පසුගිය 7දා කෝට්ටේ රජමහා විහාරයේ 119 වන රන්දෝළි පෙරහර පැවැත්වෙමින් තිබුණි. දහස් ගණනක ජනතාවක් රජමහා විහාර මාවත දෙපස සිට පෙරහර නරඹමින් සිටියහ. විදුලි බුබුලුවලින් මාවත අලංකාර කර තිබුණි. රාත්‍රී 10.30ට පමණ හදිසියේම නිලමේ කෙනකු පිට මත නංවාගෙන ගමන් කරමින් සිටි අලියෙක් කලබලයට පත්ව දිව යන්නට විය. ගැස්සෙමින් ඉදිරියට දිවගිය අලියාගේ පිට මත සිටි පුද්ගලයා ද බිමට වැටුණි. ඇත් ගොව්වන්ට ඌ පාලනය කර ගැනීම අසීරු විය. සෙනඟ කෑ ගසමින් දුව යාම නිසා අලියා තවත් කලබලයට පත්විය. නැටුම් කණ්ඩායම් ද හිස් ලු ලු අත දිවයාමට වූහ.
ටික වේලාවකින් පෙරහරේ ඉදිරියෙන් ගිය තවත් අලියෙක් ද කලබලයට පත්ව දිව ගියේය. මේ සිද්ධිය නිසා පුද්ගලයන් 17කට තුවාල සිදුවිය. ඔවුහු කළුබෝවිල මහරෝහල ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ කොළඹ මහ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ටික වේලාවකට පසු අලින් සන්සුන් කරගැනීමට හැකියාව ලැබුණි.
මෙවැනි අලි කුලප්පුවක් 2014 අගොස්තු 31 දා බෙල්ලන්විල ඇසළ පෙරහරේද සිදුවිය. එදා කුලප්පු වී මහා විනාශයක් කළේ පෙරහරට එක්ව සිටි කෝට්ටේ රජ මහා විහාරයට අයත් හේමන්ත නැමැති අලියාය. ඇත්ගොව්වා පහරදීම නිසා ඒ අලියා කලබලයට පත්වූ බව පැවසේ. මේ අලියා මෝටර් රථ තුනකට නිවාස කිහිපයකට පහරදුන් අතර 20 දෙනෙක් පමණ තුවාල ලැබූහ.
අලි කුලප්පු වීම් ගැන විමසන විට ප්‍රසිද්ධම සිද්ධිය වාර්තා වන්නේ මහනුවර ඇසළ පෙරහරෙනි. 1959 අගෝස්තු 19දා රාත්‍රී 10.05ට ඒ කලබලය සිදුවිය. හස්තියා කුලප්පුවී දුවයාම නිසා 14 දෙනෙක් මියගොස් 125 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. “අලියා ගිය පාර” නමින් පාරක් ද අද මහනුවර නගරයේ තිබේ.
අලි කුලප්පුවීම අතීතයේ පටන් සිදුව තිබුණ ද මෑත අතීතයේ සිට ඒ සිදුවීම ඉහළ නගිමින් තිබේ. එයට හේතුව අද රට පුරාම පවත්වන පෙරහර නිසා මේ සතුන්ට කිසිම විවේකයක් නැතිවීමයි. ගෘහාශ්‍රිත දිවිගෙවන හීලෑ අලි ප්‍රමාණය 105ක් පමණ වුවද පෙරහරවලට සහභාගී කරවීමට හැකියාව පවතින්නේ ඉන් 65 දෙනෙකු පමණි.
ඇසළ උත්සව කාලයේ රටේ බොහෝ ප්‍රදේශවල අලි ඇතුන් සහිත පෙරහර පැවැත්වේ. දෙවිනුවර, මහනුවර ඇසළ පෙරහර, කතරගම පෙරහර, හඟුරන්කෙත විහාරය, බෙල්ලන්විල, කෝට්ටේ විහාර, රත්නපුර මහා සමන් දේවාලය, මහනුවර සියලුම පිටිසර දේවාලවල පෙරහර මේ කාලයේ පැවැත්වේ. ඊට අමතරව රටේ තවත් කුඩා පෙරහර ගණනාවක්ද අලි ඇතුන් සහභාගී කර ගැනීම මෝස්තරයක් බවට පත්කරගෙන තිබේ. මේ නිසා ඇසළ සමයට පෙරහරවල යන අලියාට දිවා රෑ දෙකෙහි අතිකාල සේවයේ යොදවන යන්ත්‍රයක් බවට පත්වීමට සිදුව ඇත. මේ නිසා සිදුවන්නේ අලියා ඉක්මනින් වෙහෙසට පත්වී ඌ කෝපයට පත්වීමයි. මෙවැනි අලි කුලප්පුවලට එයද ප්‍රධාන හේතුවක් වී තිබේ.
හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්නට අප කතා කළේ මේ සම්බන්ධව දැනගැනීමටයි.
“මේකට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ අපට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව අඩුවීමයි. පෙරහරවලට සහභාගී කර ගැනීමට සුදුසු තත්ත්වයේ සිටින අලි 65 දෙනාට පෙරහර රාශියකට සහභාගී වීමට සිදුවෙලා අලි 200 – 300ක් හිටියා නම් තෝරා ගැනීමක් කිරීමට තිබුණා. මේ අලි අතර පෙර වැරදි තිබෙන අලි, මද කිපීමට ආසන්න අලි ඉන්නවා. මද කිපෙන්න මාසයකට පෙර සහ මද කිපී මාසයක් යනතෙක් පෙරහරට අලි සහභාගී කරවාගැනීම සුදුසු නැහැ. මද කිපීම කියන්නේ අලියා වෙනත් අලි සමඟ සටන් කරන කාලයක්. මාසයක් යනකම් මදගඳ තිබෙනවා. සාමාන්‍ය අලින් මේ ගඳ දැනුණාම වෙනස් වෙනවා. එවැනි අවදානමක් අරගෙන තමයි පෙරහරවලට අලි ගෙනියන්නේ.
අලි හිමියන්ට එල්ලවන තවත් චෝදනාවක් වන්නේ මුදල් කෑදරකමට පෙරහර රාශියකට අලි සහභාගී කරවන බවයි. ඒ පිළිබඳ ද කතා කළ දම්සිරි කරාණාරත්න කීවේ එවැනි අදහසක් අලි හිමියන් තුළ නැති බවයි. ඇත්ගොව්වන්, අලි හිමියන් කරන කැපවීම හුඟදෙනෙක් නොදකින බවද ඔහු පැවසුවේය.
අලියා ජීව විද්‍යාත්මකව ක්ෂීරපායී සත්වයෙකි. අනෙක් සතුන්ට අවශ්‍ය ශාරීරික අවශ්‍යතා ඌට ද තිබේ. මේ නිසා අලි ඇතුන් ද පෙරහරවලට සහභාගී කරවීමට පෙර ශාරීරික යෝග්‍යතාවය කිබෙනවා ද යන්න සොයාගැනීමට මුත්‍රා පරීක්ෂණ, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සිදු කෙරේ. පෙරහරෙන් පෙරහරට යන අලිඇතුන්ගේ නිදිමත ස්වභාවයක් පවතී. මේ නිසා උන් ඉක්මනින් කේන්ති යන තත්ත්වයට පත්වේ.
වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍රට අප කතා කළේ වෛද්‍ය විද්‍යාත්මක කෝණයෙන් මෙම ගැටලු දෙස බලන අන්දම දැනගැනීමටයි.
“ඇසළ, නිකිණි මාසවල හැමදාම වගේ අලිඇතුන් පෙරහරවලට එක්වෙනවා. මේ නිසා මේ සතුන්ට හරිහැටි නින්දක් ලැබීමට විවේකයක් ගැනීමට අවස්ථාව අහිමි වෙනවා. ලොරිවලින් පෙරහරින් පෙරහරට අරන් යනවා. නිසි පරිදි ස්නානය කිරීමට, වතුර බීමට ආහාර ගැනීමට නෑ.
සමහර පෙරහර දිග වැඩියි. උපරිම දිග කී.මී. 3ක් වගේ වියයුතුයි. නමුත් සමහර පෙරහර කී.මී. 5ක් දිගයි. පෙරහර පුළුවන් ඉක්මනින් පවත්වා අවසන් කළ යුතුයි. නමුත් ගොඩාක් පෙරහර පටන් ගන්නෙත් රෑ 10.00ට. රූට අලියා පෙරහරේ රඳවා ගතයුතු උපරිම කාලය පැය තුනහමාරක්. දවල්ට නම් පැය දෙකහමාරයි. නමුත් අලියාට ඊට වැඩි කාලයක් පෙරහරේ ගමන් කිරීමට සිදුවෙනවා.
පෙරහරේ අලි ස්ථානගත කිරීමේදීත් සැලකිලිමත් විය යුතුයි. එළි සහ ශබ්දවලට අලියා කැමති නෑ. හේවිසි තූර්යවාදන ස්ථානවලින් ඈත්ව උන් ස්ථාන ගත කළ යුතුයි. මල්වෙඩි දානවා නම් අලි ඉන්න බෑ. කොප්පරා පහන් පත්තු කිරීමේදීත් අඟුරැ වැටේදැයි විමසිලිමත් වීම අවශ්‍යයි. පෙරහර අතරමැදදීත් අලියාට ජලය, කොමඩු වැනි පළතුරැ ලබාදිය හැකිනම් වඩාත් සුදුසුයි.”
අද පෙරහර පැවැත්වීමත් විලාසිතාවක් වී තිබේ. පුරාණයේ පටන් පැවතගෙන එන සංස්කෘතික උරුමයක් වන පෙරහර ද මේ නිසා වැනසීයමින් පවතී. පශු වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට හැකිතරම් නිවැරදිව පැවැත්වීමට උත්සාහ කරන සංස්කෘතික උළෙල මහනුවර ඇසළ පෙරහරයි. එහි දිග කී.මී. 2.5කි. පශු වෛද්‍යවරු ඒ අලි ගැන නිරන්තර අවධානයයෙන් පසුවෙති. ආහාර, ජලය, ප්‍රමාණවත් පරිදි ලබාදේ. ඒත් රට පුරා පවත්වන කුඩා පෙරහරවලදී අලි ඇතුන් කෙරෙහි එතරම් අවධානයක් යොමු නොවේ. ඒ නිසා අනවශ්‍ය කුඩා පෙරහරවලට අලි ඇතුන් සහභාගී කරවීම ගැන අලි හිමියන්ද සිතා බැලිය යුතුය.
► කුසුම්සිරි විජයවර්ධන