2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පුණ්‍ය ආයතනවලට පරිත්‍යාග වැඩිවේ

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

මේ වනවිට කන්‍යා රාශියෙහි උච්චව ගමන් කරමින් සිටින බුධ ග්‍රහයාත් කන්‍යා රාශියෙහි නීචව ගමන් කරන සිකුරු ග්‍රහයාත් අතර යුධ සංග්‍රාමයක් 2019 සැප්තැම්බර් මස 13 වැනි කිවි දින රාත්‍රී 8 පසුවී විනාඩි 42ට සිදුවනු ඇත. කන්‍යා රාශියෙහි රවිට අයත් වූ උත්‍රපල් නැකතේ තුන්වැනි පාදයේදී මෙම ග්‍රහ යුධ සංග්‍රාමය සිදුවෙයි. ඒ බුධ ග්‍රහයාත් සිකුරැ ග්‍රහයාත් එකම අංශකයකදී දෙදෙනා එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් ග්‍රහයන් දෙදෙනාම පීඩාවට පත්වීම නිසාය. මෙම යුධ සංග්‍රාමය තුළින් අප රටට ඇති කරන්නා වූ බලපෑම විමසා බලමු.

පුන්‍ය ආයතන සමාජ සේවා ආයතන සඳහා විශාල වශයෙන් පරිත්‍යාග ද්‍රව්‍ය සහ මූල්‍යමය හා උපකරණ පරිත්‍යාග ලැබීම් සිදුවන කාලයකි. යම් යම් පුද්ගලයන් පෞද්ගලික හේතූන් මත පලිගැනීම සඳහා සමහරුන් ඝාතනය කිරීම් වාර්තා වනු ඇත. තැපැල් කටයුතු ආශ්‍රිත සේවක ප්‍රශ්නයක් ඇතිවේ. ව්‍යාපාරික කටයුතුවලට යම් යම් බාධා ඇතිවීමක් ආර්ථික වර්ධනයේ අඩාල වීමක් ද ඇතිවන කාලයකි. ප්‍රසිද්ධ ලේඛකයකුට සාහිත්‍යවේදියකුට විද්‍යුත් මාධ්‍යවේදියකුට මාරක ඇතිවන කාල සීමාවක් වෙයි.

මේෂ - සතුරු උවදුරු

ඔබට අයහපත් වන්නා වූ වකවානුවක් වෙයි. කරන කටයුතු අඩාල වන අතර ඔබට එරෙහි සතුරු බලවේග ක්‍රියාත්මක වනු ඇත. ඔබගේ කාලාත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන අතර ඔබට ද ස්නායු පීඩා ඇතිවනු ඇත.

වෘෂභ - කලාවට හොඳයි

අධ්‍යාපන කටයුතුවල නිරත අයට විවිධ වූ බාධා මතුවනු ඇත. බුද්ධියට වඩා සිතට වහල් වී කටයුතු වී කටයුතු කිරීමට පෙළඹෙන කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. කලා කටයුතුවල නිරතව සිටින අයට යහපත් ඵල අත්වනු ඇත.

මිථුන - නීතිමය ගැටලු

අලුතින් ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමට උත්සාහ දරණ කාලයක් නම් එම කටයුතු නොකිරීමට වගබලා ගන්න. නීතිමය ප්‍රශ්නයකට මැදි විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කටක - කෙටි ගමන්

ක්‍රීඩා කටයුතුවල නියැලි අයට බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ දීමට සිදුවනු ඇත. කෙටි ගමන් අධික වන කාලයක් වේ. ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත.

සිංහ - උගුරේ අමාරු

පවුල් දිවියේ පැවති ගැටලු මගහැරී යන වකවානුවකි. ආර්ථික අපහසුතා ඇතිවනු ඇත. උගුරේ රෝග පීඩාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත. ඔබගේ කටයුතුවලට පිටස්තර අයගෙන් බාධා ඇතිවනු ඇත.

කන්‍යා - ධනය ලැබේ

මෙම වකවානුව හදිසි ධනයක් ලැබෙන කාල සීමාවකි. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර ආගමික කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය යෙදවීමට පෙළඹෙන වකවානුවකි

තුලා - කලකිරීම් වැඩියි

ඔබගේ යම් යම් කටයුතුවලට බාධාවීම් ඇතිවන අතර එපාවීම් හා කලකිරීම් ඇතිවන කාලයකි. ගංඟා, මුහුදු ආශ්‍රිතව කටයුතු කරන අය පරිස්සම් විය යුතුය. ඇස්වල පීඩා ගෙන දෙන කාලයකි.

වෘශ්චික - භූමි ලාභයක්

හවුල් කටයුතුවල නිරත අයට ශූභ ඵල ගෙනදෙන අතර හිතමිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇතිවන කාලයකි. භූමියෙන් ලැබීමක් ද ඇතිවන කාල සීමාවක් වේ.

ධනු - මංගල යෝජනා

අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් වුවද ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකිය යුතු වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ගැටලුකාරී බව මගහැරී යන කාලයක් වේ.

මකර - උදවු උපකාර

ආගමික කටයුතුවල නිරත වීමට සිදුවන කාලයක් වේ. සාර්ථක කෙටි ගමන් ඇති වන අතර හිත මිතුරන්ගෙන් ද උදව් උපකාර අත්වනු ඇත. නව නිර්මාණශීලී අදහස් ජනිත වන්නාවූ සමයකි.

කුම්භ - නොගැලපෙන ගනුදෙනු

ඔබට අනවශ්‍ය නොගැලපෙන අය සමඟ ගනුදෙනු කිරීමට සිදුවන කාලයක් බැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වේ. ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධාවන් ද ගෙනදෙනු ඇත.

මීන - ශරීර පීඩා

නීතිමය ප්‍රශ්නයකට මැදි විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ. හදිසි ශරීර පීඩා ද මතුවන කාලයක් බැවින් පරිස්සම් වන්න. හවුල් කටයුතුවලින් පාඩු අත්වන්නාවූත් කාලයකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල