දෙදහස් දහනමයේ අගෝස්තු 17 වෙනිදා රවි ග්‍රහයා තමාගේ සිංහ රාශියට සම්ප්‍රාප්තවී බලවත් වන්නේය. එවිට එහි කුජ ග්‍රහයා ද ගමන් කරමින් සිටී. ඒ නැප්චූන්ගේ ද සප්තම දෘෂ්ටිය ලබමිනි.
ආණ්ඩුවේ පවතින කිසියම් දුර්වලකමක් අඩුපාඩුවක් ඉස්මතු වී සිදුකර පවතින ඕනෑම යහපත් ක්‍රියාවක් යටපත් වී ආණ්ඩුවේ වංචලත්වයක් සිදුවීමේ අවදානමක් ඉස්මතු වෙයි.
රවි රාශි මාරුවේ දහවැන්නේ රවි - කුජ - ශුක්‍ර සිටියදී නැප්චූන්ගේ පීඩාවට ලක්වීම නිසා ශ්‍රී ලාංකාවේ දේශපාලන ඉතිහාසයේදී වරින් වර සිදුවූවාක් සේ මෙවර සිංහ රවියේදී එනම් 2018-08-17 වෙනිදා සිට ඉදිරියට විවිධ දේශපාලන පක්ෂ කැඩී බිඳීයාම් වාර්තා වීමේ අවදානමක් පවතී.
මේ හා සමඟම ජනතාව ද කුපිත වෙනවා ඇත. සාමය කඩාකප්පල් වීමේ අවදානමක් ද පැනනගී. ගහමරා ගැනීම් විනාශ වීම් ආදියට පසුබිම් නිර්මාණය වනු ඇත.
නමුත් සේනාධිනායක කුජ ග්‍රහයා ස්වක්ෂේත්ර බල රවි සමඟ දහවැන්නේ දිශ් බලයෙන් සිටීම නිසා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නව ජවයක් උත්පාදනය වන බැවින් ප්රකෝපකාරීන් මර්දනය කිරීමටත් සාමය ස්ථාපිත කිරීමටත් හැකියාව ලැබෙනවා ඇත.
කෙසේ වෙතත් ප්‍රෝඩාකාරී කුමන්ත්‍රණ මූල්‍ය වංචා, මහා පරිමාණයේ සිදුවී ජාතික ආදායම පහළ යාමේ අවදානමක් මතුවෙනවා ඇත. මේ නිසා රටේ දියුණුවට සිදුකළ යුතු වැඩකටයුතු ද අඩපණ වීමේ තත්ත්වයක් මතුවෙනවා ඇත.
රවි මාරැ තත්කාල ලග්න කුණ්ඩලියේ රෝග සහ සතුරු ස්ථානවල වක්‍ර ගමනක යෙදෙන යුරේනස් ග්‍රහයා ගෝචරය වන්නේය. ලග්න ගත ගුරු ග්‍රහයා සමඟ මෙකී යුරේනස් ග්‍රහයා ෂෂ්ඨාශ්ඨම වෙද්දී කුජගේ දෘෂ්ටියෙන් එකී තත්කාල ලග්නයත් ගුරැ ග්‍රහයාත් පීඩාවට පත්වන්නේය.
මේ නිසා ලොමුදැහැ ගැන්වෙන පිපිරීමක් හදිසි අනතුරක් වාර්තා වෙනවා ඇත. විවිධ ජීවීන්ගේ එනම් මනුෂ්‍ය තිරිසන් ආදී දෙකොටසගේම ශාරීරික රැධිරය හෙල්ලුම් කෑම් අත්පා කැඩුම් බිඳුම් වාර්තා වනු ඇත.
යුරේනස් ග්‍රහයාගේ මෙකී රවි මාරු තත්කාල මොහොතේ සිදුවන විනාශකාරි තත්ත්වය නිසා මහාමුහුදුදට අයහපත් තත්ත්වයක් උද්ගත වනු ඇත. ලෝකයේ ප්‍රබල යුද නෞකා පිපිරීමක් විනාශයක් වාර්තා වනු ඇත. ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ද මෙම අවදානම මතුවෙයි. මේ නිසා ඒවායේ කටයුතු කරනු ලබන සමස්ත කාර්ය මණ්ඩලයන්ම සීරුවෙන් සහ අවදියෙන් සිට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට වගබලා ගතයුතුය.
නැප්චූන් සමඟ සිටින චන්ද්‍රයාට රවි - කුජ - ශනි - රාහු දෘෂ්ටි එල්ල කරයි. ඍතු විපර්යාසයක් මවනවා ඇත. පතලක හෝ ආකරයක විනාශයක් පෙන්නුම් කෙරේ. ඉඩකඩම් බදු ප්‍රශ්නයක් මතුවෙයි. උසස් කුල කාන්තාවකට ඇතිවන අපලකාරී තත්ත්වයක් ද පෙන්නුම් කරනු ලබයි.
ජ්‍යොතිෂ විද්‍යාර්ථී -
ලංකා පුත්‍ර -
සුරා ශ්‍රී ගුණවර්ධන