- ශමෙල් ජයකොඩි
දිගු කලක සිට කැනඩාවේ ජීවත් වෙමින් නිර්මාණකරණයේ යෙදෙන ශමෙල් ජයකොඩි ලියූ නවකතා පාඨක පිරිස් බැඳ තබා ගැනීමට සමත් විය. ඇය ලියූ නවකතා අතුරින් ප්‍රංශ පෙම්වතා 2017දීත්, වීනස්ගේ උපත 2019දීත් ස්වර්ණ පුස්තක විශිෂ්ට කෘති අතරට තේරැණි. ශමෙල්ගේ අලුත්ම නවකතාව කුමාර කොබෙයි විදර්ශන ප්‍රකාශකයක් ලෙස පසුගියදා නිකුත් කෙරිණි.
කුමර කොබෙයි නවකතාවට පාදක වී ඇත්තේ අමෙරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකික අවිවාහක තරැණියකගේ මානසික විවරණයක්. මේ ගැන යමක් කිව්වොත්?
කුමාර කොබෙයි කතාවේ අනුභූතීන් පැති කිහිපයකට විසිර යනවා. නූතන ස්ත්‍රීන්ගේ භූමිකාව, මහාද්වීපයක වසන මිනිසුන්ගේ ජීවන චරියාව, සංස්කෘතික කිහිපයක ඝට්ටනය මෙහි ලියවී තිබෙනවා. පොදුවේ අප දන්නා දෙයක් ආගන්තුක කලාපයකට ගිය විට මිනිසුන්ට වර්ධනය වන්නට ලැබෙන ඉඩ. මෙහි කතා කියන අයත් ඒ ප්‍රවාහයට අසුවුණු අය. ඔවුන් තම තමන්ගේ ඇතුළු හදවත දෙසට හැරී ජීවිතය කියන අන්දමට ඉබේම ඔවුන් පය ගසා සිටින සමාජ දේශපාලනය ද කියවෙනවා. ඒ වගේමයි විවාහය පමාවුණු ගැහැනියකගේ සිතැඟි තුළින් පොදු මිනිස් ජීවිතය ආලෝකය කිරීමක් කරන්නටයි මා උත්සාහ ගෙන තිබෙන්නේ. පොතේ අවසානයට යනවිට මේ මහාද්වීපික භූවිෂමතාවයයි. මිනිස් හදවතේ භූ විෂමතාවයයි එකක් බවට පත්වෙන හැටි ඔබට පෙනෙයි.
මෙහි ප්‍රධාන චරිතය වන ඉන්දිකාගේ අභ්‍යන්තර මනස පාඨකයා හමුවේ අපූරැවට විවරණය කරන බව පේනවා. ඔබේ වෙනත් නවකතාවලත් එය දකින්න පුළුවන්. කාන්තා මනස විවරණයට ඔබ මෙතරම් හුරැවක් ලබාගත්තේ කෙසේද ශමෙල්?
මමත් කාන්තාවක් නිසා මට එය නිරායාසයෙන් කළහැකි දෙයක්. බොහෝ විට මම අන් අය මා ඉදිරියේ පවසන අත්දැකීම්වලින් කම්පනය වෙන, අනුනාද වෙන කෙනෙක්. මම හිතන්නේ ඔබ දකින්නේ ඒ විදිහට මගේම හදවත සමඟ භාව කථනයක යෙදෙන මම ලිවීමේදී විශේෂ යමක් කරන්නේ නැහැ. නිර්ව්‍යාජ ආත්ම කථනයක යෙදීම හා නැවුම් ලෙස ලෝකය දකින්නට උත්සාහ කිරීම පමණයි එහි තිබෙන්නේ. මම කවදත් නවකතාවක් ලියන විට මම ගැන ලියනවා මිසක් සමාජ ආර්ථික දේශපාලනයක් ගැන ලියන්නට යන්නේ නැහැ. කොටින්ම කතාවක චරිත ස්වභාව ධර්මය දකින්නේ පවා ඔහුගේ හෝ ඇගේ ඇසින්.
නමුත් අමතක කරන්න එපා සම්මානවලට නිර්දේශ වුණු මගේ නවකතා, ප්‍රංශ පෙම්වතා හා වීනස්ගේ උපත නවකතා දෙකම පිරිමි කථනයකින් ඉදිරිපත් වුණු ඒවා.
ප්‍රංශ පෙම්වතා, අමෙරිකා ඇතුළු ඔබ ලියූ බොහෝ නවකතාවල චරිත ජීවත් වන්නේ පිටරට. නැත්නම් පිටරට යනවා. චරිත එලෙස පිටරටවලට සම්බන්ධ කරන්නේ ඔබ විදෙස්ගතව සිටින නිසාද?
මම කාලයක පටන් විදෙස්ගතව සිටින නිසා සමීපයේ තිබෙන අත්දැකීම් මගේ ලිවීමට නිරායාසයෙන් එනවා තමයි. මම මගේ වටපිටාවෙන් අහන දකින අත්දැකීම්වලින් ලියන කෙනෙක් නිසා එය මගේ ලිවීමේ කෙටසක්. අද ලාංකික සංක්‍රමණිකයින්ගේ ජීවන ප්‍රවෘත්ති අහක දමන්නට බැහැ. ඔවුන් ලෝකය පුරා විහිදී නොයෙක් හඬවල් නගමින් ඉන්නවා. සාහිත්‍යයට එද්දී එවැන්නන්ගේ සිතුම් පැතුම් අවැදගත් විස්තු බීජයැයි කියන්නේ කොහොමද? ඇරත් අපි ඉන්නේ ගෝලීය ප්‍රාග්ධනය අපව මෙහෙය වන යුගයක. ලංකාවට වැඩි විදේශ විනිමයක් පවා එන්නේ විදේශ රටවල සිටින ශ්‍රමිකයින්ගෙන්. නමුත් මැදපෙරදිග ශ්‍රමිකයන් ගැන ලියවුණු සාහිත්‍යයක් මා දැක නෑ.
විප්‍රවාසීව සිටින ලාංකිකයන් රාශියක් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් නිර්මාණකරණයේ යෙදෙනවා. එම කෘති ඔබ කියවනවාද?
මට එවැනි පොත් සියල්ල කියවන්නට අවස්ථාව ලැබී නැහැ. නමුත් රට හැර විදේශගත වන අයගේ හදවත ගැහෙන රිද්මය යම්තාක් දුරට සමාන බව මට දැනෙන දෙයක්. අප රටෙන් පිට කුමන කාර්යයක නියැලුණත් නොයෙකු හේතූන් නිසා විප්‍රවාසී සිටින, ලේඛනයේ යෙදෙමින් ආපසු මව්බිම වෙත හැරෙන අයගේ සාහිත්‍යය ලෝක ප්‍රජාවට අලුත් දෙයක් නෙමෙයි. කුමාර කොබෙයි තුළ පවා කියවෙනවා. “මගේ අනෙකා මම හැමදාමත් ජීවත් වුණේ ලංකාවේ.* කියලා. අප රටෙන් පිටවෙන විට අපේ අධ්‍යාත්මයේ කොටසක් මව්බිමේ දමා යනවා. කාලයක් යද්දී ඒ දමා ගිය කොටස අතු පතර වැඩී හඬ නගන එකක් බවට පත්වෙනවා. මේ “අතීත මතකය* ඉබේම පරිකල්පනයකට හැරෙන්නට ඉඩ වැඩියි.
ඔබ දිගටම නවකතා පමණද ලියන්නේ, කෙටිකතා වැනි වෙනත් නිර්මාණ මාධ්‍යයක් කෙරෙහි උනන්දු නැද්ද?
නවකතාව කියන එක මට විශේෂ දෙයක්. මට නම් එය වෙන දෙයක් නෙමෙයි අපේ ජීවිතයයි. එය අප ජීවත් වෙන ලෝකයට සමාන්තර විශාල ලෝකයක් මවන්නට මට අවස්ථාව උදාකරනවා. අපට ලෝකය සමඟ බෙදාහදා ගත නොහැකි දේ එහිදී අපට බෙදාහදා ගතහැකි වෙනවා. ප්‍රබන්ධකරුවකුට ඊට එහා වාසනාවක් අවශ්‍යයි කියා මා හිතන්නේ නැහැ. කියවීමේ සංස්කෘතියක් රැඳිලා තියෙන තාක්කල් නවකතාවක් ලිවීමේ සතුට භුක්ති විඳින්න මම කැමතියි. නමුත් මම කවි, කෙටිකතා කියවන්නට ලැදි කෙනෙක්. කුමාර කොබෙයි කතාවේ කතා නායිකාව පවා කියනවා ඇය ලංකාවට ඇවිත් යනවිට කවි පොත් දුසිම් දෙකක් රැගෙන යන බව, ආදරයක් නොලැබුණු හැම යුගයකම කවි පොතක් හොයාගෙන යන පුරුද්දක් ඇය ළඟ ඇති බව.
මයිකල් ඔන්ඩච්චි වැනි ශ්‍රී ලාංකිකයන් ඔබ ජීවත් වන කැනඩාවේ විශිෂ්ට නිර්මාණකරැවන් බවට පත්වෙලා සිටිනවා නේද?
කැනඩාවේදී ඒ රටට සංක්‍රමණය වූ අය විසින් එළිදක්වන සාහිත්‍යයට නිතරම මුල් තැනක් ලැබෙනවා. මයිකල් ඔන්ඩච්චිගේ කෘති පවා ආකර්ෂණීය ලෙස මෝස්තර ගන්වා ඇත්තේ පෙරදිගින් උකහා ගත් සංස්කෘතිකාංගවලින්. පොත්වලින් මතුවෙන මේ සංස්කෘතියේ මිශ්‍රවීම යම්කිසි සුන්දරත්වයක් ඇති දෙයක්. හිතන්න පුළුවන්ද? පොතකින් සංස්කෘතීන් කිහිපයක් මුණගැස්වීම ගැන. පොදුවේ අපට තවත් සංස්කෘතියක් හා මිශ්‍රවීමෙන් ලබාගත හැකිදේ බොහොමයි.
බටහිර රටවල ඇති සුඛෝපභෝගී ජීවිතය තුළ මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ වුණු සමාජයක මිනිසුන්ගේ හදවත් කම්පනය කරවන අමුද්‍රව්‍ය හිඟකමක් තිබෙනවා. පෙරදිග රටවල සිට එන සංක්‍රමණික ප්‍රජාව ළඟ ඉන් එහාට ගිය අත්දැකීම් තිබෙනවා. සාහිත්‍ය තුළ ඇති ඒ අඩුව පුරවන්නට එලෙස පැමිණෙන අය සමත්. රෝහින් මිස්ටි එලෙස සිය පාර්සි ජාතික අනන්‍යතාවයෙන් කැනඩාවේ සාහිත්‍ය සම්මාන ලබන කෙනෙක්. ඔහු තනිකර ලියන්නේ ඉන්දියාවේ ඔහු දන්නා ජන ජීවිතය ගැනයි.
කුසුම්සිරි