පාන් ගැන අතීත කතාව ඓතිහාසිකය, බරසාරය, සමාජ දේශපාලනිකය. මෙසිරිලක පාන් කතාව ඇරැඹෙන්නේ අදින් වසර පන්සීයකට පමණ පෙරදීය. එකදහස් පන්සීය පහේදී ලක්දිවට පැමිණි පෘතුගීසීන් පාන් කා වයින් බොනයුරු දුටු සිංහල චරපුරුෂයෝ රජු හමුවේ අපූරු කතාවක් කීවෝය. ඔවුනට අනුව තිරුවානා ගල් කා ලේ බොන ජාතියක් මුහුදුකරයට ගොඩබැස තිබුණි. එදා හෙළයා තිරුවානා ගල් හා සම වූ පරංගි බසින් ‘'පාඕ' නම් වූ මේ අපූරු ආහාරය පසුකලෙක ලක්වාසීන්ට පාන් විය. එදා පාන් කෑ උන් මෙරට පාලකයෝ වූහ. පසු කලෙක ඔවුන් රට හැර යනවිට එදා රට්ටුන්ට මැජික් වූ පාන් රට පාලනය කරන ලොජික් එකක් බවට පත්ව තිබිණි.
අද ලක්වාසී ජනයාගේ ජීවිතවලට තදබල ලෙස පාන් බැඳී ඇති බව කාටත් නොරහසකි. යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස අප ලද පාන් සංස්කෘතිය නිදහසින් පසුව ක්‍රමිකව ගොඩනැගුණක්ය. එසේ නමුත් ලංකා පාන් ඉතිහාසයේ වර්තමාන කතාව ආරම්භය දෙවැනි ලෝක යුද්ධය සමඟ බැඳී ඇති බවට තොරතුරු හමුවේ. දෙවැනි ලෝක යුද්ධයට පෙර ලාංකිකයන් පාන් හෝ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගෙන ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එම නිසාම මෙරට තිරිඟු ආනයනයද සැලකිය යුතු මට්ටමක තිබී නැත. මෙකල සහල් පිටි මත පදනම් ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ආදී ආහාර ලාංකීකයන් අතර ඉතා ජනප්‍රිය වී තිබේ. ඉංග්‍රීසි සහ දේශීය ධනපතීන් පමණක් විටෙක පාන් සමඟ බටර් තැවරූ සැන්ඩ්විච් හෝ කේක් වැනි අතුරුපසක් රස විඳ ඇත. සාමාන්‍ය ජනයාට මිලදී ගත හැකි එකම තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනය වූයේ “හුළං විස්කෝතු”ය.
ගොවිතැනද යම් පමණකට අඩාලව පැවති මෙම වකවානුවේ දේශීය සහල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ නිසාවෙන් ඉංග්‍රීසීන් බුරුමය වැනි රටවලින් සහල් ආනයනයට පියවර ගෙන තිබුණි. එහෙත් දෙවැනි ලෝක යුද්ධය පෙරදිගට පැතිරීමත් සමඟ සහල් ආනයනයට බාධා ඇති විය. මෙයට විසඳුමක් ලෙස ඕස්ට්‍රේලියාව වැනි රටවලින් තිරිඟු හා තිරිඟු පිටි ආනයනය කිරීමට ඔවුන් පටන්ගෙන තිබේ. ඒ සමඟින් යුධ සමයේ ආහාර සලාකයට තිරිඟු පිටි එකතු වී ඇත. මෙය අද පාන් කෑමේ පුරුද්දට ලාංකිකයන් නැඹුරු වීමේ ආරම්භ විය. ලෝක යුද්ධයෙන් පසුවද ඕස්ට්‍රේලියාව, උතුරු ඇමෙරිකාව, යුරෝපය ආදී රටවලින් තිරිඟු පිටි ආනයනය දිගින් දිගටම සිදුවිය. මෙරට ආහාර ආධාර ලෙස බොහෝ විට ලැබුණේද තිරිඟු පිටිය. මේ සමඟ පාන් පිටි ආශ්‍රිතව නිෂ්පාදන ලංකාවේ ක්‍රමිකව බිහිවන්නට ගත්තේය.
පාන් පහසු ආහාරයක් විය. කාලය ඉතිරි කරන්නක්ද විය. මුලදී මෙරට වැදගත් පන්තියේ ආහාරයක් වූ පාන් පසුව සාමාන්‍ය ජනයාගේ ආහාරයක් විය. බතට වඩා පාන් ජනප්‍රිය වීමට තවත් හේතු තිබිණි. පාන් පිටි මෙරට ආනයන ද්‍රව්‍ය අතර ප්‍රමුඛ ස්ථානයකට පත්වීම සහ රාජ්‍ය මැදිහත්වීම ඒ අතර ප්‍රධාන විය. කෙසේ හෝ හැටේ දශකය නිමා වනවිට රට වටා දර පෝරණු බිහිවී තිබූ අතර බක්කරේලාද රට වටා වූහ. පාන් ගෙඩියේ මිල දේශපාලනයේ ද තේමාවක් විය.
මෙරට පාන් ඉතිහාසයේ ඉතාම වැදගත් දශකය හැත්තෑව දශකයයි. ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ යුගයේ ආර්ථික ප්‍රතිපත්තිය පාන්වලට අභාග්‍ය සම්පන්න කාලයක් විය. පාන් පෝලිම් නිර්මාණය වූ අතර දේශීය දේ අගයන්නට වූ නිසාවෙන් පාන් දුර්ලභ විය. බේකරිවල අඩවල් වූ කවුලුවලින් පාන් විකිණීම සිදුවූයේය. පාන් සමාජ දේශපාලන විෂයෙහි ප්‍රබල බලපෑමක් කරමින් තිබිණි. විපක්ෂය පාන් ගැන අඳෝනා නගන්නට විය. එය 1977 මැතිවරණයේ සටන් පාඨ අතරින් ප්‍රබලම සටන් පාඨයක් බවට පත්වූයේ පාන්ය. සමහරුන් පාන් බල්ලන්ගේ පිටේ එල්ලා පෙළපාලි ගියේ පාන් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි. අවසානයේ පාන් ද හේතුවක් කොටගෙන මැතිනියගේ ආණ්ඩුව පෙරලුණේය.
එය පාන් මිල මෙරට සමාජ දේශපාලනය විෂයෙහි වැදගත් බව ප්‍රකට කළ ප්‍රමුඛතම සිදුවීම විය. 1977 පසු එළඹි පාලනය තුළ පාන් සඳහා හොඳ කලදසාවක් උදාවිය. ඒ වසරේදී ප්‍රීමා සමාගම විසින් තට්ටු 8ක් පමණ වූ විශාල තිරිඟු පිටි කම්හලක් ත්‍රිකුණාමලයේදී ආරම්භ කරන ලදී. පාන් අධිරාජ්‍යයක් ලංකාවේ බිහිවන්නට විය. පාන් මුල්කාලයේ රාත්තල්, භාග, කාල ලෙස විකිණීමට තිබිණි. ප්‍රමාණයෙන්ද බරින්ද එදා පාන් අදට වඩා විශාල විය. පාන් සම්බන්ධව පිරැළු පවා බිහිවිය. පාන් රාත්තලක් කෑ හැකි අයෙක් සද්ධන්තයෙක් යැයි කීම එවන් මතයකි. ‘පානුයි පරිප්පුයි බුදුවේවා’ යැයි කීමද එවැන්නකි.
කාලයත් සමඟ පාන් තවදුරටත් විකාශය වන්නට විය. තැටි පාන්, රෝස් පාන්, මාළු පාන්, ජෑම් පාන් ආදී තවත් නිෂ්පාදනය රැසක් බිහිවිය. ඒවා ජනප්‍රිය වූයේ ඉතා වේගයෙනි. බේකරි ව්‍යාපාර රටේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් ලෙස නැගී සිටියේය. පිටි ආනයනය සමඟ රජයට බදු ආදායම්ද ලැබුණි. එදා විජාතික ආහාරයක් වූ පාන් ස්වදේශීකයන්ගේ නොනිල ප්‍රධාන ආහාර බවට පත්විය. පාන් අරභයා ජනතාව අරගල කරන්නට වූහ. නැවත දේශපාලනය උදෙසා පාන් මිල බලපාන්නට පටන් ගත්තේය. එය දිට්ඨ ධම්ම වේදනීය කර්මය හා සම විය.
1977දී පාන්ද උපකාර කොටගෙන බලය පත්වූ දහ හත් වසරක් පැවති එජාප ආණ්ඩුව ගෙදර යැවීමේදී නැවත පාන් කරලියට පැමිණියේය. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ඒමේ ප්‍රමුඛතම දේශපාලන පොරොන්දු අතර තුනයි පනහේ පාන් කතාව විය. ඇය පැමිණි විගසම රුපියල් 5.50ට තිබූ පාන් ගෙඩිය රුපියල් 3.50 දක්වා අඩු කරමින් පොරොන්දුව ඉටු කළාය. ඒ ටික කලකට පමණි. නැවත පාන් මිල ඉහළ ගියේය.
ඉන්පසු එළඹි සමයේ පාන් මිල පාලනයට ආණ්ඩු අසමත් විය. එනිසාම පාන් ජනප්‍රිය කළ පාලක පන්තිය විසින්ම පාන් විරෝධයක් ක්‍රමයෙන් ගොඩන ලදී. 2000න් පසු මෙරට සමාජයේ පාන් සහ පාන් පිටි ආශ්‍රිතව නිශ්පාදනවලට ඇති ඉල්ලම අඩු කිරීමට ආණ්ඩුව විවිධ උත්සාහයන් දැරුවේය. විකල්ප නිෂ්පාදනය සොයාගන්නට රාජ්‍ය ආයතන උත්සාහ දරන්නට විය. නමුත් ඒ වනවිට පාන් මෙරට ජන සමාජයේ ආත්මීය කොටසක් බවට පාන් පත්ව තිබුණි. කුසීත ජාතිකයාගේ සරලම ආහාර පාන් වී තිබිණි. නොගුණ දැන දැනම පාන් කන්නට කිසිවෙක් මැලිවූයේ නැත.
පාන් යනු ඓතිහාසික වරදක් බව ලාංකීය ඉතිහාසය විසින් යම් දිනක තීරණය කරනු ඇත. කුස මිස හෙට ගැන නොසිතනා ජාතියක පාන් නිසා කළ ඇතැම් දේශපාලන පෙරළි කොතරම් යුක්ති යුක්තද යන්නද පැනයකි. පාන් මතින් ගොඩනැගුණු වෙළඳ ඒකාධිකාරිය අද වනවිට සමාජ දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබේ. අද මෙරට ආර්ථික හසුරවන්න ප්‍රධන බලවේගයක් බවට පාන් පිටි සමාගම් පත්ව තිබේ.
කෙසේ නමුත් අද වනවිට පාන් මිල වසර විස්සක් තුළ සීයට තුන්හාර සීයකින් ඉහළ ගොස් තිබේ. පාන් සම්බන්ධ කතාව රසවත් නමුත් අද පාන් නිසාවෙන් රටක් ලෙඩ වී ඇත. ප්‍රංශයේ උපන් පාන් ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනකට කළ හදිය සුළුපටු නැත. එහෙත් මේ මොහොතේ පවා පාන් යනු ආණ්ඩුව පෙරළිය හැකි කෑමකි.
► චමිඳු නිසල්