අධ්‍යාත්මයෙන් ලෙඩ සුව කිරීම ලෝකයේ සෑම රටකම පාහේ සිදුවන ක්‍රියාවකි. විවිධ පුද්ගලයන්, දේශකයන්, පූජකවරුන් කාලෙන් කාලයට ඉස්මතු වන අතර ඔවුහු විවිධ සකලවිධ ක්‍රම යොදා ලෙඩ සුව කරන බව සඳහන් කරති. මේ නිසා ඔවුන් පසුපස රෝගීන් පිරිසක් වැටෙන අතර පසුකලෙක ඔවුහු ක්‍රමයෙන් අනුගාමිකයන් වෙති.
අද වනවිට බොහෝ ආගම්වලට සිදුවී ඇත්තේද එවන් වූ ඛේදවාචකයකි. බෞද්ධ දර්ශනය තුළ බුදුන් ලෙඩුන්ට ඇප උපස්ථාන කළ බවට අසා තිබුණත් නළලට හෝ ඔළුවට අත තබා ලෙඩුන් සුව කළ කතා අපි අසා නැත්තෙමු. එහෙත් අද වනවිට ඇතැම් පුද්ගලයන් බෞද්ධ දර්ශනය ද විකෘති කරමින් මෙය මායාවක් බවට පෙන්නන්නට උත්සාහ ගන්නා අවස්ථා එමටය.
අපි කතෝලික දහමේ අසා ඇති ආකාරයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය අධ්‍යාත්මික බලයෙන් ලෙඩුන් සුව කළ බව අසා ඇත්තෙමු. ගොළුවන් කතා කරන්නටත්, අන්ධ මිනිසුන්ට පෙනුම දෙන්නටත් ජේසුස් ක්‍රියා කළ බව එක් එක් සිද්ධින්වලදී සමහරු කියති. අපට එය සත්‍ය හෝ අසත්‍ය යැයි කීමට අයිතියක් නැත. එය තමන්ගේ බුද්ධිය මත සිදුකරන තර්කානුකූල සිතුවිල්ලක් විනා "නෑ ඕක බොරුවක්" යැයි කියා බලෙන් මනස වෙනස් කිරීමට කෙනකුට අයිතියක් නැත. එහෙත් අපට එක් අයිතියක් ඇත. එනම් ඒ හරි පාර පෙන්වීමය.එකී හරි පාර පෙන්වීමේ කතාව මෙසේ දිගහරිමු.
දීගොඩ කුමාර යනු මෙරට නම ගිය සිත්තරෙකි. ඔහු ඇඳි චිත්‍ර, චිත්‍ර කතා පරම්පරා දෙක තුනක අය දැක ඇත. එසේම ඔහුට අයත් ප්‍රකාශන සමාගමක් ද මෙරට නම් ගිය තැනක තිබිණි. එහි ළමා පොත්පත්, ළමා රූප කොළ ලක්ෂ ගණන් මුද්‍රණය විය. එකී දීගොඩ කුමාර කාලයක් සමඟ කරළියට එන්නේ සිත්තරකුගේ භූමිකාව පසෙක දමා වෙනත්ම චරිතයක් සමාජයට පෙන්වමිනි. ඒ අධ්‍යාත්මයෙන් ලෙඩ සුව කිරීමේ ක්‍රමවේදයක් රැගෙනය. ඔහු සිය හිතවතුන්ට කියා ඇති පරිදි සිය සහෝදරයා සහ ඔහු දීර්ඝ කාලයක් සිදුකළ භාවනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අධ්‍යාත්මික ශක්තිය ලැබී ඇත. ඒ අනුව දීගොඩ කුමාර එතැන් පටන් අධ්‍යාත්මයෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහන් සිදුකරමින් රට වටේ යන්නට පටන් ගත්තේය.
ඔහු ආරම්භයේදී සිය වැඩසටහන් දින හතක් පුරා සිදුකරන්නට විය. මෙය සම්පූර්ණයෙන් බෞද්ධ ක්‍රමවේදයට යන අතර බෞද්ධ ගාථා, පිරිත් වැනි අංග ලෙඩුන්ට අසන්නට, කියන්නට මේ වැඩසටහනේදී දකින්නට ඇත. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු ලෙඩුන් සමීපයට පැමිණ නළලට ඇඟට අත තබා ස්පර්ෂ කොට ලෙඩුන් සුව කරන බව කියති. එයින් ලෙඩුන් සුව කරනවාද, සුව වෙනවාද නැද්ද යන්න අප දන්නේ නැත. එහෙත් ඔහුගේ වීඩියෝවල දකින්නට ඇත්තේ නොණ්ඩි ගසන අය උඩ පැන දඟලමින් දුවන ආකාරයකි.
කෙසේ වෙතත් මේ ස්පර්ශය හරහා ලෙඩ සුව කිරීම ගැන ඉතිහාසයේ පුදුම කතා ඇත. 1633දී හෝලිරූඩ් හී රාජකීය පල්ලියේ පළමුවැනි චාල්ස් රජු එකවර ලෙඩුන් දසදෙනෙකු සුව කළ බව සදහන් වේ. එම රෝගය හඳුන්වා ඇත්තේ "රජුන්ගේ රෝගය" හෙවත් "ස්ක්‍රෝෆියා රෝගය" ලෙසය. කෙසේ වෙතත් ඔහුගේ පුතු දෙවැනි චාල්ස් රජු සමයේදී මේ තත්ත්වය උත්සන්න වී ඔහු ලක්ෂයකට ආසන්න ලෙඩ්ඩු සංඛ්‍යාවක් ස්පර්ෂයෙන් සුවකළ බව කියති. කෙසේ වෙතත් ඔහු සමීපයට යන්නට ගිය ලෙඩ්ඩු තදබදය නිසා මියගොස් සිටි අවස්ථා ද තිබී ඇත. කෙසේ වෙතත් තුන්වැනි විලියම් රජු මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු මෙය විකාරයක් ලෙස හඳුන්වා ඇත. අවසානයේ ඔහු එසේ ඔහු සමීපයට එන අවස්ථාවලදී මිනිසුන්ට මුදල් ලබාදී පිටකර ඇත. එහෙත් එකම එක අවස්ථාවක එක ලෙඩකු ඔහුව ස්පර්ශ කිරීමට පැමිණි අවස්ථාවේ ඔහු එම ලෙඩාව ස්පර්ෂ කර පවසා ඇත්තේ "දෙවියන් වහන්සේ ඔබට වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ වඩා වැඩි සිහි බුද්ධියක් ලබා දෙන සේක්වා!" යනුවෙනි.
තුන්වැනි විලියම් රජුගේ එම කතාව තුළ ඇති යථාර්ථය පැහැදිලිය. එහෙත් එය ජනතාව පිළිගන්නේ නැත. ඒ නිසා ඒ ගැන තර්ක කිරීම පලක් නැත.
කෙසේ වෙතත් දීගොඩ කුමාර ද රට පුරා පමණක් නොව ලෝකය පුරාද ප්‍රසිද්ධියට පත්විය. මේ නිසා ඔහුවෙත ජනතාව සීඝ්‍රයෙන් ඇදී එන්නට වූහ. ඒ ඔහුගෙන් සුවය ලබා ගැනීමේ අරමුණු ඇතිවය. එය එක් පැත්තකින් ජීවිතය ගැන අපේක්ෂාවන් තබා ගන්නා මිනිසුන් තමන්ගේ එකම ගැලවුම්කරු දීගොඩ කුමාර බවට පත්කර ගැනීමේ ප්‍රතිඵලයකි.
ඇදී එන සෙනඟ ප්‍රමාණය අධික වීම නිසා අවසනයේ දීගොඩ කුමාර විශාල ක්‍රීඩාංගණ තුළ කඳවුරු බැඳ මෙම වැඩසටහන සිදුකරන්නට විය. මෙහිදී ඔහු ගැන සහතික දෙන්නෝ ද වූහ. ඒ අතර එක් අයකු වන්නේ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව නැමැති පුද්ගලයාය. ඔහු මහා සෙනඟ මැද පවසන්නේ දීගොඩ කුමාර රටට සම්පතක් බවය. ඔහුට ලෙඩ සුව කිරීමේ හැකියාවක් ඇති බවය. එසේ වෛද්‍යවරයකුත් සහතික ලබා දෙන්නේ නම් කුමන කතාදැයි අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් නොවන්නේද?
මෙලෙස දවස් ගණන් ඇදී ගිය දිගොඩ කුමාරගේ ලෙඩ සුව කිරීමේ වැඩසටහන පසුව දවස් දෙකකට සීමා විය. එන හැම දෙනාටම කන්න බොන්න නොමිලේ ලබාදුන් අතර ඔහු ලෙඩුන්ගෙන් මුදල් ලබාගත්තේ ද නැත. ඒ නිසා රෝහල් ගාණේ ගොස් සුව කරගත නොහැකිව අත් හල ලෙඩුන් දහස් ගණන් දීගොඩ කුමාර යන යන තැන එන්නට වූහ.
දීගොඩ කුමාර ලංකාවේ සායි බාබා ලෙස ඇතැම් අය හැඳින්වූහ. කෙසේ වෙතත් දීගොඩ කුමාර සිය දේශනවලදී පවසන්නේ තමන් සායි බාබා සමීපයේ ද කටයුතු කළ බවය. කෙසේ වෙතත් දහස් ගණනකට එකවර දේශන දෙමින් සියල්ලන්ගේ හිත්වල කඩා වැටීම් සම්බන්ධයෙන් ධනාත්මක කතා කියමින් ඔහු මෙම ලෙඩ සුව කිරිම සිදුකරගෙන යයි.
මෙකී දීගොඩ කුමාර ගැන සමාජය තුළ මාතෘකාවක් බවට පත්වන්නේ පසුගියදා ඔහුගේ ලෙඩ සුව කිරීමේ වැඩසටහනකදී සිදුවූ සිද්ධින් කිහිපයක් හරහාය. ඔහු විසින් අනුරාධපුර හොරව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී පසුගිය (07) වැනිදා මෙවැනිම ලෙඩුන් සුව කිරීමේ වැඩසටහනක් සිදුකරගෙන ගියේය.
ඒ වැඩටහන සංවිධානය කළ සංවිධායක මණ්ඩලය විසින් කල්තියාම අසාධ්‍ය ලෙඩුන් එම ස්ථානයට කැඳවා ගෙන නොඑන්නැයි දන්වා තිබුණේය. කෙසේ වෙතත් අවසානයේ එම වැඩසටහන ආරම්භයට පෙර ඊට සහභාගි වූ ලෙඩුන් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කර ඇත. එසේ රෝහල් ගත කළ 39 හැවිරිදි කාන්තාවක් වන දිනූෂා සහ 78 හැවිරිදි විජේතුංග යන අය මියගියහ.
කෙසේ වෙතත් මේ දෙදෙනාගේම ඥාතීන් පවසන්නේ මේ මරණවලට දීගොඩ කුමාර වගකිව යුතු නොමැති බවය. ඔවුන් පවසන්නේ අධික අව් රශ්මිය සහ තදබදය හේතුවෙන් ඔවුන් මිය ගිය බවය. කෙසේ වෙතත් ඊට පසු දින තවත් අයෙක් මිය ගියේය. ඒ අනුව මිය ගිය ගණන තිදෙනෙකි. ඒ සමඟම ප්‍රතිකාර සඳහා 13 දෙනකු රෝහලට ඇතුළත් කර සිටි අතර ඔවුන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇත.කෙසේ වෙතත් මාධ්‍ය මගින් මේ සිද්ධිය ගැන විවිධ අදහස් දක්වා තිබිණි. එහෙත් මේ වැඩසටහන සිදුකරන දීගොඩ කුමාර එම අවස්ථාවේදීම මිය ගිය අයගේ ඥාතීන්ට දුරකථන ඇමතුමක් ගෙන එම මරණ සාමාන්‍ය මරණ බවට තහවුරු කර මිනිසුන් ඉදිරියේ පෙන්වා ඇති බව කියයි. කෙසේ වෙතත් එදිනද පොලිස් ආරක්ෂාව මැද එම වැඩසටහන සිදුකරගෙන ගොස් ඇත. එසේ නම් ඥාතීන් මරණවල වගකීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර ගලවනවා නම් අපට දීගොඩ කුමාර වරදකරුවකු කිරීමට අවශ්‍ය නැත. මඩ ගැසීමට අවශ්‍ය නැත. ඔහු කරන දේ ඔහු එලෙසම කරගෙන ගියාට අපට කම් නැත. අපට දෙයක් කියන්නට ඇත්තේ මිනිසුන්ටය. ඒ සඳහා මේ කතව මෙසේ පටන් ගනිමු.
1978 වසරේ නොවැම්බර් 18 දින ගයානාවේ ජෝන්ස් ටවුන් මිටියාවතේ මළ සිරුරු 914 ක් තිබුණේය. ඒ අතර 638 වැඩිහිටියන්ගේය. 276 කුඩා දරුවන්ය. මේ සියල්ලම සයිනයිඩ් පානය කර මියගොස් තිබුණි. ඒ සිසිල් බීමවලට කලවම්කරය. බදු වංචාවක් නිසා කැලිෆෝනියාවෙන් පිටමං කර තිබූ ජිම් ජෝන්ස් නැමැති දේවගැතිවරයකු වී ගයානාවේදී පීපල් ටෙම්පල් නැමැති දේවස්ථානය පිහිටුවා ගෙන තිබේ. එම දේවස්ථානයට ඕනෑම අයකුට එන්න යන්න හැකියාව තිබී ඇත. එහෙත් ඔහු ඒ හරහා ආගමික අන්තවාදයත් මිත්‍යාවත් වැපිරවීය. පසුව මේ ගැන බලධාරීන් දැනුවත් කළත් ගණන් ගත්තේ නැත. අවසානයේ ඔහු ආගමික විමුක්තිය ලබා ගැනීම සඳහා තම අනුගාමිකයන් මෙහෙයවා 914 දෙනකු ස්වකැමැත්තෙන් සියදිවි හානිකරගන්නට සැලසුවේය. එසේම ඔහුද හිසට වෙඩි තබාගෙන එම ස්ථානයේ මියගොස් සිටියේය.
මේ කතාව කීවේ ආගමික මිත්‍යාව නිසා සිදුවිය හැකි මහා විපත් පෙන්වා දීමටය. මෙවැනි උදාහරණ අනන්ත අප්‍රමාණ ඇත. එහෙත් මෙවැනි මිත්‍යාවන් නතර වන්නේ නැත. මෙවැනි මිත්‍යවන් වපුරන්නන් ලෝකයේ බිහිවන එක නතර වන්නේද නැත.
ඇතැම් අය පවසන්නේ මේ අපේ රටේ මිනිසුන්ගේ හැටියක් බවය. නැත. මෙය ලෝකය පුරාම ඇත. වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි රටවල් තුළ පවා යාඥා කිරීමෙන්, හෝලි වතුර පෙවීමෙන් ලෙඩ සුවකර ගැනීමට මිනිස්සු පෙළ ගැසෙති. ප්‍රාර්ථනා ගස්වල රෙදි ගැට ගසා ප්‍රාර්ථනා කරන සුද්දන් ඇත. ඒ නිසා මෙය අපේ රටට විශේෂ වූ කාරණාවක් නොව ලෝකයේ ප්‍රශ්න ඇති හැමදෙනාටම ඇති තවත් එක් ක්‍රමයකි.
ලෙඩ සුව කර ගැනීමට කතරගම දේවාලය වටා බිම පෙරලි පෙරලී යන මිනිසුන් අපි දැක ඇත්තෙමු. දිවේ කපුරු දල්වන, ශරීරයේ කටු ගසන, ගිනි අඟුරු පාගන අය දකිමු. ඒ තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාය.
හිතන්න ඔබට සුවකළ නොහැකි රෝගයක් ඇති බවට වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කර ඇත්නම්, මරණය නියත නම්, කවුරුන් හෝ අයකු අධ්‍යාත්මයෙන් ලෙඩ සුව කරන බවට පවසනවා නම් ඔබේ බිරිඳ, ස්වාමියා, දරැවන් හෝ ඥාතීන් ඔබව රැගෙන නොයා ඉන්නේ නැත. " ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් උත්තරය දාර්ශනිකයි" කියන්නේ ඒ නිසාය.
අපට ඕනේ නම් මේවා බොරුය. මේවා අසත්‍ය යැයි ඔබට කිව හැක. එහෙත් ඔබ පිළිගන්නේද? නැත. එසේ ඔබ පිළිනොගන්නේ මේ සියල්ල සත්‍ය බවට සීයට සීයක් තහවුරු වී ඇති නිසාද? එයද නැත. එසේ නම් ඇත්තේ අන්ධ භක්තිය හෝ විශ්වාසය පමණි.
අපට අසන්නට ඇත්තේ එක් ප්‍රශ්නයකි. ඔබගේ රෝගය සුව කරන්නට ඇයි ඔබව මෙලෙස රස්තියාදු කරන්නේ කියාය. ඔහුට මහරගම ඇතුළු මේ රටෙ තිබෙන සියලු රෝහල් වෙත දවස ගානේ ගොස් මේ කියන විශ්ව ශක්තියෙන් කීදෙනකුගේ ජීවිත බේරා ගන්නට හැකියාව ඇතිද? අඩුම තරමේ පුංචි දරුවන්ගෙවත් ජීවිත රැකදෙන්න කියා අවසාන වශයෙන් අප දීගොඩ කුමාරගේ මහතාගෙන් ඉල්ලා සිටිමු. මේ සම්බන්ධයෙන් විමසීමට දීගොඩ මහතාගේ දුරකථනයට කිහිප වතාවක් උත්සහ කළත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ නිසා එතුමාට දුරකථනයෙන් කිව නොහැකි වූ දෙය, ඉල්ලීමක් ලෙස අප මෙලෙස ලියා තබන්නෙමු.
"එන්න ඔබ අඩුම තරම් මහරගම පිළිකා රෝහලටවත්."
ගයාන් ගාල්ලගේ