2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

කොත්තු සින්දුවලින් ළමා මනස පිරිහෙනවා

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 309

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර ගී රස වින්දනයට සේම ගීත රචනයට ද ඇල්මත් දක්වන සාහිත්‍ය කලා රසිකයෙකි. ඔහු දේශය හදසර අතිරේකයට ලියූ ගීතයකින් ජීවිතය කියවමු. ලිපි එකතුව පසුගියදා සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. ලේඛකයකු, ගීත රචකයකු සහ විචාරකයකු වන වෛද්‍ය අසේල එම කෘතිය සහ වත්මන් ගීත සාහිත්‍යය ගැන දැක්වූ අදහස් බිඳකි.

ඔබ ගීතයකින් ජීවිතය කියවීමට හුරු වුණේ කෙසේද?

වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කාලේ අපිට පොත්පත්, පර්යේෂණ සමඟ තමයි වැඩිපුර කාලය ගතකරන්න ලැබුණේ. ජීවිතය ඒවාට හිරවීම නිසා මානසික නිදහසක් ලබාගැනීමට ගී අහන්න අපි පුරුදු වී සිටියා. චිත්‍රපට, නාට්‍ය බැලුවා, කලාවෙන් එලෙස ජීවිතය නිදහස් කරගත්තා. විද්‍යාව ඉගෙන ගන්න අය විදිහට අපි හැමදෙයක් ගැනම පර් යේෂණාත්මකව බැලුවා. ඒ නිසා රසවිඳින ගීතයක් ඇතුළට රිංගා එය ලෙහා ගැනීමට මට උනන්දුවක් ඇති වුණා. එවිට ගීතයේ මතුපිට දකින දෙයට වඩා ගැඹුරක් අවබෝධ වුණා.  පේරාදෙණිය සරසවිය වගේම එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සරසවි වලිනුත් මම උපාධි ලබාගත්තා. ඒත් කවදාවත් කොහේ හිටියත් කලාව හා සාහිත්‍ය එක්ක තියෙන බැඳීම දුරස් වුණේ නෑ.

අද වෛද්‍යවරු කිහිපදෙනෙක්ම ගී රසවින්දන ක්ෂේත්‍රයට එළඹ සිටිනවා. කාර්යබහුල ජීවිතයෙන් මිදී එවැනි සෞන්දර්යාත්මක මඟකට වෛද්‍යවරු පිවිසීමට හේතුව ඔබට ලැබුණු අත්දැකීමට සමානද?

තම වෘත්තීය ජීවිතයේ ලැබෙන මානසික විඩාව මඟහරවාගෙන තමන් විඳින තෘප්තිය අනෙක් අයටත් ලබාදීම. තමයි එහි අරමුණ. මමත් විවිධ කණ්ඩායම්වල ඉල්ලීම් අනුව ගී රසවින්දන වැඩසටහන් පවත්වා තිබෙනවා.

සමහර මිනිස්සුන්ට ලොකු වෘත්තීන්වල හිටියට කලාව තේරෙන්නේ නෑ. මම කියන්නේ ඔවුන් ලුණු නැතුව බත් කනවා වගේ ජීවිතයක් ගතකරන්නේ. බත් කාලා බඩ පිරුණාට කිසි රසයක් නැහැ. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, වෙනත් වෘත්තීන්වල නියැලෙන විශාල පිරිසක් ඒ හුඟක් අය කිසිම කලාරසයක් වින්දනයක් නැති ජීවිතය විඳවන පිරිසක්. මට අවශ්‍ය ඔවුන්ට ජීවිතය විඳින හැටි කියාදීමටයි. එලෙස කියාදෙන ගමන් මමත් රසයක් විඳිනවා. අදහස් හුවමාරු කරගන්නවා.

ඔබේ රසවින්දනය මුද්‍රිත මාධ්‍යයට එක්කර පළ කළ ගීතයකින් ජීවිතය කියවමු පොතට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?

ඉතා ඉහළින් පාඨක ප්‍රතිචාර ලැබෙන බව සතුටින් කිව හැකියි. මෙහි ඇතුළත් සමහර රසවිඳීම් මගේ ජීවිතයේ කොටස් සමඟ සම්බන්ධයි. අපි කැමති ගීත අපට තිබෙනවා. ඒවා ඇතුළේ තිබෙන අර්ථයේ අපට ඥාති සම්බන්ධයක් තිබෙනවා. ඒකනේ ඒ ගීත අපිව ජීවත් කරවන්නේ. එවැනි අත්දැකීම් රාශියක් මෙම කෘතියට ඇතුළත්. ගීත 54ක රසවිඳීම් මෙහි තිබෙනවා. නන්දාමාලිනි, අබේවර්ධන බාලසූරිය, ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, මාලනී බුලත්සිංහල, එඩ්වඩ් ජයකොඩි, කරැණාරත්න දිවුල්ගනේ ඇතුළු ප්‍රවීණ ගායකයින් රුසක් වගේම නව පරපුරේ චාමර වීරසිංහ, කසුන් කල්හාර, ශසිකා නිසංසලා වැනි ගායකයන් රාශියකගේ ගී රසවින්දන මෙහි තිබෙනවා. ඒවා කියවූ පාඨකයන් බොහෝ දෙනෙක් අපූරු රසයක් වින්ද බව මට පැවසුවා.

ඔබේ කෘතියේ ඇතුළත් සියලුම ගීත සුභාවිත ගීත. ඒවා අද අපට විද්‍යුත් නාළිකාවලින් අහන්න ලැබෙන්නේ කලාතුරකින් නේද?

ඔව්.. ඒකට ප්‍රධානම හේතුව තමයි චැනල්වල වැඩකරන නිලධාරින්ට රසයක් නැති වීම. ඔවුන්ට රසයක් විඳගත නොහැකිනම් අපි චැනල්වලට බැණලා වැඩක් නැහැ. නිවෙස්වල ගීත, සාහිත්‍යය රසවිඳිනවා නම් දරුවන්ටත් ඒවා ඇහෙනවා. එවිට ඔවුනුත් කලා රසාස්වාදයට හුරුවෙනවා. දෙමාපියෝ ගනුදෙනු කරන කලා නිර්මාණ ගැන තමයි දරුවෝ මුලින්ම කතා කරන්නේ. කලා නිර්මාණ නොදන්නා දරුවෝ වැඩිහිටියන් වී මාධ්‍ය ආයතනවල සේවයට ගියවිට ඔවුන් අසන්නන්ට, ප්‍රේක්ෂකයන්ට ඒවා රසවිඳීමට සලස්වන්නේ කෙසේද? අනෙක මේ වේගවත් සමාජ රටාව තුළත් කලා රසවින්දනයට ඉඩ සැලසෙන්නේ කලාතුරකින්.

අද නව පරපුරේ ගීත බහුතරයක ඇහෙන්නේ කනට අමිහිරි විලාප. ඔබ නව පරපුරේ ගීත අහන්නේ නැද්ද?

මම අහනවා. රසවිඳිය හැකි ගීත රස විඳනවා. කලා නිර්මාණ කොටස් දෙකකට නම් කළ හැකියි. උසස් ගණයේ සහ අවර ගණයේ නිර්මාණ වශයෙන්. උසස් ගණයේ ගී වලින් ආනන්දයක් ලැබිලා ඒ ආනන්දය ඔස්සේ අපි ප්‍රඥාවකට යනවා. අවර ගණයේ ගීත ඇඟට, කකුල්වලට අතපයට තමයි රිද්මයක් දෙන්නේ. ඒ ගීත රසය හරි ක්ෂණිකයි. සමහර වෙලාවට කොත්තු සින්දුවක් ළමයෙක් රසවිඳිනවා. නමුත් ඉන් ප්‍රඥාව දල්වන්නේ නැහැ. රසඥතාවය හුරුපුරුදු විය යුතුයි. නිකම්ම බිහිවන්නේ නැහැ. අප කළයුත්තේ රසඥතාව කියන කවුළුව විවර කරදීමයි.

දශක කිහිපයකට පෙර එච්.ආර්. ජෝතිපාලගේ ගීත අවර ගණයේ ගීත ලෙස විචාරකයන් දොස් කිව්වා. නමුත් අද බිහිවන ගීත දෙස බලන විට ඒවායේ වටිනාකමක් තිබෙනවා නේද?

ඔව්. ජෝතිපාලගේ ගීත අපි කවුරැත් රසවිඳිනවා. ඒවායේ සරල වචන භාවිත කළත් හදවත්වලට දැනෙන ලෙස කරනා ඔහුගේ ගායන විලාසය අප සිත් පැහැර ගන්නවා. ඒ ගීත හැඟීම්බරයි. අපට සමහර දේවල් වචනවලින් කියන්න බැහැ. ජෝතිගේ සමහර සින්දු අහන විට අප නොදැනුවත්වම ඒ ගීතය දෙසට ඇදීයනවා. ඔහුගේ කටහඬ එතරම්ම මධුරයි. ඒ ගීත වටිනා නිර්මාණ තමයි.  

ඔබ ගීත රචනයටත් එළැඹ සිටිනවා. ඒ ගැන අපිට පැවසුවහොත්?

මම ගීත රචකයෙක් වගේම හොඳ රසිකයෙක්. මම ගීත සමඟ ගනුදෙනු කරන විට ඒ වචන සමඟ ලොකු බැඳීමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මා අතින් ගීත ලියැවුණේ. ඉසුරැමුණි පෙම් යුවල දුටුවිට ඔවුන් දෙදෙනා කතා කළොත් කුමක් පවසයිද වගේ වෙනස් තේමා මා සිතට පිවිසියා. ඒ අයුරින් මම ගීත රචනයට එළැඹුණා. කසුන් කල්හාර, භූමින්ද කරැණාතිලක, සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටිය වගේ නව පරපුරේ ගායක ගායිකාවන් මා ලියූ ගී ගයා තිබෙනවා.

අද හොඳ ගී බිහිවී ඒවා ගායනා කළත් එම නිර්මාණ ප්‍රචාරය කිරීමට මාධ්‍යයක් නෑ නේද?

ඒක ඇත්ත. ඇතැම් මාධ්‍ය ප්‍රධානින්ට හා වැඩසටහන් නිෂ්පාදකයන්ට හොඳ රසඥතාවයක් නැතිකම නිසා විශිෂ්ට නිර්මාණ මාධ්‍ය ඔස්සේ එළියට එන්නෙ නෑ. හුඟාක් තැන්වලදී අද මාධ්‍ය පෙරහන්කඩක් වගේ. සාරය පෙරල පෙරලා රොඩ්ඩ විතරයි ග්‍රාහක, පාඨක, ප්‍රේකෂක සමාජයට දෙන්නේ. මෙය පශ්චාත් නූතනවාදී කලාවේ සහ මාධ්‍යයේ ලක්ෂණයක්. අවබෝධය තිබුණත් මේ විවෘත ආර්ථික රටාව නිසා හුඟක් මිනිස්සු ඉලක්ක තබාගෙන අධික වේගයෙන් දුවනවා. ඔවුන් හොයන්නේ මොහොතක රසයක්. මා හිතන්නේ අපි සියුම් මනසකින් කලාව රසවිඳීමට හුරැ වුණොත් ලෝකය මීට වඩා ගොඩාක් ලස්සන වේවී කියලයි.

 කුසුම්සිරි 

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00