2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

කෝප් කමිටුවටත් පොලු තබන රාජ්‍ය නිලධාරියෝ

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:31 264

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝග ලබන ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම කමිටුව ඉදිරියට නොපැමිණෙන අතර ඇතැමුන් විවිධ හේතු ඉදිරිපත් කරමින් පැමිණීම ප්‍රමාද කරන බව වාර්තා වී තිබේ. එසේම ඇතැම් දේශපාලනඥයන්ද කැබිනට් රැස්වීම්, උත්සව ආදී හේතු පවසා කෝප් කමිටුවට නොපැමිණීමේ ප්‍රවණතාවක් උද්ගතව ඇත. එසේ වුවද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පිහිටුවන මෙවැනි කාරක සභාවලට පාර්ලිමේන්තුව සතු බලතලම තිබෙන අතර කැඳවීම් ලද විගස එහි පෙනී සිටීමට සෑම රාජ්‍ය නිලධාරියකුම නීතියෙන් බැඳී සිටී. එම තත්ත්වය දැනගෙනම හෝ නොදැන ඇතැම් නිලධාරීන් සහ දේශපාලනඥයන් මෙයට සහභාගී වීමේ වුවමනාවෙන්ම පැහැර හරින බවද දැනගන්නට තිබේ.

මෙම වරද කරන අයට එරෙහිව පාර්ලිමේන්තු බලතල ප්‍රකාරව හා පාර්ලිමේන්තු සහ අධිකරණ බලතල එකවිට ක්‍රියාත්මක කරමින් කටයුතු කළ හැකි බව නීතිඥයෝ පෙන්වා දෙති. එහෙත් එවැනි නිලධාරීන් පිළිබඳ ක්‍රියාකළ අවස්ථාවක් අපට මෑත දිනවලදී දැකගත නොහැකි විය.

නිලධාරීන් නොපැමිණීම පිළිබඳව ආසන්නතම උදාහරණය වූයේ පසුගිය 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට දැනුම් දී තිබියදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ කමිටුවට ඉදිරිපත් නොවී විදේශගත වීමය. කමිටුව ඉදිරියේ පෙනී සිටීමට ඔහුට දැනුම් දී තිබී ඇත්තේ මසකට පමණ පෙර බවද අනාවරණය වූ අතර එම දිනය ඔහුගේ කැමැත්ත පරිදි යොදාගත් දිනයක්ද විය.

ලේකම්වරයා වෙනුවට වැඩබලන ලේකම් ඉන්ද්‍රානි විතානගේ කමිටුව ඉදිරියට පැමිණ සිටි අතර ඇය ප්‍රකාශ කර සිටියේ තමාට වැඩබලන ලේකම් ලෙස පත්වීම ලැබුණේ එදිනම උදේ බවය. අමාත්‍යංශයට අදාළ අක්‍රමිකතා පිළිබඳ චෝදනාවලට පිළිතුරු දිය යුත්තේ සුරේන් බටගොඩම බව කමිටුව තීරණය කළ අතර ඔහුගෙන් කරුණු විමසීම සඳහා කමිටුව ලබන 8 දින දක්වා කල්දැමීය. මේ පිළිබඳ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාද අප්‍රසාදය පළකර ඇත.

විදුලිබල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසන්නේ විදුලිබල මණ්ඩලයේ සිදුව ඇති අක්‍රමිකතා රැසකටම ලේකම් සුරේන් බටගොඩ සම්බන්ධ බවයි. ගල් අඟුරු, ජෙනරේටර් 50ක් මිලට ගැනීම, හදිසි අවස්ථා යටතේ විදුලි පෞද්ගලික අංශයෙන් මිලට ගැනීම, ටෙන්ඩර් දේශීය සමාගම්වලට නොදී විදේශ සමාගම්වලට දීම, තුර්කි නැව් වලින් ඉන්ධන මිලට ගැනීම ආදී කෝප් කමිටුවට යොමුකර ඇති කරුණු ගණනාවකටම පිළිතුරු ඔහුට ඍජුව ඉදිරිපත් කරන්නට සිදුව ඇති බවයි. එසේ වුවද ඔහු මේ සියල්ලම තනිව කළ අක්‍රමිකතා නොවන අතර ඇතැම් දේශපාලනඥයන් සහ විවිධ උසස් නිලධාරීන් සහ වෘත්තීය සංවිධාන මෙම අක්‍රමිකතාවලට සම්බන්ධ බව ඔහු කියයි.

“සුරේන් බටගොඩ ජනවාරිවල විශ්‍රාම යාමට නියමිතයි. ඔහුට දැන් සිටම විශ්‍රාම පූර්ව නිවාඩු ගන්න පුළුවන්. ඒ නිසා ඔහුට ආපසු ලංකාවට නොපැමිණ විදේශවල සිටින්නත් පුළුවන්. එහෙම වුණත් කෝප් එකට එයාව කැඳවන්න බලතල තිබෙනවා. එහෙත් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ යැයි කියන අර්ජුන මහේන්ද්‍රන් වාගේ ලංකාවට එන්නෙ නැතුව ඔහුට සැඟවී ඉන්න බැරිකමක් නැහැ. ඇතැම් දේශපාලනඥයන් සහ සමහර නිලධාරීන් ඔහුට උදව් කරන නිසා දිගටම එහෙම හිටියොත් බැඳුම්කර විමර්ශනවලට සිදුවූ දේ තමා මෙයටත් වෙන්නේ.

ඔහු වෙනුවට කමිටුවට ආපු වැඩබලන ලේකම්ගෙන් නොව ඍජුවම ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යයි. පහුගිය දිනවල කෝප් කමිටුවට ආපු ජල සම්පත් මණ්ඩලයේ සහ ස.තො.ස. ආයතනයේ නිලධාරීන් වගේ හරියට පිළිතුරු දෙන්න බැරිවෙයි. එවිට විමර්ශන හරියට කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

කමිටුව හොරු අල්ලන්නෙ නෑ: හැබැයි හොරු අහුවෙනවා
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

කෝප් කමිටුවට රාජ්‍ය නිලධාරීන් කැඳවන්නේ පාර්ලිමේන්තුවට ඇති මූල්‍ය පාලන බලතල යටතේයි. එය පාර්ලිමේන්තුවට කැඳවීමක් ලෙස සැලකිය යුතු වෙනවා. ඇතැම් වෙලාවට නිලධාරීන් ඍජුවම පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට කැඳවා ප්‍රශ්න කරනවා. මෙහිදී සිදුවෙන්නේ එලෙස නොකර පාර්ලිමේන්තු බලතල සහිත කෝප් කමිටුවට කැඳවීමයි. එවිට අනිවාර්යයෙන්ම කැඳවන නිලධාරීන් සහභාගී විය යුතු වෙනවා. කෝප් කමිටුවට පැමිණෙන නිලධාරීන් ඇත්ත වශයෙන් පිළිතුරු දෙන්නේ කෝප් කමිටු සභාපති වන මට නොවෙයි. උත්තරීතර පාර්ලිමේන්තුවටයි.

අමාත්‍යංශ ලේකම්ලා බැඳිලා ඉන්නවා අප කැඳවන නිලධාරීන් එවන්න. එලෙස යම් නිලධාරියකුට පැමිණෙන්නට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් ලබාගන්න නම්‍යශීලී විය යුතුයි. එහෙම නැතුව නොසලකා හරින්න බැහැ. එලෙස නොපැමිණෙන අය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කළ හැකියි. එහෙම නිලධාරීන්ට ආයතන මට්ටමින් විනයානුකූලව කටයුතු කරන්න පුළුවන්. එහෙම කරපු අවස්ථා තියෙනවා. මාරුකරලා තියෙනවා. තනතුරු විෂයන් වෙනස් කරලා තියෙනවා. වෙනත් විනය ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. අධිකරණයේ නඩු පවරලාද තියෙනවා. උදාහරණයක් වශයෙන් බැඳුම්කර සිද්ධියට අධිකරණයේ නඩු දමා තිබෙනවා. කෝප් කමිටු වාර්තාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තමා පැමිණිලි කර නඩු දමලා තියෙන්නේ.

කෝප් කමිටුවට නොපැමිණෙන නිලධාරීන් පිළිබඳ හා දේශපාලනඥයන් ගැන ඇමැතිවරයාට හා කැබිනට්ටුවට තීරණ ගත හැකියි. කථානායකට පුළුවන් පාර්ලිමේන්තු බලතල අනුව ක්‍රියා කිරීමට. විධායකය වශයෙන් ජනාධිපතිටද පියවර ගත හැකි වෙනවා. එවැනි දේශපාලනඥයන් පිළිබඳ ජනතාවට පුළුවන් තීන්දු ගන්න. කෝප් කමිටුව මාධ්‍ය හරහා ජනතාවට විවෘත කිරීමේ හේතුවද වූයේ ජනතාවට ඒ ගැන තීන්දු ගැනීමට පහසු වන්නටයි. එවැනි වංචා දූෂණවල යෙදෙන දේශපාලනඥයන් නිලධාරීන් පිළිබඳ ජනතාවට අවබෝධ කර ගත හැකියි. මෙවැනි අය ඉවත් කිරීමේ බලයද ඇත්තේ මහජනතාවටයි.

දේශපාලනඥයන් තනිව වංචා දූෂණ කරන අවස්ථා තිබෙනවා. නිලධාරීන් සමග හවුලේ කරන අවස්ථාද තිබෙනවා. එසේම සමහර නිලධාරීන් තනිවම මෙම වැරදි වැඩවල යෙදෙනවා. සමස්ත රාජ්‍ය සේවයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් තමා මෙලෙස කටයුතු කරන්නේ. බහුතරය හොඳයි. අවංකයි. එහෙත් මේ කිහිප දෙනා නිසා මුළු රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවී තිබෙන බව කිවයුතුයි. ජනතාවට තමා ගෙවන බදු මුදලට වටිනා සේවයක් රාජ්‍ය අංශයෙන් ලබාගැනීමට හැකියාව තිබිය යුතුය. ගෙවන බදු මුදලට සේවයක් තිබිය යුතුයි. 

ඇතැම් නිලධාරීන්ට සමහර ඇමැතිවරුන් කෝප් කමිටුවට එන්න එපා කියනවා. එයට හේතුව ඒ නිලධාරියා ඉදිරිපත් කරන කරුණු අනුව තමන්ගේ දූෂණ හෙළිවේය කියන බියටයි. සමහර විට ලේකම්වරයාට පැමිණෙන්න කිව්වත් නොපැමිණෙන අවස්ථාද තිබෙනවා. ඇමැතිවරයා සමඟ එකතුවෙලා වංචා දූෂණවල යෙදෙන නිලධාරීන්ට පෞද්ගලිකව ඒවාට වග කියන්න වෙනවා. එවැනි අවස්ථාවල හවුල්වෙලා සිටි දේශපාලනඥයන් බේරී යනවා. මෙම තත්ත්වය රාජ්‍ය නිලධාරීන් තේරුම් ගත යුතුයි.

කෝප් කමිටුව කියන්නේ හොරු අල්ලන තැනක් නොවෙයි. කෝප් කමිටුවට හොරු අල්ලන්න ඕනෑ නැහැ. ඒත් එහි විමර්ශන කරගෙන යනවිට හොරැ අහුවෙනවා. කෝප් කමිටුවේ කාර්යභාරය වන්නේ රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතනවල පිරිසිදු ලෙස වැඩ කිරීමට ක්‍රමවේද තැනීමයි. නිසි මග පෙන්වීම් කිරීමයි. විගණකාධිපතිද ඒ ගැන කොප් කමිටුවට සහය දෙනවා. සමහර රාජ්‍ය ආයතන, ව්‍යාපාර අකාර්යක්ෂමයි. ජනතාවගේ සල්ලි අපතේ යනවා. දිගටම මහා භාණ්ඩාගාරයෙන් ජනතා මුදල් අරගෙන නඩත්තු වෙනවා. එහෙත් ජනතාවට සිදුකරන සේවයක් නැහැ. එවැනි ආයතන එතැනින් නිසි පීල්ලට ගත යුතු වෙනවා. ඒවායේ කාර්යසාධනය ගැන සොයා කාර්යක්ෂම කිරීමට කටයුතු කිරීමයි කෝප් කමිටුව කරන්නේ.

ඒත් ඇතැම් වෙලාවට නිලධාරීන් අතර බියක් තියෙනවා කෝප් කමිටුව හොරු අල්ලනවා කියලා. එක අතකට එවැනි අදහසක් තිබෙන ඒක හොඳයි. එයට හේතුව ඒ නිසා හෝ වැරදි වැඩ කරන්න බියවීමයි. අප උත්සාහ කරන්නේ හොරකම් නොකරන වගවීම් ඇති යහපත් සංස්කෘතියක් රාජ්‍ය ආයතනවල බිහිකිරීමයි. ඒ අයාතන කාර්යක්ෂම කිරීමයි. සොරකම්වලට දඬුවම් කරලා නොව ඒ අය වුවමනාවෙන්ම සිතා හදවතින් තීරණගෙන එවැනි වැරදි වැඩවලින් වැළකිය යුතුයි. එවැනි රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් අපේ රටේ බිහිවීම තුළින් රටට විශාල සංවර්ධනයක් ඇති කළ හැකියි.

නිලධාරීන් වැරදි කරන්නේ දේශපාලනඥයන්ගේ උදව්වෙන්
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමි

රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ කෝප් කමිටුව පත්කර ඇත්තේ රටේ ජනතා මුදල් වැය කිරීම කළමනාකරණය කිරීමටයි. රාජ්‍ය ආයතනවල සිදුවන වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාව පිටුදැක ඒවා නිසිමගට ගැනීම එහි අරමුණයි. මහජනතාවගේ මුදල් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් නිසි ලෙස වැයකර තිබේද? රාජ්‍ය ප්‍රතිපත්තිවලට සහ නීතියට එකඟව එවැනි කටයුතු සිදුවී තිබේද යන්න සොයාබැලීම කෝප් කමිටුවේ අරමුණයි.

එයට කැඳවන සෑම දේශපාලනඥයකුම, රාජ්‍ය නිලධාරියකුම ඉහළම ප්‍රමුඛත්ව දී එම කැඳවීම්ව්ලට අවනත වී පැමිණ සහය දැක්වීම වගකීමක් වෙනවා. යම් කෙනෙකු එය පැහැර හරිනවා නම් රට වෙනුවෙන් ද්‍රෝහිකමක්. අපරාධයක්. තමන් නිසියාකාරව විධිමත්ව රාජකාරි කර තිබෙනවා නම් එලෙස පැමිණීමට කිසිවෙකුත් බිය විය යුතු නැහැ. එහෙත් සමහර නිලධාරීන් මේ වගකීම ඉටුනොකර වුවමනාවෙන්ම පැහැර හරින බවක් පෙනෙන්නට තිබෙනවා. විදුලිබල අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ කෝප් කමිටුවට කැඳවා තිබියදී එහි නොගොස් විදේශ ගතවූ බව පසුගියදා අනාවරණය වුණා.

විදුලිබල අමාත්‍යංශය කියන්නේ රටේ දූෂණ වංචාවලට ප්‍රධානතම ආයතනයක් බවට වැඩිදෙනාගේ පිළිගැනීමක් තිබෙනවා. පසුගිය කාලයේ එහි සහ විදුලිබල මණ්ඩලයේ සිදුවූවා යැයි කියන වංචා දූෂණ පිළිබඳ විවිධ කතාබහ ඔස්සේ හෙළිවුණා. ඉතින් එහි ප්‍රධාන නිලධාරීන් කෝප් කමිටුවට නොපැමිණ සිටීම පිළිබඳ සාධාරණ සැකයක් මතුවීම සාධාරණයි. ඒ පිළිබඳ විවිධ කටකතා මතුවීම අදාළ ආයතනවලට හොඳ නැති බවද සිතිය යුතුයි.

මෙලෙස නොපැමිණෙන හා මගහරින නිලධාරීන් පිළිබඳ පාර්ලිමේන්තුව දැඩි තීරණ ගතයුතු වෙනවා. මෙලෙස නිලධාරීන් හැසිරීම සෙසු ආයතනවලටද පූර්වාදර්ශයක් වන්නට ඉඩ තිබෙන නිසා ඒ පිළිබඳ ඉහළම ප්‍රමුඛතාව දිය යුතු වෙනවා. කෝප් කමිටු ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීම මගහැරීමට හේතුව තමන්ට ඒවාට පිළිතුරු නැතිවීම හෝ පිළිතුරු දුන්විට තමන් වරදකරැවකු වනු ඇත යන භීතියද විය හැකියි.

දේශපාලනඥයන් වැරදි දේවල් කරනවා නම් රාජ්‍ය නිලධාරීන්ගේ සහය නැතුව කරන්න බැහැ කියන එකයි මගේ අදහස. බොහෝ වෙලාවට කරන්නේ දෙදෙනාම එයට සම්බන්ධ වෙලයි. එහි ප්‍රතිලාභ දෙදෙනාම බෙදා ගන්නවා. එයින් සිද්ධ වෙන්නේ ජනතාව දේශපාලනඥයාගෙන් හා රාජ්‍ය නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වන අවංක බව නොලැබීමයි. ගිණුම් කාරක සභාව හෝ පොදු ව්‍යාපාර කාරක සභාව කැඳවූ විට මගහැරීම නොවෙයි කළයුතු වන්නේ. එවැනි සැකකටයුතු රාජකාරිවල නොයෙදීමයි.

රට ගියා කියලා නෑවිත් ඉන්න බෑ
හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ

කෝප් කමිටුවට ස්ථාවර නියෝග 120 යටතේ ඕනෑම හිටපු හෝ දැනට සිටින රාජ්‍ය නිලධාරියෙක් කැදවීමට බලය තිබෙනවා. යම් කෙනකු නොපැමිණෙනවා නම් නීත්‍යානුකූලව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට හැකියි. එසේ නොපැමිණෙන්නේ පිළිගත හැකි හේතුවක් නිසා විධිමත් පරිදි කලින් අවසර ලබාගෙන නම් එය බරපතළ ලෙස සලකන්නේ නැහැ. එයා වෙනුවට වෙනත් කෙනෙකුට එන්න පුළුවන්. නැතිනම් ඒ තැනැත්තාටම පසුව නියම කරන දිනයකට එන්නත් හැකියි. අවශ්‍ය තොරතුරු වෙනත් නිලධාරියකු මාර්ගයෙන් ලබාදීමත් වරදක් නොවෙයි. යම් කෙනෙක් පමණක්ම දන්නා තොරතුරු ලබාදීමට ඔහු නොපැමිණියහොත් එය ගැටලුවක් වෙනවා. බොහෝ අවස්ථාවල එම ආයතනයේ තිබෙන තොරතුරු තමා කමිටුවට දෙන්න වෙන්නේ. එම අවශ්‍යතාව කොසේ හෝ ඉටුවේ නම් එතැන ගැටලුවක් නැහැ. එහෙත් එය සිදු නොවේ නම් ප්‍රශ්නකාරී වෙනවා.

මේ පිළිබඳ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ පියවර ගත හැකියි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ගත හැකි පියවර හා පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය යන දෙකෙන්ම ගත හැකි පියවර ඇත. කෝප් කමිටුව යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 යටතේ බලගැන්වූ ආයතනයක්. 1978 වසර දක්වා තිබුණේ රාජ්‍ය ගිණුම්කාරක සභාව පමණයි. 1978 පසුව රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාවක මණ්ඩල සඳහා කෝප් කමිටුව පිහිටවූවා. ඉන්දියාවේ “කෝප්‍ර” කමිටුව මේ සඳහා ආදර්ශයට ගත්තා. මේවායින් කෙරෙන්නේ පාර්ලිමේන්තුවට අවශ්‍ය තොරතුරු රැස් කිරීමක්.

වංචා දූෂණ සෙවීම සඳහා ජනාධිපති විසින් වෙනම කමිටුවක්ද පත්කර තිබෙනවා. එයට ජනාධිපතිවරයාද කැඳවා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 “අ” වගන්තිය යටතේ පැමිණීමට ජනාධිපති බැඳී තියෙනවා. පැමිණීම ප්‍රතික්ෂේප කළහොත් ස්ථාවර නියෝග කඩ කිරීම පිළිබඳ ඉතාම බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවෙනවා. මෙම නියෝග උල්ලංඝනය කිරීම ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකියාව ඇති වරදක් වෙනවා.

කෝප් කමිටුවටත් වඩා මේ විශේෂ කමිටුවට බලතල තිබෙනවා. ස්ථාවර නියෝග 128 අනුව කමිටුවට බලතල තිබෙනවා. ස්ථාවර නියෝග 128 අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක වුණත් මේ කමිටුව දිගටම ක්‍රියාත්මකයි.
කෙසේ වුවත් කෝප් කමිටුවට සහය දීම සෑම, රාජ්‍ය නිලධාරියකුගේම යුතුකමක් හා වගකීමක්. ඔවුන් එයට නීතියෙන්ද බැඳී සිටිනවා. යමෙකු විදේශ ගතවූවා යැයි කියා හෝ මෙයින් ගැලවිය නොහැකියි. ලොව කොහේ හිටියත් ඔහු සොයාගැනීමේ බලතල තිබෙනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වන්නේ කෝප් කමිටුවට නොපැමිණීම නොව පැමිණ කරැණු සාකච්ඡා කර තීරණවලට එළඹීමයි.

♦ යසවර්ධන රුද්රිගු