අතීතයේ රසබර කතන්දර සොයා යාත්‍රාකරන අපගේ මෙවර නැවතුම වනවිමන් මැදිකොට කඳු බෑවුම් ගිරි ශිඛර මායිම් කර පිහිටි සොඳුරු ගමක් අද්දර. පසුගියදාක මේ චාරිකාවේ පුවත අප ඔබට දේශයෙන් ගෙන ආවෙමු. අද කතාවට නිමිත්තද අපහට ලැබුණේ හිරු සඟවාගත් මන්දාරම් පුරයෙනි. මේ බඹර කැපීමට වනවැදුණු මිනිසුන්ගේ අතීත කතාවයි.
බඹර කැපීමේ කතාව රස කර කී හැකි වෙතත් එය ජීවිතය උකසට තබා මරණයේ බිහිදොර අභියසට ගිය ගමනකි. බඹර බැඳෙන්නේ උස් කඳු බෑවුම් පර්වත ආශ්‍රිතව හෝ උස් ගස්වලය. එවන් තැන්හී ඇති බඹරකට ළඟාවීම අතිශය දුෂ්කර කටයුත්තකි. මන්දාරම්පුර ගමනේදී පිදුරුතලාගල රක්ෂිතයේ අතීතයේදී බඹර කපන්නට ගිය ඇත්තන් පිළිබඳ තතු අපට අසන්නට ලැබුණේ කොළපත් ඇල්ල පාමුල පද්මසිරි මහතා සමඟ කළ කතාබහේදීය. ඉන්පසුව අපි තුළ උපන් කුහුල නිසාම තවත් තතු විත්ති සොයා බැලුවෙමු.
ඒ අනුව මේ කතාව පෙළ ගැසෙන්නේ සිරිලක අදිවාසීන් වන වැදි ජන පුවත මුල්කොට ගනිමිනි. වැදි ජනයාගේ ජීවිතවලට දැඩිව බැඳී තිබුණකි. මී පැණි සහ බඹර පැණි, දඩ මස් කල් තබා ගැනීමේ ප්‍රමුඛ මාධ්‍යය වූ නිසාවෙනි. පසුකල මෙම කාර්යය වන විමන් ඇසුරේ වූ ගම්බිම්වල ජනි ජනයාගේද වෘත්තියක් වී තිබේ. ගොවීන් අස්වනු නෙළාගත් පසුව තම විශ්වාසවන්ත නෑසියන් සමඟ බඹර කැපීම වෙනුවෙන් වන වැදී ඇත. මන්දාරම් නුවර ආශිත ප්‍රදේශයේද සිදුව ඇත්තේ මෙයයි.
ගොවිතැන් වැඩ නිමවූ පසු ගම්මු කාණ්ඩ හැදී කඳුහෙල් ගිරිශිඛර ඇති වනයට වදිති. දෙමස්සිනාලා බොහෝ විට මෙසේ සමඟි සංධානයට ගතවී මේ ගමන ගිය බව නිරන්තර කියැවෙයි. ඇතැම් විට බිරින්දෑවරුන් පවා මේ ගමනට එක්වී තිබේ. එහි රහස වී ඇත්තේ මරණයේ මුවදොර යන මේ ගමනේ හැරපට අල්ලා සිටින්නා අතිශය විශ්වාසවන්තයකු වීමට අවැසි වූ වීමයි. කල් ඇතුව බඹර ඇති තැන් සොයා බලා බඹර කැඩීමට යාම සාමාන්‍ය ක්‍රමය නොවුණත් එවන් පිළිවෙත් අනුගමන කළ අය ආසන්න කාලයේ සිට තිබේ. කෙසේ වෙතත් රසබර පුවත් නිර්මාණය වී ඇත්තේ කාණ්ඩ වශයෙන් බඹර කැපිල්ලට වනවැදුණු විටය.
හාල්, තුනපහ ඇතුළු උයා පිහාගන්නට අවැසි කළමනා සතියකට හමාරයකට සූදානම් කරගෙන ගම්මු කාණ්ඩ වලට බෙදී වන වදිති. බඹර කැපිල්ල වෙනුවෙන් අවැසි පොරෝ, කෙටේරි, පිහියා, හට්‌ටි මුට්‌ටි කද බැඳගෙන ගිය මේ ගමන අපූරුය. බඹර කැපිල්ල පමණක් නොව දඩයමද මේ ගමනේ විශේෂ අරමුණකි. මහ වනයේ ලැගුම් ගෙන උයා පිහාගෙන කා දඩයමක්ද කරගෙන බඹර කපා බඹර පැණි, බඹර ඉටිද රැගෙන දඩමස්‌ද කද බැඳගෙන ගම බිම් බලා ඒම මේ කාගේත් බලාපොරොත්තුවයි. එහෙත් මේ ගමන ගැහැටින් පිරුණු එකකි. විපත අනතුරු ඕනෑම මොහොතක තමන් කරා පැමිණිය හැකි බව ඔවුහු දැන සිටියෝය.

වනයට ඇතුල් වූ පසුව මහ වනය මැද වාඩිලා ගැනීම ඔවුන්ගේ පළමු කාර්යයයි. ඉන්පසු ඔවුහු පන්දම් මඩිය. සාදා ගනිති. ඊට අවැසි කළමනා ගම් බිම්වල සිටම ඔවුහු රැගෙන යනු ලැබේ. වනයෙන් සොයාගන්නා හොඳින් දුම් නගින කොළ වර්ගද මේ සඳහා භාවිතයට ගනී. මෙම පන්දම් බඹර කැපීමට පූර්වයෙන් බඹර වදවලට දුම් ගැසීම වෙනුවෙනි. දුම් ගැසූ විට බඹරුන් මඳකට වදය අතහැර යති. එයින් මේ කටෝර රාජකාරියට කාලය ලැබේ. කටයුතු සූදානම් වන අතරේ බඹර ඇති ඉසව් සොයා පිරිසක් වනයට වදිති. බඹරගල, බඹරකන්ද ආදී බඹරුන් වැඩි වශයෙන් සිටින ඉසව් හැම වනයක පාහේ තිබේ. පරම්පරාවෙන්ම එවන් ඉසව්වල බඹර වද සොයා පැණි පාරේ යන ඉව බඹර කපන්නන්ට තිබේ. වනය පීරා උස ගස් බෙනවල, ගල් දෙබොක්කාවල පර්වත බෑවුම්වල බඳින බඹරයක් සොයාගෙන ඔවුහු බඹර කැපිල්ලයට ලක ලෑස්ති වෙති. අතිශය අවදානම් තැන් වල මේ බඹර බැඳ තිබේ.
හේලි හෙළේ හෙළ වට කරකැවිල්ලා
ගල් නළළේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැද යනකොට කරකැවිල්ලා
මඩු ගම හෙළ බලතොත් මෙහි වරෙල්ලා
මෙම අවදානම හේතු කොටගෙනම බඹර කැපිල්ල ලාංකික ජන සාහිත්‍යයේ අපූර්ව ලෙස පැලපදියම් වී ඇත. බඹර කවි ගී වෙන්ව වේ. ඇසුරේ ජන වහරක්ද බිහිවී තිබේ. අවදානම මානුෂිකත්වය වේදනාව වස්තු විෂය කොට නිර්මිත එම ජන කවි කිහිපයද මෙහිලා උපුටා දැක්වූවෙමු. ඒ තුළින් බඹර කැපිල්ල සජීවී කොට අප හදවත් ස්පර්ශ කර බව අපට හැඟේ. බඹර කැපිල්ලට සම්බන්ධ ඇතැම් ජනවහරෙන් වදන් කිහිපයක් අප මෙහි දී භාවිතා කළෙමු. ඒ අනුව පැණි පාරේ යාම යනු මී, බඹර කපන්ට යාමයි. යොත වැල යනු පැණි බෑමට භාවිතා කරන වැලයි. ඉලට්ටන් වීම යනු කුලප්පු වීමයි. මේ ආදි වදන් බොහෝ ඇති බැවින් ඒ පිළිබඳ ගවේෂණය වෙනම කළ යුත්තකි.
හැරපට බඹර කැපීමේ අත්‍යවශ්‍ය උපාංගයයි. දුම් ඇල්ලූ පසු බඹරුන් ආපසු එන්නට පෙර හැරපට දිගේ ගොස් බඹරේ කපා ගත යුතුය. කාරිය කඩිනම් විය යුතුව මෙන්ම ප්‍රවේශමද සුළුපටු නැත. ඇතැම් විට බඹරය ඇති ගලට හෝ ගසට තබා මැස්සක් බැඳීමද සිදුවේ. හැරපොට බැඳීම ඊට නැගීමෙන් අනතුරුවය. හැර පොටේ එල්ලී වදයට ළංවන විට පසකින් එය අල්ලා සිටින්නේ සගයාය. අප පෙර කී පරිද්දෙන් බිරියගේ මලනුවන් මේ කාර්යයට එක්වන්නේ විශ්වාස තහවුරු කරනු වෙනුවෙනි. තම අක්කණ්ඩිය වැන්දඹු වනවාට මලයා අකමැතිය. එනිසාම ඔහු දිවි දෙවැනි කොට තම මස්සිනා රකී. මේ සම්බන්ධ වන ජන කවි බොහෝ ඇත. ඒ අතරේ පසුකාලේ නිර්මාණය වූ ගීයක පද අපට සිහිවේ.
බඹර ගලින් රූටාලා....
සඳ නිවුණිද කියපන් මයෙ මලයා.....
සඳ නිවුණිද කියපන් මයෙ මලයා.....
දෙමස්සිනාලා....
මල් පැණි බීවා දෝ....
බඹර කපන්ටා... බඹර කපන්ටා....
බමන මතින් කරණම් ගැසුවාදෝ.....
තනිවූයේ මාවයි මගෙ මලයා....
හොඳ බඹරෙකින් පැණි කළයක් ගන්න හැකි බව කියැවේ. පැණි බෑම සිදුවන්නේ යෙත වැල ඔස්සේ මුට්ටි මගිනි. පහළ සිටින එම පිරිස් එම පැණි එකතු කරගනී. මේ කාරිය නිමා වන්නේ පැණි බා අවසන් වූ විටය. ඒ දක්වා හැම ඇසිල්ලක්ම අවදානම් සහිතය. බඹර කැඩීමේදී සිදුවූ විපත් පිළිබඳ නේකවිධ ජනප්‍රවාද මෙම කඳුකර වනගත ගම්බිම් වල අදද ඉතිරිව තිබේ. කෝන්තර පිරිමසා ගැනීම හැරපට කැපූ කතා ජන කවිවල පවා දක්නට ඇත. මේ සියල්ල අද ඉතිහාසයේ කොටසක් වී හමාරය. බඹර කැපිල්ල යනු අද වියැකී ගිය වෘත්තියකි. දිවයිනේ බොහෝ ගම්බිම්වල නොවෙතත් මෙහි මතක කඳුකරයේ තාම ඉතිරිව තිබේ. ඉතිහාස කවුළුවෙන් ඒ දෙස බලන අපට මේ පුවත් කොතරම් සුන්දර වෙතත් එදා එය යතාර්ථය නම් කඳුළින් පිරි වේදනාකාරී එකක් වෙන්නට ඇත.
► චමිඳු නිසල් ද සිල්වා