2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

කිව්ව දේ නොතේරුණත් අපි වැවට පැන්නා

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

යුද හමුදා පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ටී.ජී.ජේ.පී. ආරියරත්න සහ ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස්. අමරසිරි යන සෙබළුන් දෙන්නා අතිජාත මිතුරෝ වෙති. එය යුද හමුදාවට බැඳුණු පසු ඇතිවූ මිතුදමක් නොව උපන් ගමේ අකුරු කළ පාසලේ එකම පංතියක පුංචි සන්දියේ පටන් ඇතිවූ බැඳීමකි. පාසල් අධ්‍යාපනය හමාර කළ මිතුරන් දෙන්නා ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී පස්වැනි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රාජකාරියේ නිරතව තිබුණේ කිලිනොච්චිය පුනරින් අරසපුරකුලම් ප්‍රදේශයේ කඳවුර තුළය.

පසුගිය 7 වැනි සෙනසුරාදා දහවල් වනවිට කඳවුරැ භූමියේ සැහැල්ලු රාජකාරිවල නිරතව සිටි මිතුරන් වූ හමුදා සෙබළුන් දෙන්නාට කඳවුර මායිමේ පිහිටි වැව් තාවුල්ල දෙසින් පිරිමි පුද්ගලයෙක් හා දරුවෙක් කෑගසන ශබ්දයක් ඇසිණි. කෑමොර ගසන හඬ දෙසට දිව ගිය මිතුරු සෙබළුන් දෙදෙනාට දකින්නට ලැබී ඇත්තේ වැව් දිය කෙළවරක සිට පිය පුතු දෙපළක් කෑගසන බවකි. සාමී.... සාමී.... යනුවෙන්ද තවත් යමක් දමිළ බසින්ද කියා හඬමින් සිටි පිය පුතු දෙපළ දුටු සැණින් යම් නිගමනයකට ආ සෙබළු දෙන්නා ඔවුන් හා පැමිණි කෙනෙක් දියේ ගිලී ඇතැයි අනුමාන කළහ.

දෙවතාවක් නොසිතාම වැව් දියට පැනගත් සෙබළු අඩි 15ක් පමණ වතුරේ කිමිදෙද්දී දියේ ගිලෙමින් සිටි කාන්තාවක සොයාගෙන ගොඩට ගෙන ඒමට සමත් වූහ. තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය ගොඩට ගෙන එන විටත් කඳවුරේ සෙබළු රාශියක් එතැනට පැමිණ සිටියෝය. ඒ සමග කෑ ගසමින් උන් දමිළ පුද්ගලයා යළිත් වැව් දියට අත දිගු කරමින් මගන්... මගන්... යැයි කෑ ගසා තිබුණි. එය දුටු සෙබළු දෙන්නා යළිත් වරක් වැවට පැන කිමිදී ටික වේලාවකින් පිරිමි දරැවකු රුගෙන ගොඩට පැමිණියහ. ඔහුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙද්දී ඔවුන්ගේ පියා යළිත් අත දිගු කරමින් විලාප නැගුවේය. ඒ අනුව යළිත් වරක් වතුරේ කිමිදුණු සෙබළුන් දෙන්නා තවත් පිරිමි දරුවෙක් රැගෙන ගොඩට පීනූහ.

සිහියක් පතක් නැති මවත් දරු දෙදෙනාටත් අවශ්‍ය කඩිනම් ප්‍රථමාධාර ලබාදී කඳවුරේ වෛද්‍ය සහායක නිලධාරියාගේ හා සෙසු නිලධාරීන් පිරිසගේ උදව්වෙන් රෝගීන් තිදෙනාම රෝහල් ගත කිරීමට හමුදාවේ රථයක් මගින් රැගෙන ගොස් තිබුණි. ඒ අතරතුර නිලධාරියකු සුවසැරිය ගිලන් රථ සේවයේ 1990 අංකය අමතා ගිලන් රථයක් ගෙන්වා තිබුණි. අතරමගදී එම ගිලන් රථයට රෝගීන් මාරු කිරීමට ක්‍රියාකළ නිලධාරීහු ඔවුන් පුනරින් රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළහ.
අරසපුරකුලම් වැවේ දියනෑමට ගොස් රොන්මඩ සහිත වළක එරී ජීවිතයත් මරණයත් අතර සිටි මවක හා ඇගේ දරු දෙදෙනා මුදාගැනීමට දායක වූ (100258) ලාන්ස් කෝප්‍රල් ටී.ජී.ජේ.පී. ආරියරත්න මෙසේ පැවසීය.

“අරසපුරම් කඳවුර මායිමේ වැවක් තියෙනවා. මමත් මගේ මිතුරු ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස්. අමරසිරිත් එදා සැහැල්ලු රාජකාරියේ නිරතව කෙළවරක වූ මුරකුටියක් දෙසට ගමන් කරමින් හිටියා. ඒ පැත්තෙ පිරිමි කෙනෙක් හා ළමයෙක් කෑගහනවා ඇහුණේ ඒ වෙලාවෙයි. ඒ බව කඳවුරේ හිටපු අයටත් කියාගෙන අපි දෙන්නා ඒ පැත්තට දිව්වා. දුවද්දි තාත්තයි පුතයි දෙන්නා දෙමළෙන් මොනවදෝ කිය කියා කෑමොර දෙනවා. අපිට තේරුණා කවුරු හරි දියේ ගිලිලා කියලා. රට රකින ජාතිය විදිහට හමුදාවේ අපට දෙපාරක් හිතන්න දෙයක් නෑ. මනුස්සයෙක් බේරාගන්න අපේ ජීවිතය අවදානමට දාන්න බැරිකමක් නෑ. මමත් මිතුරත් සැණෙකින් දියට පැනලා කිමිදුණා. මුලින්ම කාන්තාව ගොඩ ගත්තා. පස්සේ අවස්ථා දෙකකදී දරුවෝ දෙන්නත් ගොඩට අරගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළා. ඒ සඳහා අපි දෙන්නා වගේම කඳවුරේ සියලුම දෙනා උනන්දුවෙන් වෙහෙසුණා. කොහොම හරි ජීවිත තුනක් බේරාගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා” යැයි ඔහු පැවසීය.

(100232) ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස්. අමරසිරි අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“නොහිතුව වෙලාවක ජීවිත තුනක් බේරාගැනීමට දායක වීම ගැන අපි සතුටු වෙනවා. දෙමළ ජාතික තාත්තයි පුතයි කෑගැහුවට ඒ වචන අපිට පැහැදිලි නෑ. ඒ අයගේ හැසිරීම නිසයි අපි ක්‍රියාත්මක වුණේ. අඩි 15,20ක් විතර යටට කිමිදිලා අවස්ථා තුනකදී ඒ අය බේරාගත්තේ. මුලින්ම ගෑනු කෙනා හමුවුණා. පස්සේ දරුවො දෙන්නා සොයාගත්තා. ඒ අයගේ ඉනට සහ පපුවට වගේ මඩේ එරිලයි හිටියේ. මඩවතුර නිසා හරියට පෙනුණේ නෑ. ඇත්තටම මේ වැව දිය නාන්න භාවිතා කරන එකක් නෙවේ. වැසි වතුර පිරෙන ගොවිතැනට පමණක් භාවිතා කරන වැවක්. කඳවුරේ කෙනෙක්වත් එතැනට යන්නේ නෑ. අවදානමක් තියෙනවා. අනතුරට පත්වුණු පිරිස අවට අය නොවේ. ඒ අය කිට්ටුව තිබුණු කෝවිලකට ඇවිත් තියෙනවා බාරයක් ඔප්පු කිරීමට. එවැනි කරුණක් සැලවුණා. පස්සේ දරුවන්ගේ ඉල්ලීමට තමයි වැවට ඇවිත් තියෙන්නේ. නොදන්නාකමට වැවට බැහැලා ගැඹුරු වළක එරිලයි අනතුර සිදුවෙලා තිබුණේ. ඒ අයගේ වාසනාවට අපිට සද්දේ ඇහුණු නිසා ගිහින් බේරාගත්තා. ඒක අපි කරපු ලොකු පිංකමක් කියලා හිතෙනවා. එය සතුටක්...”

සෙබළුන්ගේ මැදිහත්වීමෙන් දිවි බේරාදී තිබුණේ ඇලෝසියස් ජයන්ති මාලා (44) ඇලෝසියස් අම්බරසා (14) හා ඇලෝසියස් අනුස්තන් (12) යන තිදෙනාය.
ආරියරත්න හා අමරසිරි යන දෙදෙනා හසලක, අඹගහපැලැස්ස ගමේ පදිංචිකරුවන් වෙති. ඔවුන් දෙන්නා මප/තෙල්/ මිණිපේ කණිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර ආරියරත්න උසස් පෙළ අධ්‍යාපනය හදාරා ඇත්තේ හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසලෙනි. රට රකින ජාතිය ශ්‍රී ලංකා යුද හමුදාවට ආරියරත්න හා අමරසිරි වැනි විරැවන් අභිමානයකි.

► සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - කිලිනොච්චිය යුද හමුදා මාධ්‍ය ඒකකය
ස්තූතිය - කිලිනොච්චිය ආරක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාට සහ කිලිනොච්චිය යුද හමුදා මාධ්‍ය ඒකකය භාර නිලධාරි (අණදෙන) මේජර් සුරේෂ් ප්‍රේමසිරි මහතාට