2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

දරුවනුත් මරාගෙන මැරුණු තාත්තා

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

මවකට ඇති උතුම්ම සෙනෙහස දරු සෙනෙහස මෙන්ම දරුවකුට ඇති උතුම්ම සෙනෙහස මව් සෙනෙහසයි. එය මවකට පමණක් නොව පියකුට ද එක හා සමානය. මවක විසින් මිහි මතට බිහි කරන දරුවකු ජීවත් කරවීමේ වගකීම ජාතක කළ පියාට පැවරෙයි. දරුවන් ඝාතනය කිරීමේ වගකීමක් කිසිවකුට පැවරී නැත. නමුත් දරුවන් නොමරා මරණ මව්පියන් මෙන්ම දරුවන්ව ඍජුව ඝාතනය කරන මව්පියන් ද නැතුවා නොවේ.

මවකගේ යුතුකම පියකුගේ යුතුකම හඳුනා නොගන්නේ නම් යුග දිවියට එළඹීමේදී දෙදෙනාම ලබාදෙන පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. ඒ වගකීම පැහැර හැරීම තුළ පවුල් සංස්ථාව කුණාටුවකට හසු වූවා මෙන් සුනු විසුණු වී යනු ඇත.

එකිනෙකා තුළ ඇතිවූ බැඳීම් වර්ධනය කර ගනිමින් තමන් වැදූ ජාතක කළ දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කිරීමට මව්පිය දෙපාර්ශ්වයම කටයුතු කළ යුතුය. එවැනි වූ බොහෝ මව්පියන් හමුවන අවස්ථා මෙන්ම ඔවුන්ගේ මුවින් පිටවන දරු සෙනෙහසේ වදන් ද අසන්නට ලැබෙන අවස්ථා එමටය.

“මට මගේ දරුවො තරම් කවුරුවත් වටින්නේ නැහැ. මගේ දරුවන් වෙනුවෙන් පණ දෙන්න වුවත් පුළුවන්. මට කන්න නැතත් බඩගින්නේ ඉඳලා හරි මගේ දරුවන්ට කන්න දෙනවා. මම මේ දිවා රෑ නොබලා වෙහෙස වෙන්නෙ මගේ දරුවන් ජීවත් කරවන්න. මගේ දරුවන් සතුටින් ඉන්නවා දැකීමයි මගේ ආශාව. මම නම් මැරුණත් කමක් නැහැ. මගේ දරුවන්ට මැරෙන්න දෙන්න බැහැ. ගැහැනියක්, මිනිහෙක් ගන්න පුළුවන්. නමුත් තමන්ගෙ දරුවා වගේ දරුවෙක් ගන්න බැහැ.” දරුවන් ජාතක කළ පියවරුන් මව්වරුන් එවැනි වූ කතා කියන අවස්ථා ඕනෑ තරම් අසන්නට හැකිය.

සැබෑ දරු සෙනෙහස ඇති මව්පියන්ගේ හදවතේ ඇති දේ වදන් බවට පෙරළී මුවින් පිටවන්නේ එලෙසය.

වර්තමානයේ පවතින පවුල් ආරවුල් ඇති වීමට ප්‍රධාන වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කිරීමේදී එය අයහපත් ලෙස භාවිත කිරීමයි. ඒ තුළින් ඇතිවන සම්බන්ධතා මත ගොඩනැගෙන අනියම් සබඳකම් අවසානයේ පවුල් ජීවිත සුනු විසුණු වී යන්නේ මහා අකුණු පහරකට හසු වූවා සේය.


දරුවන් සිටින ඇතැම් මව්පියන් තම දරුවන් ගැන සිතා කටයුතු කරනවා වෙනුවට අනියම් පෙම්වතා හෝ පෙම්වතියට ඇළුම් කිරීම නිසා එහි ප්‍රතිඵල තම දරුවන්ට භුක්ති විඳින්නට සිදුවන බව ඔවුන් මතකයේ තබාගත යුතු කරුණකි. ආදරය විවාහයට පෙරළී දරුවන් ලැබී ටික කලකින් අනියම් ඇසුරු සොයා යන පියවරු මව්වරු ඕනෑ තරම් සිටිති. විවාහ දිවිය පිළිබඳ ඇති අනාවබෝධය ඇතුළු කරුණු කාරණා කිහිපයක් මත එසේ සිදුවිය හැකිය.

කුමන හේතුවක් මත හෝ සිදු වූ පවුල් ආරවුලක් හේතුවෙන් පියා සහ දරුවන් දෙදෙනකුගේ ජීවිත අහිමි වූ පුවතක් පුත්තලම. උඩප්පුව, සින්නපාඩුව ප්‍රදේශයෙන් වාර්තා වූයේ ඉකුත් 25 වැනි දින සවස් කාලයේදීය.

උඩප්පුව, පල්ලිවාසල්පාඩුව, කොන්තන්තිව් ප්‍රදේශයේ පිහිටි නිවෙසේ දී පසුගියදා (25) වස දී තම පුතුන් දෙදෙනා මරා දමා එම පුද්ගලයා ද සිය නිවෙස තුළම ගෙල වැළලාගෙන මරණයට පත් විය. පියකු විසින් වස පොවා දරුවන් දෙදෙනකු ඝාතනය කර පසුව පියා ද ගෙල වැළලාගෙන මියගොස් ඇති බවටත් දරුවන් දෙදෙනාගේ දේහ පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇති බවටත් වූ පුවත ලැව් ගින්නක් සේ පැතිරී යන්නට විය.

අප රෝහලට යන විට දැකගැනීමට ලැබුණේ දරුවන්ගේ ඥාතීන් විලාප දෙමින් හඬමින් සිටින අයුරුය.
“දරුවන්ගෙ අම්මා දාල ගියාට පස්සෙ මම තමයි මේ දරුවන් බලාගෙන හිටියේ. මම හම්බ කරපු හැම සතයක්ම මේ දරුවන් වෙනුවෙන් වියදම් කළා. මම ගෙදරින් ගිය ටිකට මේ අපරාධය කළේ ඇයි? මෙහෙම දෙයක් වෙයි කියලා මම හී‍නෙන්වත් හිතුවා නම් මම දරු දෙන්නා දාලා කොහෙවත් යන්නේ නැහැ. අනේ මම කොහොමද ජීවත් වෙන්නේ?” කියමින් හඬා වැටෙන මියගොස් සිටි දරුවන් දෙදෙනාගේ පියාගේ පියා, දරුවන්ගේ සීයාගේ වදන් ඇසූ කාගෙත් හදවත් කම්පාවට පත් විය. එය ඇසූ කාගේත් නෙත්වල කඳුළු පිරී සිරවී තිබුණි. මව්වරුන් පියවරුන් සුසුම් හෙළමින් පැවසුවේ මෙය මහ පොළොව නුහුලන අපරාධයක් බවයි.

“දරුවො දාල යන කාලකණ්නි ගෑනු නිසා තමයි මේ වගේ කුඩා දරුවන්ට මෙවැනි ඉරණම් අත්වෙන්නේ. මේ වගේ අයට දැඩි දඬුවම් දෙන්න ඕන සමාජයට ආදර්ශයක් වෙන්න.” රෝහලට පැමිණි රෝගීන් අතර සිටි කාන්තාවන් අතර වූ කතා අපේ සවනට වැටුණි.

“මේ මගේ බාල පුතාගේ දරුවො. ගෑනි ගිහින් මාස කිහිපයක් වෙනවා. පොලීසිය මගින් සමත මණ්ඩලයට දාල සමාදාන කරන්න එන්න කිව්වාම ගෑනි ආවේ නැහැ. මගේ පුතා හරි කනගාටුවෙන් හිටියේ. නමුත් මේ දරැවො දෙන්නට මෙහෙම දෙයක් කරන්නෙ නැතුව මගේ එකා මැරුණ නම් මට දුකක් නැහැ. ගෑනි එන්නෙ නැත්නම් වෙන ගෑනියක් අරගෙන යන්න තිබුණා. මම දරුවො දෙන්නව බලාගන්නවා. ඇයි මගෙ දරුවො දෙන්නට මෙහෙම කරලා මරලා දැම්මේ. මේ පොඩි දරුවො දෙන්නව මගේ පණ වගේ බලාගත්තෙ. මට මගේ පුතා ගැන දුකක් නැහැ. මේ පොඩි දෙන්නා දකිනකොට මගේ පපුව පැලිලා යනවා.”

සුළු වේලාවකට පසු මාධ්‍යයට අදහස් දැක්වූ දරුවන්ගේ සීයා මෙසේ පැවසීය.


“මගේ පුතයි එයාගේ බිරිඳයි අමනාප වෙලා මාස තුනක් විතර වෙනවා. පුතාගේ බිරිඳ දාල ගියාට පස්සෙ මම තමයි දරුවන් දෙදෙනාව බලාගත්තේ. මියගිය මගේ බාල පුතා සහ එයාගේ දරුවන් දෙදෙනා උන්නෙ මගේ ගෙදර. පුතා බාලයා නිසා එයාට තමයි ගේ දෙන්න හිටියෙ. මගේ නෝනා ඉන්නේ රට. එයාට මේවා කියන්නෙ කොහොමද මට තේරෙන්නේ නැහැ.

තිබුණු තත්ත්වයත් එක්ක මම මේ අය ගැන නිතරම අවධානයෙන් හිටියා. මේ සිද්ධිය වෙන්න ටිකකට පෙර පුතා ඇවිත් මාව ගෙදරින් එළියට ඇදලා දැම්මා. පුතා මේ වගේ වැඩක් කරයි කියලා දන්නවා නම් මම ගෙදරින් මැරැවත් යන්නෙ නැහැ. මගෙ මුණුපුරෝ දෙන්නා නැතුව මම ජීවත් වෙන්නෙ කොහොමද? මට මගේ පුතා ගැන නෙවෙයි පොඩි දරැවො දෙන්නා ගැන තමයි දුක. මේ වගේ දෙයක් ආයේ නම් කොහෙවත් වෙන්න හොඳ නැහැ.” ගෙල වැළලාගෙන මියගිය අයගේ පියා වූ ඩබ්ලිව්. සෙල්ටන් මහතා හැඬූ කඳුළින් එසේ පැවසුවේය.

මෙලෙස දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි හානි කරගෙන ඇත්තේ සින්පාඩුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ධීවර රැකියාවේ නිරත වූ සමන් අසංක නැමති අයෙකි. මියගිය දරුවන් දෙදෙනා කන්දතොඩුවාව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දරුවන් දෙදෙනකු වූ අතර වැඩිමහල් දරුවා වූ තුන වසරේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්.වී. මැතිව්ස් හා පළමු වසරේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. ඉසාන් නිරෝධ මෙම පාසල් සිසුවෝ වූහ.

පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත උඩප්පුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුවන බව පොලීසිය පැවසීය.

රෝවන් පෙරේරා - පුත්තලම

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00