2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

අවිනිශ්චිත කාලයක්!

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

ග්‍රහ මණ්ඩලයේ පෙරළිකාර බිහිසුණු සිදුවීම් ඇති කිරීමට සමත් වන්නා වූ සෙනසුරු සහ අඟහරු එකිනෙකාට පූර්ණ දෘෂ්ටි හෙළීමක් 2019 සැප්තැම්බර් මස 25 වැනි බුධ දින උදේ 6 පසුවී විනාඩි 31ට අඟහරු කන්‍යා රාශිගත වීමත් සමඟ සිදුවනු ඇත. අඟහරැගේ පූර්ණ දෘෂ්ටිය සෙනසුරු වෙතත් සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය අඟහරු වෙතත් එල්ල වීමක් මෙහිදී සිදුවේ. අප රටට මෙන්ම ලෝකයේ සියලුම රටවලට අයහපත් වූත් බිහිසුණු සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවන කාල වකවානුවක් වන අතර මෙම දෘෂ්ටිය අඟහරැ කන්‍යා රාශියේ සිටින කාලය තුළ එනම්, 2019 නොවැම්බර් මස 10 වැනි ඉරු දින දහවල් 2 පසුවී විනාඩි 24 දක්වාම පවතිනු ඇත.

මෙම තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රට තුළ නොසිතූ බිහිසුණු සිදුවීම් ඇතිවන කාල වකවානුවක් වනු ඇත. ගොඩනැගිලි හා රථවාහන ගිනි ගැනීම් සිදුවන අතර මහජනයා රැස්වන ස්ථානවල නොසිතූ විපත් සිදුවනු ඇත. මෙම කාල වකවානුව තුළදී මහමඟ ගමන් කිරීමේදීත් ඉතා පරිස්සම් විය යුතුය. බිහිසුණු රිය අනතුරු ද වාර්තා වනු ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර වූත් සිදුවීම් ගෙන දෙන කාලයක් වන අතර දේශපාලන රැස්වීම් ආශ්‍රිතව අශුභ සිදුවීම් ද, පහරදීම් පිපිරීම් ද සිදුවේ. මහජන නියෝජිතයන්ට මාරක ද, දේශපාලන ක්ෂේත්‍රයේ නියැලි මන්ත්‍රීවරයකුට මාරකයක් ඇතිවීමක් ද සිදුවන්නා වූත් වකවානුවක් වේ.

විදේශීය වශයෙන් කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ ආගමික ආරවුලක් ඇතිවන අතර ආගමික නායකයකුට අපලකාරීත් මාරක ඇතිවන්නා වූත් කාලයක් ද වෙයි. නාවික හමුදාවලට අයහපත් ඵල ද, යාත්‍රාවක් මගින් 100කට අධික පිරිසක් රුගත් යාත්‍රාවක් විනාශයට පත්වීමක් ද, යාත්‍රා, වෛද්‍ය ගොඩනැගිලි, සමාජ සේවා ආයතන ගිනි ගැනීමකට ලක්වීමක් ද වාර්තා වනු ඇත.

මේෂ - උණ රෝග පීඩා

ඔබට යහපත් කාලසීමාවක් නොවන අතර මහමඟ ගමන් යාමේදී මෙන්ම රිය පැදවීම් කිරීමේදීත් ඉතා පරිස්සම් විය යුතු වේ. ඔබට ලේ ආශ්‍රිත පීඩාවක් හෝ උණ රෝග පීඩාවක් මතුවිය හැක.

වෘෂභ - මිතුරන්ගෙන් ගැටලු

හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක් වේ. ඔබගේ හිතමිතුරන්ගෙන් විවිධ කරදර හා ගැටලු ඇතිවන කාලයක් බැවින් අවධානයෙන් කටයුතු කරන්න. උදර පීඩාවක් මතුවනු ඇත.

මිථුන - හිමිකම් ලැබේ

ඔබට අයහපත් බලපෑමක් ඇති නොවන අතර උරුම හිමිකම් ලබාගැනීමට යහපත් වන්නා වූත් කාලයකි. පවුල් දිවියේ සමගියට බාධා මතුවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කටක - සතුරන් එළියට

නිර්මාණශීලී අදහස්වලට බාධා ඇතිවන්නා වූත් වකවානුවක් වේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලි අයට හදිසි ශරීර පීඩා මතුවන කාලයක් බැවින් පරිස්සම් විය යුතු වේ. ඔබට එරෙහි සතුරු බලවේග හඳුනාගෙන කටයුතු කිරීමට හැකිවන කාලයක් ද වේ.

සිංහ - වියදම් වැඩියි

තම තැන්පත් ධනය රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දැරැවද වියදම් වැඩිවන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නියැලි අයකු නම් තම හිතමිතුරන් සමඟ ආරවුල් ඇතිකරගන්නා වූත් කාලයක් ද වේ.

කන්‍යා - ඉඩකඩම් ප්‍රශ්න විසඳේ

ඔබට අයහපත් නොවන අතර උරුම හිමිකම් ලබාගැනීමටත් ඉඩකඩම් ආශ්‍රිතව පවතින ප්‍රශ්න දුරුකර ගැනීමටත් හැකියාව අත්වන කාලයක් වේ. විශාල වශයෙන් මුදල් ආයෝජනය කිරීමට යහපත් නොවන කාලයකි.

තුලා - වැරදි චෝදනා

ඔබට අයහපත් වූ බලපෑම් ඇතිවන අතර තමා නොකළ දේවලට චෝදනා ලබන කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. තම නිවසේ සිටින හෝ වෙනත් සතකුගෙන් තමා හට ශරීර පීඩාවක් ඇතිවන්නා වූත් කාලසීමාවක් වේ.

වෘශ්චික - ලැබීම්වලට බාධා

දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් නොවන කාලයක් වේ. ලැබීම් මාර්ගවලට බාධාවීම් ඇතිවන අතර අනවශ්‍ය ආරංචියක් හේතුවෙන් තම ධනය වියදම් වීමකට ලක්වනු ඇත.

ධනු - භූමියට හොඳයි

ඔබට අයහපත් නොවන අතර ඔබගේ කටයුතු සුපුරුදු ලෙස කරගෙන යාමට හැකියාව අත්වන අතර භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල ද වටිනා සම්පත් ද ලැබෙන කාලයකි.

මකර - විදේශ ගතවීම්

ඔබට බලපෑමක් ඇති නොවන අතර විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටියේ නම් එම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි කාලයක් වේ. කෙටි ගමන් ද යෙදෙන අතර යම් යම් කටයුතුවලින් ඵල ප්‍රයෝජන අඩුවෙන් ලැබෙන කාලයක් ද වේ.

කුම්භ - හදිසි ශරීර පීඩා

ඔබට අයහපත් වන අතර ගමන්වලින් පරිස්සම් විය යුතුය. හදිසි ශරීර පීඩා මතුවනු ඇත. තම හිතමිතුරන්ගෙන් ද තමාට ප්‍රශ්න පැවරෙන කාලයක් වන අතර කල්පනාකාරීව කටයුතු කළ යුතු වකවානුවක් වේ.

මීන - මුත්‍රා රෝග

පවුල් දිවියේ සමගිය පළුඳු වීම් ඇතිවන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත අයකු නම් ලාභ අඩු කාල වකවානුවක් වනු ඇත. මුත්‍රා පීඩාවක් ද මතුවනු ඇත.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල