2017 මාර්තු 11 වන සෙනසුරාදා

සාහිත්‍යය හෙළුවැල්ලෙන්! ( ප්‍රවීණ පරිවර්තක දිලීප ජයකොඩි)

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

දිලීප ජයකොඩි පාඨකයන් අතර ජනප්‍රිය වූයේ පාඨක හදවතට ළංවූ පරිවර්තකයෙක් වශයෙනි. ඔහුගේ චේතන් භගත්ගේ පරිවර්තන පෙළ අතිශය ජනප්‍රිය විය. සීඝ්‍රයෙන් පොත් පරිවර්තනය කරන දිලීප ප්‍රකට ප්‍රචාරණ ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරයි. ඔහුගේ අලුත්ම පොත් වන්නේ පසුගියදා සුරස ප්‍රකාශන ලෙස නිකුත්වුණු බ්ලෙයාර්විච් හා මේක අපේ ජාලෙ කඩේය.

ඔබේ අලුත්ම පොත ‍හොල්මන් කතා පැත්තට ගමන් කරනවා වගේ?
ඔව්. මේක බටහිර ජනප්‍රිය හොල්මන් කතාවක් වූ බ්ලෙයාර් ප්‍රදේශයේ විසූ මායාකාරියක් ගැන ලියැවුණක්. (බ්ලෙයාර්විච්) බටහිර හොල්මන් කතා ශෛලිය අනුගමනය කරමින් එම කතාව පිළිබඳ විස්තර අන්තර්ජාලයෙන් හා පොත්වලින් සොයාගෙන ලියූ ස්වතන්ත්‍ර කෘතියක්.

මිනිසුන්ගේ මානුෂීය අරගල තේමා කරගත් පොත් පරිවර්තනය කළ ඔබ හොල්මන් කතා පැත්තට නැඹුරැ වුණේ ඇයි?
මම කැමතියි විවිධ ඉසව් සොයායන්න. මම පොතක් පරිවර්තනය කරන විට මුලින්ම එහි රසය බලන්නේ මමමයි. ඉතින් මා මුලින්ම අරාබියේ කාන්තාවන්ට වූ අසාධාරණය ගැන පරිවර්තන කිහිපයක් පළ කළා. පසුව මටම තේරුණා ඒවායින් මා විඳින රසය අඩුවුණු බව. එක තැනකට කොටු  වූ විට සාහිත්‍ය වුණත් ඒකාකාරී වෙනවා. නිදැල්ලේ සැරිසරමින් විවිධ ශානරයන් කරා යාමට තමයි, මම කැමති.

මෑතකදී පිටවුණු ඔබේ %මේක අපේ ජාලෙ කඩේ^ පොත තරුණ පෙළ අතර ජනප්‍රිය වෙලා?
ඒක වරුන් අග්‍රවාල් කියන ඉන්දීය ලේඛකයාගේ ජීවිත කතාව. ඒකට ගොඩක් ප්‍රතිචාර එනවා. ඔහු රැකියාවක් නැතිව ඉබාගතේ යමින් සිටි තරැණයෙක්. පසුව ඉන්ටර්නෙට් හරහා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක අතිශය සාර්ථක වී අද වනවිට කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙලා. පොත කියවපු හුඟදෙනෙක් මගෙන් එවැනි ව්‍යාපාර අරඹන ආකාරය ගැනත් විස්තර අහනවා.

ඔබ පසුගිය කාලයේ චේතන් භගත් නම් ඉන්දීය ලේඛකයාගේ නවකතා අපේ පාඨකයන්ට හඳුන්වා දුන්නා. දැන් චේතන් අත්හැරලාද?

නැහැ. පසුගිය ඔක්තෝබරයේ චේතන්ගේ අලුත්ම පොත One Indian Girl නිකුත් වුණා. දැන් මම එය පරිවර්තනය කරලා ඉවරයි. තව මාස දෙක තුනකින් පාඨකයන්ට ඒක කියවීමට ලැබේවි.

මේ දිනවල කරගෙන යන වෙනත් පරිවර්තන මොනවද?
ලෝක ප්‍රකට රහස් පරීක්ෂක කතාකරුවකු වන ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගේ ද ෂෙපර්ඩ් නම් කෘතිය පරිවර්තනය කළා. ඒක අමුතුම රසවත් කතාවක්. ඒ වගේම මගේම නවකතා දෙකක් ලිවීමටත් අදහසක් තිබෙනවා.

ඔබේ පොත්වල භාෂාව සරලයි. සජීවියි?
මම ඒ ඒ පොත්වලට මුල් කෘතියේ ලේඛකයාගේ භාෂා රටාව අනුගමනය කරනවා. චේතන්ගේ පොත් පරිවර්තනය කරද්දී ඔහුගේ සරල කෙටි යෙදුම් තිබෙන භාෂාව යොදාගත්තා. මම කරන්නේ වාක්‍යයෙන් වාක්‍යයට කරන පදානුගත පරිවර්තනයක් නොවෙයි. අදාළ ඡේදය කියවලා එය අපේ භාෂාවට හරවනවා.

නමුත් අපේ සමහර ප්‍රවීණ පරිවර්තකයන් පවසන්නේ පදානුගත පරිවර්තනයක් නොවීම මුල් කෘතියට කරන හානියක් කියායි?
ඒක ගැන විවාදයක් තිබෙනවා. නමුත් මම නම් හිතන්නේ මුල් කෘතියට හානියක් නොකර අදහස අරගෙන අවස්ථාව ගොඩනැගීම සාර්ථක බවයි. ඒකට අපේ භාෂාව පොහොසත්. මම නම් ඒකෙ වැරැද්දක් දකින්නේ නැහැ.

ඔබ ප්‍රචාරණ ක්ෂේත්‍රය වගේ මනසට අවිවේකී රැකියාවක නිරතවන අතර, ලේඛනයට අවශ්‍ය කාලය සොයාගන්නේ කෙසේද?
රූ 8.00 පමණ සිට රාත්‍රී 11.00 පමණ වනතෙක් ලේඛනයට යොදාගන්නවා. ඒ වගේම සති අන්තෙ දවස්වලත් ඒකට වැය කරනවා. අවශ්‍යතාව තිබෙනවා නම් කාලය ප්‍රශ්නයක් නොවේ.

අද පරිවර්තකයෝ වැහි වැහැලා. ඒ අතරින් බොහෝ පොත් අසාර්ථක පරිවර්තන බව පේනවා?
මම නම් හිතන්නේ පරිවර්තනය හෝ රැකියාව හෝ ඕනෑම දෙයකදී මුලින්ම වැඩේට සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි. පරිවර්තනය කළ යුත්තේ සල්ලි හම්බ කරන්න හෝ ඉන් ජනප්‍රිය වීමට නොවේ, තමන් රස විඳි පොතක රසය තවත් පාඨක පිරිසකටද ලබාදීමේ අරමුණ ඇතිවයි. සල්ලි බලාගෙන ලියන්න බැරි අයත් පරිවර්තනය කිරීමට යාමෙන් තමයි ගැටලු පැන නගින්නේ.

සමහරු ඉංග්‍රීසි භාෂාව නොදැන පරිවර්තනය කරන බවත් පේනවා නේද?
ඔව්. ඒ වගේ පොතුත් ඇත්තටම තිබෙනවා.

අද පරිවර්තනවලට ඉල්ලුමක් ඇති නිසා ඒක ජාවාරමක් කරගෙනද?
ඕක සාහිත්‍යයේ විතරක් නෙවෙයි. සෑම කලා ක්ෂේත්‍රයකම දක්නට ලැබෙනවා. සින්දු කියන්න බැරි අය සින්දු කියනවා. හැමදේම කුරැරුවල්වෙමින් යන සමාජයක පිරිසක් බැරිකම තියෙද්දි පොත් ලියන්නත් යනවා.

ඒ වගේම සමහර පොත් කියවන්නත් අමාරුයි නේද?
ඒක ඇත්ත. කෑමක් හදන විට මුලින්ම ඒකෙ රසය කුමක් වුවත් කන්න පුළුවන් වෙන්න එපායැ. ඒ වගේම පොතක් වුණාම කියවන්න පුළුවන් විය යුතුයි. අද සමහර පොත් කියවන්න බැහැ. රු. 350ක් 450 ක් දීලා පාඨකයෙක් පොතක් ගන්නෙ කියවන්නනේ. නමුත් සමහර පොත් ආයාසයෙන් කියවීමට වෙලා. පොත් එහෙම විය යුතු නැහැ. ගොඩක් පොත්වල කතා රසය හිඳිලා.

සමහර පොත් සම්භාව්‍ය නිසා සාමාන්‍ය පාඨකයන්ට කියවන්න අපහසු බව විචාරකයන් කියනවා?
ඒක හරියට සීතාම්බරපට කතාව වගේ. සමහරුන්ට පොත තේරුණා හෝ නොතේරුණා එය සම්භාව්‍ය කෘතියක් කියලා වර්ග කරනවා. ඔවුන් ඒ වර්ගීකරණයට වැටෙන්න කැමතියි. කවුරුවත් ඒ ගැන ලොකුවට කතා කරන්න කැමැති නෑ. නමුත් ඔවුන්ටත් ඒ පොත තේරිලා නෑ. මේක හරියට සාහිත්‍ය හෙළුවෙන් වගේ කියලා කියන්න පුළුවන්.

ඔබටත් කියවන්න අපහසු පොත් හමුවී තිබෙනවද?
ඔව්. පොත් රාශියක් තිබෙනවා. පිටු 10ක් කියවාගත්තෙත් හරිම අමාරුවෙන්.

අපේ සාහිත්‍යයේ දියුණුවක් ඔබ දකිනවද?
මම නම් දියුණුවක් දකින්නෙ නැහැ. තවමත් අපේ නූතන පරපුරට සයිමන් නවගත්තේගම, කේ. ජයතිලක වගේ ලේඛකයන් අභිබවා යාමට හැකිවෙලා නැහැ.

♦ කුසුම්සිරි 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00