත් ලියා ඇති කවි පෙළද ගොඩනැගෙන්නේ පුරාණෝක්තිගත අරුතක් වර්තමානයට කැඳවමිනි. එහිදී එදා සහ අද ප්‍රතිමුඛ කිරීම් මැනවින් සිදුකරන්නට ඔහුට හැකිවේ. මෙය කල්‍යාණිගේ නොව කල්‍යාණිලාගේ චෝදනාවක් වීමද වැදගත්ය.
වන්දනාවෙ දෙව් ලෝකෙට ගිය නන්ද
අන්ද මන්ද වී රූපෙට මන නන්ද
වින්ද පෙමට දුක් දුන්නේ සිහියෙන්ද
දැන්ද වැඳිරි මෙච්චර කල් පෙම් බැන්ද
කවර සංකල්පයක් කවිගත කරද්දී වුව සෙනරත් තමාට හුරැ පුරැදු ශබ්දාලංකාර මූලික කවි මඟ අතවැසි කරගන්නේය.
ජීවත්ව සිටියදී කිසිදා නොලද යස ඉසුරක් විඳින උඩුකුරැව සයනය කරන මිනිසාගේ කියමන්ද උත්ප්‍රාසවත් ගුණ නොඅඩු රචනයකි. එය නිමවන්නේ අපූරු කවියකිනි.
දෙන දෙයක් නොදී එදවසේ සැඟවුන
දෙනයන කඳුළු නොමසුරුව මෙදා වගුරන
දෙන දෙයක් ගත හැකිද මළවුන්ට කිසිදින
දෙන වසන් හිනැහෙන්න මට තනියෙන
සෙනරත් සම්ප්‍රදායෙන් බොහෝ ප්‍රයෝජන ලබන බව ඇත්තය. එහෙත් ඒ සම්ප්‍රදායම ඔහු සරසක් කරගත යුතු නැත. එළිවැට කවියට එළියක් මිස වැටක් කරගත යුතු නැත. ඔහුට අනන්‍ය කවි මඟ එසේ තිබියදීම වඩාත් නව්‍ය හෘදයග්‍රාහී ගුණැති කවියක් පිළිබඳව ඔහු කල්පනා කළ යුතුව තිබේ.
රත්න ශ්‍රී විජේසිංහ