දොම්පේ සිට මල්වාන දක්වා ගමන් කරන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත පහුරුවෙල මැදින් දිව යන මාර්ගයයි. මේ මාර්ගය එක් පසෙකින් පහුරු ඔය නිම්නයෙන් ද, අනෙක් පසින් අත්හැර දැමූ කුඹුරු, ලඳු කැලෑ ආදියෙන් ද යුක්තය. කිලෝමීටර් දෙකක් පමණ යන තෙක් මාර්ගය අවට මිනිස් වාසයක් නැත. පසුගිය 4දා උදෑසන ප්‍රදේශවාසියකුට දැකගත හැකි වූයේ පහුරුවෙල නාගස් හන්දිය අසල මාර්ගය අද්දර දමා ගොස් තිබූ කහ පාර පොලිතීන්වලින් ඔතන ලද අපද්‍රව්‍ය තොගයකි.
කිසිවකු විසින් එම කසළ ගොඩට ගිනි තැබීමට උත්සාහ කරනු දැක ඒ පිළිබඳව විමසීමට යාමේදී අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් තිබේ. ඊටපසු සැකයක් හටගත් නිසා දොම්පේ පොලීසියට දැනුම් දී තිබේ. පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඒවා නිදහස් පරිසරයට මුදාහැරීම හානිකර රෝහල් සායනික අපද්‍රව්‍ය තොගයක් බව හෙළිවී ඇත. ඒ පිළිබඳව කළ විමර්ශනයේ දී අනාවරණය වූයේ ඒවා කොළඹ මාලිගාවත්ත වකුගඩු ඒකකයෙන් ඉවත් කළ කසළ තොගයක් බවයි. කෑගල්ල ප්‍රදේශයට බාරදීම සඳහා ටිපර් රථයක පටවා කොන්ත්‍රාත්කරුවකු විසින් රැගෙන යන අතරතුර මෙලෙස නීති විරෝධී අන්දමින් මහමඟ පාළු ප්‍රදේශයක දමා ගොස් තිබේ.
2018 ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය එලෙස ඉවත් කිරීම නීති විරෝධී කටයුත්තකි. ඒවා පිරියම් කොට සුදුසු ස්ථානවලට පමණක් බැහැර කළ යුතුය.
ලේ තැවරුණු ගෝස් කැබලි, පරිහරණය කළ ප්ලාස්ටර්, සේලයින් කටු සහ බෝතල්, සායනික පිහිතල ආදී අපද්‍රව්‍ය රාශියක් එහි තිබුණි. මාර්ගයේ හෝටලයක සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු පලාගිය ටිපර් රථය හඳුනාගෙන ටිපර් රථය සහ සැකකරැවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට දොම්පේ පොලීසිය සමත් විය. අදාළ සැකකරුවන් එම ස්ථානයට ගෙනවිත් ඔවුන් ලවාම අපද්‍රව්‍ය තොගය ටිපර් රථයට පටවා ඉවත් කළ බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනා පිය-පුතු දෙපළකි. ඔවුන් අත්අඩංගුවට ගත් අතර පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
දොම්පේ පහුරුවෙල තෙත්බිම මෑත දශක දෙක තුනක සිටම මෙලෙස කසළ ඉවත් කිරීමට යොදාගැනීම් ගැන අසන්නට ලැබේ. දශක එකහමාරකට පමණ පෙර බියගම වෙළෙඳ කලාපයේ සහ අවට කම්හල්වල රෙදි කැබලි ඇතුළු අපද්‍රව්‍ය මේ මාර්ගය දෙපසට ඉවත් කිරීම සුලබ දසුනක් විය. ඒවායින් රසායනික ගන්ධයක් ද නිකුත් විය. මෑතක සිට එලෙස කසළ ඉවත් කිරීම නවත්වා ඇත්තේ දොම්පේ ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙනි. මාර්ගය දෙපස සහ තෙත්බිම් ප්‍රදේශයේ පිරිසුදු වාතාවරණයක් පවතින අවස්ථාවකය, ඉහත සායනික අපද්‍රව්‍ය මුදාහැර තිබුණේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතා වැදගත් තෙත්බිම් පද්ධතියක් වශයෙන් පහුරුවෙල වැදගත්ය. දොම්පේ මැතිවරණ කොට්ඨාසයට අයත් එය මල්වාන කළුකොඳයාව වතුරුබොඩ ප්‍රදේශයේ සිට පහළ දොම්පේ තෙක් කිලෝමීටර් 4ක පමණ දිගකින් සහ කිලෝමීටරයක පළලින් පැතිර යයි. මෙයට දළ වශයෙන් හෙක්ටයාර් 400ක පමණ භූමි ප්‍රදේශයක් අයත්ය.
“මිනිසුන්ට පරිසර පද්ධතිවල වැදගත්කම ගැන මනා අවබෝධයක් නෑ. ඔවුන් අපද්‍රව්‍ය කළමනාකරණයකින් තොරව තැනින් තැන දමනවා. පහුරුවෙල නිතර ගංවතුරට යටවන පහත්බිමක්. මිනිස්සු පදිංචිවෙලා ඉන්නේ දෙපස උස්බිම්වල. මේ නිසා පාර දෙපස ගෙවල් නෑ. පාළු වටපිටාවක් තියෙන්නේ. කාර්, වෑන්වලින් ඇවිත් කසළ බැහැර කරන අයට ඒක නිසා ලේසියි. අපේ පන්සලේ පෝරේ විමලරතන පණ්ඩිත හාමුදුරුවෝ ඇළ මාර්ග පිරිසුදු කර මාළුන්ට බෝවීමට සුදුසු වටපිටාවක් ඇති කළා. පරිසරය අලංකාර කළා. මාළු ඇල්ලීම තහනම් කළා. අවසානයේ හාමුදුරුවන්ට මරණ තර්ජන පවා ආවා.” වතුරුබොඩ සදහම් සෙවණේ හොරපිටියේ පඤ්ඤාරතන හිමියෝ අප සමඟ පැවසූහ. සදහම් සෙවණ පහුරුවෙල අද්දර පිහිටි විහාරයකි.
පහුරුවෙල ප්‍රදේශයේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන තෙත්බිමකි. තෙත්බිම පුරාණයේ වෙල්යායක්ව තිබුණ ද ගංවතුර තර්ජනය නිසා කලක පටන්ම අත්හැර දමා තිබේ. දැනට එහි ඉහළ දොම්පේ අවට ප්‍රදේශවල කුඹුරු ස්වල්පයක් වගා කර ඇත. තෙත්බිම මැදින් ගලා බසිනා පහුරැ ඔය මල්වාන පෘතුගීසි බලකොටුව අසලින් කැලණි නදියට එක් වේ.
කැලණි ගඟ පිටාර නිම්නය අධික ජනාවාසකරණයකින් යුක්ත නිසා මෙහි පාරිසරික අගය ඉහළය. ගංවතුර ගලන අවස්ථාවලදී එම ජල කඳ රඳවා තබාගන්නා නිසා ප්‍රදේශයේ ගංවතුර වැළැක්වීමේ බාධකයක් ලෙස ද පහුරුවෙල ක්‍රියා කරයි. අධික වැසි කාලවලදී පහුරු ඔය උතුරු මේ අවට විශාල ජලාශයක් බවට පත්වන අතර දොම්පේ මල්වාන මාර්ගය ද යටවේ. තෙත්බිමේ ප්‍රධාන ජල සැපයුම වන පහුරු ඔය ඇරඹෙන්නේ දොම්පේ හද්දාහල කන්දේ බෑවුම්වලිනි. එයටඩ කළුකොඳයාව ප්‍රදේශයේ සිට එන ජල මාර්ග ද එකතු වේ.
දශක දෙක තුනකට ඉහත දී මේ වටා වූ ඉඩම් රබර් වගා සහ ලඳු කැලෑවලින් පිරී පැවතුණද, දැන් ඒවා එළිකර නිවාස, ව්‍යාපාරික ස්ථාන, හෝටල් ආදිය ඉදිකර තිබේ. වවුල්කැලේ වනරොද, කිඹුල්විල වැව වැනි පාරිසරිකව වැදගත් ස්ථාන ද අවට පිහිටා ඇත.
තෙත්බිම මැදින් ගලා යන මාර්ගය පහුරු ඔය තරණය කරන්නේ පාලමකිනි. පාලම අවට කුඩා ජලාශයක් නිර්මාණය වී තිබේ. ඒ අවට මානෙල්, ඕලු සුලබය. රතු නෙළුම් සහ සුදු නෙළුම් ද ඔය මාර්ගයේ දැකගත හැකිය. පාලම අසල Ludwigia Sedodes නම් ජලජ ශාකය පැතිර තිබේ. මෙය දකුණු අමෙරිකාවෙන් පැමිණි පැළෑටියකි. කෙකටිය, තුන්හිරියා, පන් යන ශාක ද මෙහි සුලබය. මෙහි එක් ප්‍රදේශයක් පන්විල නමින් හඳුන්වන්නේ අධිකව පන් වැවී ඇති බැවිනි. තඹසේරුවා, ලතුවැකියා, විවරතුඩුවා, කණකොකා, කරවැල්කොකා, ගවකොකා, සුදුමැදිකොකා, බ්‍රාහ්මණ උකුස්සා, නිල් කිතලා, කිරලා, ගෝමර කලපු පිළිහුඬුවා, පිටරතු කෑරලා, පුංචි දියකාවා, අළුකොබෙයියා, මල් පිළිහුඬුවා, මහ පිළිහිඬුවා ආදී පක්ෂීන් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. Blue Morman, Glassy Tiger, Lesser Grass Blue, Great Eggfly, White Four Ring, Chocolate Soldier මෙහි දැකගත හැකි සමනළ විශේෂ කිහිපයකි.
පාරිසරිකව වැදගත් මෙවැනි තෙත්බිම්වල විනාශය දැන් ශීඝ්‍ර වී තිබේ. බොහෝ දෙනකු සිතන්නේ ඒවා පුරවා ගොඩනැගිලි තැනීමටය. කසළ දැමීමටය. මේ නිසා මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් පරිසර ආරක්ෂණ කලාපයක් බවට පත් කිරීම වැනි නීත්‍යනුකූල ආරක්ෂාවක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
• කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : සුමුදු හේවාපතිරණ