2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ජේ. ආර්ගෙන් ඇරඹුණු ජනාධිපතිවරණ ඉතිහාසය

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 400

1977 පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් හිමි විය. එතෙක් විපක්ෂ නායක ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති ධුරයට පත් වූ අතර ඔහු 1972 ව්‍යවස්ථාව වෙනස් කොට නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට පියවර ගත්තේය. නව ව්‍යවස්ථාවෙන් පළමු වරට විධායක ජනාධිපතිධුරයක් නිර්මාණය කෙරුණු අතර 1978 පෙබරවාරි 4 වැනි දින අගමැති ජයවර්ධන මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේය. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට සීමා විය.

1980 පමණ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විවිධ අර්බුද නිර්මාණ වී තිබිණි. එහි නායිකා සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කරනු ලැබීය. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 1984දීය. එහෙත් විපක්ෂය දුර්වල බව දුටු ජේ.ආර්. ජයවර්ධන දෙවසරකට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව මෙරට පැවැති ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබරයේ දී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුවද, ජනතා විමුක්ති පෙරමුණින් රෝහණ විජේවීර ද, දෙමළ කොංග්‍රසයෙන් ජී.ජී. පොන්නම්බලම්ද, ලංකා සමසමාජ පක්ෂයෙන් කොල්වින් ආර්. ද සිල්වාද, නව සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර ද එයට ඉදිරිපත් වූහ. ඡන්ද 34,50,811 දිනාගනිමින් ජේ.ආර්. ජයවර්ධන යළි ජනාධිපතිධුරයට පත්විය. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ඡන්ද 25,48,438ක් හිමි විය.

ජනාධිපතිධුරය දෙවරකට වඩා වැඩි වාරයක් දැරීමට ව්‍යවස්ථාවෙන් වළකා තිබූ හෙයින් ජේ.ආර්. ජයවර්ධන 1988 ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වූ හෙයින් දෙවැනි වරට පැවැත් වෙන විධායක ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූයේ අගමැති ආර්.ප්‍රේමදාසය. එවර තරගයට ආර්.ප්‍රේමදාස, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඔස්වින් අබේගුණසේකර යන තිදෙනා ඉදිරිපත් වූහ. ආර්. ප්‍රේමදාස මහතා ඡන්ද 2,569,199 ලබා ජයග්‍රහණය කළ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2,289,960 හිමිකර ගත්තාය. ඒ වනවිට උතුරේ එල්.ටී.ටී.ඊ භීෂණයද දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයද පැතිර යමින් තිබිණි. ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ආර්. ප්‍රේමදාස සඳහන් කළේ තමන් දෙකොන පත්තු වූ විලක්කුවක් අතට ගත් බවය.

ආර්. ප්‍රේමදාස මහතාට තම ධුර කාලයේ කටයුතු කිරීමට හැකිවූයේ එක්වරක් පමණි. ඔහු එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1993 මැයි 1 දින ඝාතනය විය. ජනාධිපතිවරණය සඳහා තවත් වසරකට අධික කාලයක් පැවැති හෙයින් ඔහුගෙන් පසු ජනාධිපතිධුරයට පත්වූයේ අගමැතිවරයාව සිටි ඩී.බී. විජේතුංග මහතාය. සය වසර සම්පූර්ණ වීමත් සමඟ විජේතුංග ජනාධිපතිවරයා තුන්වැනි ජනාධිපතිවරණය කැඳවීය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීය. එය 1984 නොවැම්බරයේ පැවැත්විණි. ඒ සඳහා මහජන පෙරමුණෙන් චන්ද්‍රිකා කුමාරනතුංගද, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණෙන් නිහාල් ගලප්පත්තිද, එක්සත් ජාතික පක්ෂයෙන් ගාමිණී දිසානායකද, ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඒ.ජේ. රණසිංහද, සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් හරිශ්චන්ද්‍ර විජේතුංගද, ස්වාධීන අපේක්ෂකයකු ලෙස හඩ්සන් සමරසිංහද නාම යෝජනා ඉදිරිපත් කළහ. තොටළඟ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින් සිටියදී එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක මහතා ඇතුළු පිරිසක් 1994 ඔක්තෝබර් මාසයේ ඝාතනය වූහ. ගාමිණී දිසානායකගේ අභාවය මත ඔහුගේ බිරිය වූ වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මිය ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගත්තේය. ඡන්ද 4,709,205ක් හිමි කරගනිමින් චන්ද්‍රිකා කුමාරනතුංග මහත්මිය එවර ජනාධිපතිවරණය ජය ලැබුවාය. ශ්‍රීමතී දිසානායක මහත්මිය ඡන්ද  2,715,285ක් හිමි කර ගත්තාය.

සිව්වැනි ජනාධිපතිවරණය පැවැත් වූයේ 1999 දෙසැම්බරයේය. ඒ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් නාම යෝජනා භාර දුන්හ. චන්ද්‍රිකා කුමාරනතුංග තම දෙවැනි වාරය සඳහා ඉදිරිපත් වූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහද, ජනතා විමුක්ති පෙරමුණෙන් නන්දන ගුණතිලකද, ලිබරල් පක්ෂයෙන් රජීව විජේසිංහද, ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂයෙන් අබ්දුල් රසූල් ද, මහජන නිදහස් පෙරමුණෙන් ඒ.ඩබ්ලිව්. ප්‍රේමවර්ධනද, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් ආරියවංශ දිසානායකද, ජනතා විමුක්ති සහයෝගිතා පෙරමුණෙන් කමල් කරුණාදාසද, භූමිපුත්‍ර පක්ෂයෙන් හරිශ්චන්ද්‍ර විජේතුංගද, වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයෙන් වාසුදේව නානායක්කාර හා තවත් ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙක්ද ඉදිරිපත් වූහ.

ඡන්ද 4,312,157ක් ලබා ගනිමින් දෙවැනි වරටත් ජනාධිපතිවරිය වන්නට චන්ද්‍රිකා කුමාරනතුංග මහත්මිය සමත් වූවාය. රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 3,602,748ක් හිමි විය.

පස්වැනි ජනාධිපතිවරණය 2005 නොවැම්බරයේ පැවැත්විණි. එක්සත් ජනතා සන්ධානයෙන් මහින්ද රාජපක්ෂද, එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහද ප්‍රධාන අපේක්ෂකයන් වූ අතර තවත් අපේක්ෂකයන් 11 දෙනෙක් විවිධ පක්ෂවලින් ඉදිරිපත් වූහ. ඡන්ද 4,887,152ක් ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා විය. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 4,706,366ක් හිමිකර ගැනීමට සමත් විය. 

ජනාධිපතිවරණයකට සහභාගී වූ වැඩිම අපේක්ෂකයන් පිරිසක් නාම යෝජනා ඉදිරිපත් කළේ 2010 පැවැති සයවැනි ජනාධිපතිවරණයටය. එවර අපේක්ෂකයෝ 22ක් ඉදිරිපත් වූහ. එය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි වාරය විය. එක්සත් ජාතික පක්ෂය මෙවර පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කළේය. ඒ අනුව පොදු අපේක්ෂකයා වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. ඡන්ද 6,015,934ක් ලබාගනිමින් මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. සරත් ෆොන්සේකා මහතාට ඡන්ද 4,173,1851ක් හිමි විය.

අවස්ථා දෙකකට වැඩියෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට 1978 ව්‍යවස්ථාවෙන් පනවා තිබූ වාරණය 18 වැනි සංශෝධනය මගින් ඉවත් කරගත් මහින්ද රාජපක්ෂ තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබාගත්තේය. ධුරකාලය වසර 6කට සීමාවුවද ජනාධිපතිවරයාගේ මනාපය පරිදි වසර හතරකට පසු ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් අවසර තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා තමාට බලයේ සිටීමට තවත් දෙවසරක් ඉතිරිව තිබියදී 2015දී ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළේය. 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමෙන් ඔහු අත්කරගත් අතිවිශාල ජන ප්‍රසාදය යළි උරගා බැලීමට ඔහු උත්සාහ කළේය. එක්සත් ජාතික පක්ෂය දෙවැනි වරටත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කළ අතර මෙවර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වූයේ ඔහුගේම රජයේ සෞඛ්‍ය ඇමතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙනි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව තවත් අපේක්ෂකයෝ 17 දෙනෙක් එවර නාම යෝජනා භාරදුන්හ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතාගේ තෙවැනි වරටත් ජනාධිපති වීමේ සිහිනය බිඳ දමමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් විය. ඔහු ඡන්ද 6,217,162ක් ලබාගත් අතර මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090ක් හිමි කර ගත්තේය. එය ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය දුන් මැතිවරණය විය. 81.52% එවර ඡන්දය භාවිත කර තිබිණි.

2020 පැවත්වීමට නියමිතව ඇත්තේ 8 වැනි ජනාධිපතිවරණයයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී ගිය මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පිහිටුවා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තම අපේක්ෂයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබේ. 1999න් පසු ජනතා විමුක්ති පෙරමුණද මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයකු ඉදිරිපත් කර තිබේ. ඒ එහි නායක අනුර කුමාර දිසානායකය. එක්සත් ජාතික පක්ෂයට තවමත් අපේක්ෂකයකු නම් කිරීමට නොහැකිව සිටින අතර රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් අයකු ඒ සඳහා නම් කිරීමට නියමිතය.

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00