උඩරට කැටයම් කලාවේ එක් කැටයමක් වූයේ පෙති හතරේ බිනර මලයි. එය බිතුසිතුවම් අලංකාර කිරීමටද එකල සිත්තරු යොදාගත්හ. දේශීය වෙදකම සඳහාද බිනර පැළෑටිය භාවිත කෙරිණි. විවිධ වර්ගවලින් යුත් සිත් ඇදගන්නා පුෂ්පයකින් යුත් මේවායේ බොහෝවිට මල් පිපෙන්නේ බිනර (සැප්තැම්බර්) මාසයේය. ඒ නිසා එම මාසයට බිනර යන නමද ලැබී තිබේ.
ශ්‍රී ලංකාව තුළ බිනර ශාක විශේෂ (Exacum) 8ක් හමුවන අතර එයින් විශේෂ 5ක් ආවේණිකය. මේ අතරින් වඳවී යාමේ අනතුරින් මිදී ඇත්තේ ආවේණික නොවන එක් බිනර (Exacum Petiolare) විශේෂයක් පමණි. වාසස්ථාන අහිමිවීම, පාරිසරික තත්ත්ව වෙනස්වීම විසිතුරු පැළෑටියක් ලෙස ඉවත් කිරීම ආදී කටයුතු නිසා අද වනවිට බිනර දැඩි අවදානමට ලක්වූ පැළෑටියක් බවට පත්ව තිබේ.
වාසස්ථාන අහිමිවීමත් බිනර ශාකවල පැවැත්මට තර්ජනයක්. හෝර්ටන් තැනිතලාව, අඹේවෙල වගේ ප්‍රදේශවල වැවෙන Exacum Macrantham වල මල ඉතා අලංකාරයි. ඒවා ගලවාගෙන යාමට සමහරු පෙළඹී සිටිනවා. එළවළු වගාව, ජනාවාස ඇතිවීම වගේ කරුණු නිසාත් මේ විශේෂය හානියට ලක්වෙලා. ඒ වගේම බිනර පැළෑටිය වසාගෙන අලි තණ වගේ විශේෂ පැතිරීමත් මෙහි වර්ධනයට බාධාවක්. ආක්‍රමණික ශාක පැතිරීම තවත් හේතුවක්. මේ පැළෑටිය ගලවාගෙන ගියාට වැඩක් නෑ. තිබෙන පරිසරයේ හැර වෙනත් පරිසරවල වැවීම හරිම අමාරුයි. අපට අවශ්‍ය තැන්වල මෙය වගාකළාට වැඩක් නෑ. අප සමඟ එලෙස අදහස් දැක්වූයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ සහ මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දරයි
Exacum ගණයේ ශාක පොදුවේ හඳුන්වන නම බිනරය. ලෝකය පුරා බිනර විශේෂ 73ක් පමණ වාර්තා වේ. මෙම ශාකය අප්‍රිකානු, නිවර්තන ආසියාව හා පැසිපික් දූපත් ආශ්‍රිතව පැතිර පවතී. අප රටේ බිනර වැවෙන්නේ කඳුකර තෙත්, පහතරට තෙත් කලාපය සහ වියළි කලාපයේ සමහර ප්‍රදේශවලය. තෙත් සෙවණ සහිත කඳු බෑවුම්වල, විවෘත තණ තලාවල, වියළි කලාපයේ තෙත් ඉවුරැ ආශ්‍රිතව බිනර වැවේ. නමුත් අප රටේ සෑම බිනර ශාකයක්ම සීමිත ව්‍යාප්තියක් පෙන්වන ශාකය. බිනර යුරෝපීය රටවල්වල බඳුන්ගත වල් පැළෑටියක් වශයෙන් ජනප්‍රියය. ඒ පැළෑටි නිෂ්පාදනයට අවශ්‍ය ජාන ලබාගෙන ඇත්තේ අප රටේ බිනරවලිනි. දැන් ඒ අයුරින් නැනූ නව බිනරවලට පේටන්ට් අයිතිය ඇත්තේද බටහිර රටවල විද්‍යාඥයන්ගේ නමකි. දැන් අපටත් එලෙස දෙමුහුන් කළ බිනර පිටරටින් මිලදී ගැනීමට සිදුව ඇත.
අප රටේ බිනර විශේෂ අතුරින් දුලබම විශේෂය වන්නේ Exacum Pedunchlatum ය. එය ආවේණික නොවන දේශීය විශේෂයකි. කලින් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වුවද දැනට දැකගත හැක්කේ මාතලේ නාවුලට නුදුරු බොබැල්ල ප්‍රදේශයේ පමණි. මෙය ඉන්දියාවේද තිබෙන පැළෑටියකි. තෙත්, මැටි, වැලි සහ හුණුගල් සහිත වියළි විශේෂ පරිසර තත්ත්ව යටතේ වැඩේ. පැළෑටිය සෙ.මී. 40ක් දක්වා උසට පඳුරු වශයෙන් වර්ධනය වේ. මෙහි මල් පිපෙන්නේ බිනර මාසයේ නොවේ. මාර්තු සහ අප්‍රේල් අතරය. නිල් පැහැති මලෙහි පෙති හතරකි. මල් පිපීමෙන් පසුව ශාකය මැරී යන අතර දෙසැම්බර් මාසයේ නැවත පැළ හටගනී. වඳවී ගොස් ඇතැයි සලකණු මෙම ශාකය නැවත හඳුන්වාදීමට මුල්වූයේ ආචාර්ය සිරිල් විජේසුන්දරයි. ඔහු ඒ පිළිබඳව මෙසේ පැවසුවේය.
අපි පර් යේෂණයක් කරමින් සිටින අතරතුර අහම්බෙන් වගේ තමයි නාවුල බොබැල්ලේ මෙම ශාක පිහිටි තැනට ආවේ. මහාචාර්ය සුමනසිංහගේ පර් යේෂණයක් කරන අවස්ථාවක මමත් උදව් වුණා. මෙම බිනර විශේෂය අපට සොයාගැනීමට බැරිවුණා. නමුත් බොබැල්ලේදී අහම්බෙන් වගේ හමුවුණා. ඒ දවස්වල එතැන පිටවල පතන වගේ තණකොළ වැවී තිබුණු මුඩුබිම් ප්‍රදේශයක්. ටික කාලයක් යනවිට එතැන ජනාවාසයක් වෙලා. නමුත් එතැන පදිංචි වූ පුද්ගලයෙක් ඉතා උවමනාවෙන් ඒ පැළෑටි රැකබලා ගත්තා.
නමුත් පසුකාලීනව මේ ස්ථානය මහා මාර්ගය තැනීමේදී පස් ගොඩකිරීම වැනි කටයුතු නිසා බොහෝ හානියට පත්වූ බව වාර්තා විය. බොබැල්ල ප්‍රදේශය ඉදිරියේදී පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට කටයුතු කෙරෙන බව පැවසුවත් තවමත් ඒ සඳහා පියවර ගෙන නැති බව දුම්බර මිතුරෝ සංවිධානයේ නිමල් කණහැරආරච්චි පැවසුවේය. මේ පැළෑටි සහිත ස්ථානයට නීතිමය ආරක්ෂාවක් ලබාදීම අත්‍යවශ්‍යව පවතී.
අප රටේ බිනර අතරින් පෙති 5ක් දරන බිනර ශාක විශේෂ 2ක්ද පෙති 4ක් දරන බිනර විශේෂ 5ක්ද හමුවේ. නිල්, දම්, සුදු ආදී වර්ණ විවිධ බිනර විශේෂවල පුෂ්පවල දැකගත හැකිය. Exacum axillare විශේෂය පෙති හතරකින් යුත් දම් පැහැ පුෂ්ප දරයි. මෙය ලංකාවට ආවේණික වන අතර බස්නාහිර හා සබරගමු පළාතේ ව්‍යාප්තව පවතී.
දම්පැහැ පෙති හතරකින් යුත් Exacum Petiolare සෙ.මී.30ක් පමණ උසැති පැළෑටියකි. උතුරු, උතුරු මැද, වයඹ හා නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්තව ඇති අතර මෙය ඉන්දියාවේද දැකගත හැකිය.
Exacum Macranthum හෝර්ටන් තැනිතලාව ඇතුළු කඳුකර තණබිම්වල පැතිරී තිබෙන තද දම් පැහැති පත්‍ර පහකින් යුත් අලංකාර පුෂ්පයක් හටගන්නා ආවේණික බිනර වර්ගයකි. ජනවාරි - ජූනි දක්වා සහ සැප්තැම්බර් - දෙසැම්බර් දක්වා පුෂ්ප හටගනී.
ලංකාව තුළ සුලබවම දැකගත හැකි බිනර විශේෂය වන්නේ Exacum Trinavium ය. එම පැළෑටිය සෙ.මී. 100ක් දක්වා උසට වැඩේ. ආවේණික මෙම විශේෂය දම් පැහැතිය. දොළුකන්ද රිටිගල වැනි කඳු ආශ්‍රිතව සහ තෙත් උප කඳුකර ප්‍රදේශවල, වියළි හා අතරමැදි කලාපයේ වැටේ.
Exacum Walkeri සුදු පැහැති පෙති පහකින් යුක්තය. ලංකාවට ආවේණික මෙම විශේෂය මධ්‍යම කඳුකරයේ දියපහරවල ඉවුරු අසබඩ මෙන්ම අඩිපාරවල් අසලද දැකගත හැකිය. මෙය සුදු බිනර නමින් හඳුන්වයි.
ළා දම් පැහැයක් ගන්නා Exacum Pallidum මධ්‍ය කඳුකරයේ මී.900-1400 අතර බෑවුම් ප්‍රදේශවල හමුවන ආවේණික පැළෑටියකි.
බිනර ශාක පැතිර තිබෙන්නේ ලංකාවේ සීමිත ප්‍රදේශයක පමණි. ඒ ශාකවල ව්‍යාප්තිය පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදුකර ඒවා සංරක්ෂණයට ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශයව පවතී. කුඩා පැළෑටියක් බැවින් එහි හානිය ඉක්මන්වීම එයට හේතුවයි.
කුසුම්සිරි විජයවර්ධන