2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ලෝක ප්‍රසිද්ධවෙන හැමපොතක්ම හොඳ ඒවා නොවේ

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 605

සම්මානනීය ලේඛක අරුණ ප්‍රේමරත්න

වෘත්තියෙන් ටෙලිනාට්‍ය පිටපත් රචකයකු වන අරුණ ප්‍රේමරත්න සම්මානනීය ටෙලි පිටපත් කිහිපයක්ම රචනා කර තිබේ. ඔහුගේ පළමු නවකතාව වූ තරු විසුල රැය 2018 ෆෙයාර්වේ සම්මානය හිමිකර ගත්තේය. අරුණගේ දෙවැනි නවකතාව දවස් තුනක කතාවක් පසුගියදා නිකුත් විය.

ඔබේ අලුත්ම නවකතාව ගැන අපට කිව්වොත්?

මගේ පළමු නවකතාව වන තරු විසුල රැයට බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් පාඨක ප්‍රතිචාර ලැබුණා. ඒ ඔස්සේ මා දිරිමත් වුණා. මා නවකතාව තෝරාගත්තේ ආත්ම ප්‍රකාශනය සඳහා වූ මාධ්‍යයක් ලෙසින්. වෘත්තීමය පිටපත් රචකයෙකු ලෙස මට ලිවීම හුරැපුරැදු දෙයක් වුණත් දෘශ්‍ය මාධ්‍යයක් වෙනුවෙන් පිටපත් රචනා කිරීම තුළ ආත්ම ප්‍රකාශනයකට ඇති ඉඩකඩ සීමිතයි.

මගේ අලුත් නවකතාව පෙර නවකතාවට හාත්පසින්ම වෙනස් විදිහේ එකක් විය යුතුය යන අදහස මුල සිටම මගේ සිත තුළ තිබුණා. මේ වස්තු විෂය මා තෝරාගැනීමට ඒ අදහස හේතුවක් වුණා. මෙයට පසුබිම් වන්නේ අතිශයින් කාර්යබහුල වූ වර්තමාන නාගරික සමාජ පරිසරයයි. විශේෂයෙන්ම මැද පාන්තික ජීවිතය කෙරෙහි මා අවධානය යොමු කරනවා. කතාවට මැදිහත් වන චරිතවල බාහිර සබඳතා ඔස්සේ ඔවුන්ගේ අධ්‍යාත්මය වෙත පාඨකයා කැඳවාගෙන යෑමට මා උත්සාහ කරනවා.

මේ නවකතාව දවස් තුනක කතාවක් ලෙස නම් කළේ?

මා මෙය දවස් තුනක කතාවක්^ යනුවෙන් නම් කළේ එහි වර්තමාන කතාව දවස් තුනක් ඇතුළත දිගහැරී අවසන් වන නිසා. දැන් මැදිවියේ පසුවන චරිතයක් ගැටවර වියේ දී ඔහුව කම්පනයට පත් කළ අතීත සිදුවීමකට බලපෑ හේතුව සෙවීමට උත්සාහ කරනවා. එයට සම්බන්ධ අනෙකුත් චරිත හමුවෙනවා. මේ අතීත සිදුවීමට ද දින තුනක කාලයක් තීරණාත්මක ලෙස බලපා තිබෙනවා.

පාඨකයන් පවසන්නේ මෙය කියවිමට ආස හිතෙන කෘතියක් බවයි?

දවස් තුනක කතාවක් කියවීමට ආස හිතෙන බව පැවසීම සතුටට කරැණක්. පාඨකයෙක් වශයෙන් කියවීමට දුෂ්කර, දුරවබෝධ නවකතා කියවීමට මා අකමැතියි. ලේඛනයේ දී මම පාඨකයාගේ පැත්තෙන් නිතරම කල්පනා කරනවා. මම ආකෘතියක් ගොඩනගා ගැනීමේදීත්, භාෂාව යොදා ගැනීමේදීත් හැකිතාක් සරල වීමට උත්සාහ කරනවා. සමහරු හිතනවා නවකතාව සරල වුණාම එය නොගැඹුරැ වෙන බවක්. මා හිතන්නේ ගැඹුරු විය යුත්තේ මතුපිට පෙළ නොව යටි පෙළයි. ලේඛකයෙක් ලියන ඕනෑම දෙයක් පාඨකයා කියවිය යුතුයි කියල හිතනව නම් ඒක වැරදියි. ඔහුට තෝරාගැනීමක් තිබෙනවා. අප එයට ගරු කළ යුතුයි.

බොහෝ ලේඛකයන්ගේ කෘති නීරස වීමට නිසි සංස්කරණයක් නොවීමත් හේතුවක් නේද?

ඇත්ත. සංස්කරණයත් වැදගත්. එක දිගට ලියාගෙන යනකොට අනවශ්‍ය දේත් ලියවෙන්න ඉඩ තියෙනවා. පුනරුක්ති දෝෂ ඇතිවෙනවා. ඒක ස්වභාවිකයි. මේවා මඟහරවා ගන්න පුළුවන් සංස්කරණයෙන් විතරයි. බොහෝ ලේඛකයන් සංස්කරණයට අකමැතියි කියල මම අහල තියෙනවා. මම නම් නවකතාව ලිවීමට ගත කරන කාලයට වැඩිය කාලයක් සංස්කරණය වෙනුවෙන් ගත කරනවා. මේකට ලේඛකයා මැදිහත් නොවී බාහිර කෙනෙක් සම්බන්ධ කර ගන්නවා නම් වඩාත් සාර්ථකයි. මොකද, තමන් ලියන දේට තමුන් වඩාත් ආශක්තව සිටීම නිසා වැරදි පේනවා අඩුයි.

ඔබේ මුල්ම නවකතාව වූ තරු විසුල රැයට වෑන්ගෝගේ චිත්‍ර යටි පෙළක් ලෙස යොදා ගත්තා. මෙම කෘතියේ මැඩෝනාගේ ගීත යොදා ගන්නවා. ඒ ගැන කිව්වොත්?

මේක තරමක් පෞද්ගලික කාරණයක්. මා නවකතාවක් ගොඩනැගීමේදී මගේ පෞද්ගලික අත්දැකීම් සමීපව යොදාගැනීමට උත්සාහ කරනවා. තරු විසුල රැය නවකතාවේ චිත්‍ර ශිල්පියා මට හමු වූ චරිතයක්. හැබැයි ඔහු වෑන්ගෝ ගැන කතා කරනවා මා අසා නැහැ. ඒත් වෑන්ගෝ මගේ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක්. මා ඔහු ගැන කියවා හදාරා තිබෙනවා. ඒ නිසා මා මගේ චරිතයේ ප්‍රියතම චිත්‍ර ශිල්පියා වෑන්ගෝ බවට පත් කළා.

දවස් තුනක කතාවක් නවකතාවට මැඩෝනා සම්බන්ධ වන්නේ තරමක් වෙනස් ආකාරයකින්. එහි ප්‍රධාන චරිතය නිර්මාණය කිරීමට මා ඇසුරැ කළ මිතුරන් කීප දෙනෙකුගේ චරිත යොදා ගත්තා. සැබැවින්ම මැඩෝනාගේ පෝස්ටරයක් ඒ එක් මිතුරෙකුගේ කාමරයක තිබුණා. මා එය දකින විට ඒ පෝස්ටරයේ සිටින්නේ කවුදැයි දැන සිටියේ නැහැ. මා මැඩෝනා ගැන දැනගත්තේ පසු කාලයක දී. ඒ පෝස්ටරය මට හොඳින් මතක හිටියා. එය මා නවකතාවේ විස්තර කරන පෝස්ටරය නොවේ. මා නවකතාවේ විස්තර කරන්නේ ඇගේ වඩාත් ජනප්‍රිය වූ වෙනත් ඡායාරූපයක් පිළිබඳවයි.

තරුණ පරපුරේ බොහෝ දෙනෙක් අද නවකතා රචනා කරනවා. ඔවුන් නව ආකෘති සොයා යන බව පේනවා. ඔබ ඒ නවකතා කියවනවාද?

කියවීම මගේ ජීවිතේ කොටසක්. මතක ඇති කාලෙක ඉඳන් මම කියනවා. ඒ කියවීම රටකට, ශානරයකට සීමා වුණේ නැහැ. දේශීය වශයෙන් මා කැමති ලේඛකයන් රාශියක් ඉන්නවා. අලුත් නවකතා වුණත් මා කියවනවා. හැබැයි කියවාගෙන යා හැකි ගුණය ඇත්නම් විතරයි. නැත්නම් අතරමඟ දී නවත්තල දානවා. වර්තමාන කාලයේ දී නව ආකෘති හා අත්දැකීම් සොයා යෑම ඒ තරම් දකින්න ලැබෙන්නෙ නැති බවක් පේනවා. එක්තරා සම්මත ආකෘතියක හිරවෙලා තිබෙන ගතියක් තමයි පේන්නෙ. මගේ ප්‍රියතම ලේඛකයන් අතර වර්තමාන ලේඛකයන්ට වැඩිය ඉන්නෙ තරමක් පැරණි අය. ඒ අතරින් සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන, වීරපොකුණේ උපරතන හිමි, සරත් ආරියරත්න වගේ අය විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඔවුන් නව ආකෘති සමඟ අත්හදා බැලීම් කළා.

සම්මාන බලාගෙන වසරකට එක පොත බැගින් ලියනවා කියලා සමහර විචාරකයන් ලේඛකයන්ට චෝදනා කරනවා?

මෙතනදී නවකතා ලියන කාලය නෙමෙයි වැදගත් වෙන්නෙ, ලියන කෘතියේ ගුණාත්මකභාවය. මං වෘත්තීය ලේඛකයෙක්. මේ චෝදනාව මගේ පිටපත් සම්බන්ධයෙන් ගත්තොත් කාලෙකට එකක් බැගින් පිටපත් ලියල මට ජීවත් වෙන්න බෑ. වෘත්තීමය විදිහට නවකතා ලියන අයත් ඇති. හැබැයි මම නවකතා ලියන්නෙ මගේ ආත්ම ප්‍රකාශනයට. ඒ හින්දා මට නවකතා දෙකක් අතරෙ කාල පරාසයක් තියාගන්න පුළුවන්. මං කියන්නෙ කෙනෙකුට වේගයෙන් ලියන්න පුළුවන් නම් ලියන්න ඕනෑ කියලා. ඒ ගැන කාටවත් නීතියක් දාන්න බැහැ. හැබැයි මේ නවකතා අගය කිරීමේ දී සම්මාන දීමේදී විනිශ්චය මණ්ඩලවලට වගකීමක් තියෙනවා අනෙක් බාහිර කාරණා අමතක කරලා ගුණාත්මකභාවය ගැන විතරක් හිතලා සම්මාන දෙන්න. ඒක ඒගොල්ලන්ගෙ අතේ තියෙන කාර්යභාරයක්. අද නවකතාවක ප්‍රමිතිය තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙලා තියෙන්නෙ සම්මාන. ඒ නිසා මේ සම්මාන ක්‍රියාවලියෙ දී හොඳ නවකතා ඉස්මතු වුණොත් ඒක නවකතාවල ගුණාත්මකභාවය වර්ධනය වෙන්න හේතුවක් වෙයි. එවිට කෙනෙක් සම්මාන බලාගෙන හදිස්සියෙ නවකතා ලියනව නම් ඒ ගැන දෙවරක් හිතයි. 

අද තරුණ පෙළ කියවීම වෙනුවට ස්මාර්ට් ෆෝන්වල එල්ලිලා ඉන්නේ. ඔබ සිතන පරිදි ඔවුන් මේ තත්ත්වයෙන් මුදාගත හැක්කේ කෙසේද?

බාහිරින් බලනකොට තරුණ පරපුර කියවීමෙන් ඈත්වෙලා වගේ පෙනුණට තවමත් කියවීමට රුචි පිරිසක් ඔවුන් අතර සිටිනවා. මට එය අත්දැකීමෙන් දැනුණේ මගේ තරු විසුල රුය සම්බන්ධ ප්‍රතිචාරවලින්. සමහරු ජංගම දුරකතන භාවිත කරමින් ඊබුක්ස් කියවනවා. ඒකත් හොඳ ප්‍රවණතාවක්. තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමාන තරුණ පරපුර හමුවේ නොයෙක් විනෝදාස්වාද මාධ්‍යයන් විවරවෙලා තියෙනවා. සංගීතය, චිත්‍රපට ආදිය ඔවුන් අතර වඩාත් ජනප්‍රියයි. මේ අතරට සාහිත්‍යය එකතු කරන එක ලේඛකයන්ගේ වගකීමක්. තරුණ පරපුරට ගෝචර වන අත්දැකීම්, ඔවුන් ආකර්ශනය කරගත හැකි ආකෘතීන් භාවිතයට ගත යුතුයි. මෙහි දී භාෂාව විශේෂයි. මේක ලංකාවට, සිංහල භාෂාවට පමණක් ලඝු වූ ගැටලුවක් නෙමෙයි.

කොපමණ නවකතා බිහි වුණත් සිංහල නවකතාව ජාත්‍යන්තර තත්ත්වය හා සම නොවන බවට විචාරක චෝදනා එල්ල වෙනවා නේද?

ඕනෑම රටක ජාත්‍යන්තර තත්ත්වයට යා හැකි නිර්මාණ ඇත්තේ ස්වල්පයක් විතරයි. සිංහල බසින් ලියවෙන පොත් ඉංග්‍රීසි බසට පරිවර්තනය නොවීම අපේ සාහිත්‍යය ජාත්‍යන්තර තලය වෙත යෑමට ඇති විශාල බාධාවක්. එවන් මට්ටමක ඇති කෘති තවමත් ඇත්තේ සිංහල බසින් පමණයි. ඉංග්‍රීසි බසට පරිවර්තනය වුවද ප්‍රාග්ධනය සම්බන්ධ ගැටලුවක් තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙනවා යැයි කියන සෑම පොතක්ම හොඳ පොතක් නෙමෙයි. ඒවා පසුපස තියෙන්නෙ දැවැන්ත ප්‍රචාරණයක්. ඒ ප්‍රාග්ධනය එක්ක දේශීය ප්‍රකාශකයෙකුට හැප්පෙන්න බෑ.

 කුසුම්සිරි