2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ක්‍රිකට්වලටත් කැරකෙන ක්‍රීඩා පනතේ අලුත් නීති

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 159

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අගෝස්තු 22 වැනිදා කරන ලද ප්‍රකාශයක් ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. තමන් විසින් දැනට අත්සන් තබා ඇති ගැසට් නිවේදනයකින් සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවල නිරත පවුල්වල සාමාජිකයන් ක්‍රිකට් පරිපාලනයේ කිසිදු නිලයක් දැරීම තහනම් කොට ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව එකී වාර්තාවල සඳහන් වේ. මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සම්පූර්ණ සහයෝගය සහ එකඟතාව ලැබුණු බවද ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩා 66ටම මෙම ගැසට් නියෝගය අදාළ වන බවද සඳහන්ය. දැනට ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන තිලංග සුමතිපාල මහතාට මේ ගැසට්ටුවට අනුව එම තනතුරෙන් ඉවත් වීමට සිදුවන බවද වාර්තා වේ. ආසන්නතම කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයාට ව්‍යවස්ථානුකූලව විධායක කමිටු සාමාජිකත්වය ලැබෙන බැවින් දැනට තිලංග සුමතිපාල මහතා එකී විධායක කමිටු සාමාජිකත්වය උසුලයි. තම පවුලේ සාමාජිකයන් සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සම්බන්ධ බව තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇතැයි පුවත්පත් වාර්තාවල දැක්වේ. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිපාලන නිලධාරීන් හා හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනකුට එරෙහිව පසුගිය කාලයේ අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ පරීක්ෂණ පැවැත්වූ බවද සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් එය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සියලුම ක්‍රීඩාවලට බලපාන පරිදි නීතිමය වෙනසක් කළ යුතු බව පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් සංගමයේ සභාපති ශෂන්ක් මනෝහර් පවසා තිබිණි. පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ෂම්මි ද සිල්වා අතර පැවති විශේෂ සාකච්ඡාවක දී ශෂන්ක් මනෝහර් මහතා මෙම අදහස ප්‍රකාශ කර තිබේ. මේ වන විට ඒ සඳහා පියවර ගෙන ඇති බවට එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුව දැනුවත් කර තිබිණි.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ නෛතික රාමුව මූලික වශයෙන් පනත් තුනකින් සමන්විත වේ. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත මින් පළමු වැන්නයි. 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරි පනත සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි 2013 අංක 23 දරන සම්මුති පනතත් ක්‍රීඩා පනතට අතිරේකව ක්‍රියාත්මක වේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතට, 1993, 1998 සහ 2005 වසරවල සංශෝධනයට ලක් විය. ක්‍රිකට් ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්‍රීඩා කිහිපයකම සිදුවිය යුතු පරිපාලනමය වෙනස්කම් උදෙසා ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව වසර කිහිපයක පටන්ම පැන නැගී තිබිණි. 2016 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි දයාසිරි ජයසේකර මහතා ද මේ පිළිබඳ කිහිප වසරකදීම අදහස් ප්‍රකාශ කොට තිබිණි.


ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා එහි පරිපාලනය පිළිබඳව 2018 දී කරන ලද විගණනයෙන් අනතුරුව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ වාර්තාව 2018 මැයි 2 වැනිදා විගණකාධිපතිගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබේ. එකී වාර්තාවේ නිගමනවල (9.1) යටතේ මුලින්ම දැක්වෙන්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කළ යුතු බවය. මේ එහි උපුටනයකි.

“1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලු සහිත අවස්ථාව නිරීක්ෂණය වන අතර එකී ගැටලු නිරාකරණය වන ලෙස පනත සංශෝධනය කිරීමටත් යාවත්කාලීන කිරීමත් සිදු කළ යුතු බව නිගමනය කෙරේ.”

අද අපේ ක්‍රීඩාව පවතින තත්ත්වය එම වාර්තාවේ හොඳින් විස්තර කර ඇත්තේ මෙතෙක් කල් මලල ක්‍රීඩාවෙන් එක් එක් මලල ක්‍රීඩා (ඔලිම්පික්, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය ආදී) තරගවලින් අප ලැබූ රන්, රිදී, ලෝකඩ පදක්කම් සංඛ්‍යාව ද දක්වමිනි. ක්‍රිකට් පාපන්දු ආදී ක්‍රීඩාවල තත්ත්වය ගැන එම වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසයි.

“ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල් වැනි කණ්ඩායම් තරග තුළින් සැලකිය යුතු ජාත්‍යන්තර ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අතීතයේ දී අත්කරගෙන තිබුණද වර්තමානයේ දී එය සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බව පෙනේ.” (1.2.9)

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සංශෝධනය කළ යුතු බවට 2019/4/09 අමාත්‍ය මණ්ඩලයට කර ඇති යෝජනාව සම්මත වී තිබේ. 2019/4/10 නිකුත් කර ඇති පුවත්පත් නිවේදනයට අනුව ඒ සඳහා ඉදිරිපත් කරන කෙටුම්පතෙහි පහත සඳහන් කාරණා ආශ්‍රයෙන් සංශෝධන යෝජනා කිරීමට නියමිතය. එම කාරණා කෙටියෙන් මෙසේය.

ජාතික ක්‍රීඩා සංගම්වල වාර්ෂික ගිණුම් ප්‍රකාශ වාර්තා විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන පිළිගත් ක්‍රමවේදයක් යටතේ විගණනය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම.

ක්‍රීඩා පනත යටතේ නියෝග සෑදීමට අමාත්‍යවරයාට හැකියාව ඇති කරුණු සවිස්තරව නිර්වචනය කිරීම.

ක්‍රීඩා පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් ඉහළ නැංවීම.

ජාතික ක්‍රීඩා සභාවට ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති/ ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයන් දෙදෙනකුවත් සහභාගි කරවීම.

ක්‍රීඩා පනත යටතේ වරදකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය තවදුරටත් ශක්තිමත් කිරීම.

ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු අනෙකුත් ක්‍රීඩාවල පරිපාලනය හා මූල්‍ය පාලනය සම්බන්ධයෙන් දැනට පැන නැගී ඇති ගැටලු පනත යටතේ පැවරෙන අලුත් බලතලවලින් අවම කරගත හැකි බව සැලකේ.

වැඩි අවධානයට යොමු නොවන විශේෂ කාරණා දෙකක් 2016 සහ 2017 ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ කාර්යසාධන වාර්තාවල අභිමතාර්ථයන්හි දැක්වේ. එහි (7) සහ (8) අංක යටතේ ඒවා සටහන්ව ඇත්තේ මෙසේය.

(7) ප්‍රධාන විදේශ විනිමය ඉපයුම් කේන්ද්‍රයක් ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රය යොදා ගැනීම.

(8) සාමය හා වාර්ගික ඒකාග්‍රතාව සඳහා ක්‍රීඩාව උපයෝගී කර ගැනීම.

2016 ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ධූරය ඉසුලූ ජයන්ත විජේරත්න මහතාගේ පණිවිඩය තුළින් ද (කාර්යසාධන වාර්තාවේ) ඉහත 7 හි සඳහන් අභිමතාර්ථයට අමතරව එම කාරණය පිළිබඳ මෙසේ කියවේ.

“ක්‍රීඩාව අප රටට පහසුවෙන් ආර්ථික වටිනාකමක් ලබා දිය හැකි අංගයක් බැවින් ජාත්‍යන්තර ක්‍රීඩා තරග ශ්‍රී ලංකාව තුළ පවත්වමින් විදේශ විනිමය උපයා ගැනීමට අවකාශ ලබාගත හැක.”

විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මාර්ගය වන්නේ අපනයන ප්‍රවර්ධනයයි. එහෙත් අන්තර්ජාතික වෙළෙඳපොළේ තරග කිරීමට ඇති නොහැකියාව නිසා බොහෝ විට අප ඒ අතින් අසමත්ය. අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඒ අතින් මහඟු ආදර්ශයක් සපයා ඇති ආකාරය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සිය ලිපියක වරක් පැහැදිලි කර දී තිබිණි. ක්‍රිකට් ක්‍රීඩාව විවෘතව ලෝකයට ගොස් (දේශීයව රැඳී නොසිට) අන්තර්ජාතික වශයෙන් තරගකාරී හැකියාව අතින් ඉහළ මට්ටමක පසුවෙන ආකාරය එම ලිපියේ අගය කර තිබිණි.

අපේ සියලු ක්‍රීඩා නොමැති නම් ක්‍රීඩා කිහිපයක් හෝ එම මට්ටමට ගෙන ඒමට අමාත්‍යාංශයේ ඇති අභිමතාර්ථය පැසසිය යුත්තකි. සාමය හා ජනවාර්ගික ඒකාග්‍රතාව ක්‍රීඩාවේ අභිමතාර්ථයක් වීමද ඒ හා සමානය. රට තුළ පවතින සාමය මගින් විදේශ ආයෝජන මෙරටට කැඳවනු ලබයි.

මේ සියල්ල සඳහා අදාළ නීතිමය බලගැන්වීම් පවත්වාගෙන යාමට ක්‍රීඩා පනත ශක්තිමත් විය යුතුයි. ඒ මගින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලු දූෂණ, අක්‍රමිකතා, අකටයුතු, සූදු සහ ඔට්ටු අවම කර ගැනීමට උත්සාහ ගැනීම වැදගත් වේ.

► සමන් පුෂ්ප ලියනගේ 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00