විශේෂිත පුහුණුව සහ දැනුම ලත් කාර්යමණ්ඩල නිලධාරීන් විශේෂිත උපකරණ හා ඖෂධ භාවිත කරමින් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හා සේවාවන් ලබාදෙන ආරෝග්‍යශාලාව මෙරට සෞඛ්‍ය සේවා සපයන ප්‍රමුඛතම ආයතනයයි. විසි හතර පැයේ රාජකාරියට කැපවුණු කාර්යමණ්ඩල නිලධාරින්ට ලැබෙන විවේකයක් නොමැති තරමය. කෙසේ වුවද කලාතුරකින් ලද නිවාඩුව සංචාරයක් සඳහා යොදාගත් රෝහල් කාර්යමණ්ඩලය නිසා රෝහලේ සේවා හා පහසුකම් අඩාල වූ පුවතක් පසුගියදා අසන්නට ලැබිණ.
ඇතැම් පුවත්පත් හා රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ වාර්තා කර තිබුණේ කඳාන ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩල නිලධාරින් වාර්ෂිකව සංවිධානය කරන සුහද චාරිකාව නිසා පසුගිය 25 වැනිදා එම රෝහලේ කටයුතු අඩපණ වී තිබූ බවය.
කෙසේ වෙතත් අප කළ සොයා බැලීමේදී වාර්තා වූයේ එක් රූපවාහිනී නාළිකාවකට අදහස් ප්‍රකාශ කළායැයි කියන රෝගීන් බවට පෙනී සිටි පිරිස කඳාන රෝහලෙන් ප්‍රතිකාර ලබා නොගත් අය බවය. ඒක පාර්ශ්වික වශයෙන් සකස් කර තිබූ එම ප්‍රවෘත්ති වාර්තාවේ බොහෝ කරුණු අසත්‍ය බව කියන කඳාන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ධම්මික පතිරණ මහතා මෙසේ පැවසීය.
“කඳාන ප්‍රාදේශීය රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය 148 දෙනකු සිටිනවා. ඔවුන් සියලු දෙනාම එක්ව සුබසාධක සංගමයක් පවත්වාගෙන යනවා. මම එම සංගමයේ නිල බලයෙන් සභාපති වශයෙන් පත්වී තිබෙනවා. නමුත් මම ඒ සංගමයේ නෑ. රෝහල් කාර්යමණ්ඩලයට සංගමයෙන් විශාල සහනයක් ලැබෙනවා. මොවුන් වාර්ෂිකව සුහද චාරිකාවක් සංවිධානය කරනවා. හැමෝටම එක දිනයක සහභාගී වීමට අවස්ථාව නැති නිසා දෙවතාවකට එය යොදාගන්නවා. මෙය අවුරුදු 20ක් පමණ සිදුකරගෙන යන දෙයක්. නමුත් කිසිම අවස්ථාවක රෝහලේ කටයුතු සඳහා එය බාධාවක් වෙලා නෑ.
පසුගිය 24 සහ 25 දින මෙවර චාරිකාව යොදාගෙන තිබුණා. සෙනසුරාදා (24) වරැවක් වැඩ කරලයි මේ අය නිවාඩු ලබාගෙන තිබුණේ. සහභාගී වූ හැමෝම අනුමත නිවාඩු යටතේ ගිය බව මම දන්නවා.”
කඳාන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු 22ක් සේවය කරති. හෙද නිලධාරිනියන් 54 දෙනෙක් සේවය කරති. වෛද්‍ය රසායනාගාර නිලධාරින් 3ක් සහ සහකාර රසායනාගාර නිලධාරින් 5ක් හා සෙසු කාර්ය මණ්ඩලයේ 64 දෙනෙක් සිටිති. මොවුන්ගෙන් වෛද්‍යවරු 2ක්, හෙදියන් 4 දෙනෙක්, වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ගෙන් එක් අයෙක්, සහකාර රසායනාගාර ශිල්පියෙක් හා සෙසු කාර්ය මණ්ඩලයේ නිලධාරින් 22කු ඇතුළු 30 දෙනකු චාරිකාවට සහභාගී වූ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ධම්මික පතිරණ මහතා සඳහන් කරයි. මේ අනුව වෛද්‍ය ධම්මික පතිරණ මහතා පවසන්නේ රෝහලේ සියලුම කාර්යමණ්ඩලයේ 148 දෙනකු අතරින් 30 දෙනකු පමණක් චාරිකාවට සහභාගී වූ අතර සෙසු 118 දෙනා සේවයේ නියුතුව සිටීම නිසා එදින රෝහලේ කිසිදු අඩුපාඩුවක් සිදු නොවුණු බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජු පරිපාලනය යටතේ පවතින ලංකාවේ එකම රෝහල වන කඳාන ප්‍රාදේශීය රෝහලට පිටතින් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනකු සායන සඳහා දායකත්වය ලබාදෙන බවද වෛද්‍ය ධම්මික පතිරණ මහතා කීහ. මේ හැර රාගම රෝහල විසින් ද මෙම ප්‍රාදේශීය රෝහල අධීක්ෂණය කරනු ලබයි. සාර්ථක ලෙස බාහිර රෝගී අංශයත් පවත්වා ගෙන යන රෝහලේ වැඩිපුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් රාගම රෝහලට යොමු කෙරේ.
ඉකුත් 25 දින පිරිස විනෝද චාරිකාවක ගියද එදින ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ගෙන් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 4 දෙනකු පමණක් ශල්‍ය වෛද්‍ය උපදෙස් සඳහා රාගම රෝහලට යොමු කර තිබේ. එම කාරණය රූපවාහිනි පුවතින් සඳහන් කොට ඇතැයි ද සඳහන් වේ. අගෝස්තු 25 හා 26 දිනවල පිළිවෙළින් 366ක් හා 327ක් වශයෙන් රෝහලට බාහිර රෝගීන් පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ 17 හා 18 දිනවලදී රොගීන් 436ක් හා 441ක් දෙනකු පැමිණ ඇති බවත් දත්ත සටහන් ඇත.
කෙසේ නමුත් කරුණු සොයා බලා ප්‍රවෘත්තියක් පළනොකිරීම නිසා රෝහලේ නමට කැළලක් සිදුව ඇති බව වෛද්‍යවරයා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ සුබසාධක සංගමයේ සුහද චාරිකාව කිසි ලෙසකින්වත් කඳාන ප්‍රාදේශීය රෝහලේ කටයුතුවලට බාධාවක් නොවුණු බවය.
► සමන්ත විල්තෙර