2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

මීළඟ ජනපති පත්කරන්නේ විශ්ව ශක්තියෙන්. එය කවුරුත් කරන දෙයක් නොවෙයි

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 196

වර්තමාන ශ්‍රී ලංකා ජනතාව මැතිවරණ මානසිකත්වයකට පත්ව සිටී. දැනට වසර දෙක තුනකට පමණ සිට රටේ පාලනය අහිංසක ජනතා සේවයට නොව ගඟ හත් ගව්වක් තියා පිහිනන්නට පිටපට ගහනවා වාගේ තත්ත්වයකට මේෂ රාශියේ ගෝචරය වන යුරේනස් ග්‍රහයාට රවි - කුජ - ශනි - චන්ද්‍ර සංවේදී කෝණ මගින් නිර්මාණය කරදී ඇත.

දැනට පවතින ආශාව රටේ පළමු පුරවැසියා වීමේ අවශ්‍යතාවය බවට බොහෝ දෙනාගේ සිත් තුළ පිළිරුව් දීමය. මිනිසුන් විස්සක් විසිපහක් දැඟළුවාට ඔය තනතුර විශ්වශක්තිය විසින් ලබා දෙන්නේ එකම එක්කෙනාටය. මේ බව තේරැම් ගැනීමට මේ සඳහා උත්සාහ කරන අයට නොහැකිවීම කනගාටුවට කරුණකි.

ඩී.ඒ. රාජපක්ෂ දේශපාලනයට යොමුවන්නේ තම අවශ්‍යතාවයට නොවේ අනුන්ගේ උවමනාවටය. සිරිමා මැතිණිය ලෝකයේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය වන්නේ තම අවශ්‍යතාවයට නොව බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ අභාවය නිසා ග්‍රහ ශක්තිය ඉස්මතු වීම නිසාය.

හදිසියේම ඩී.බී. විජේතුංග ජනාධිපති තනතුරටත් රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරටත් පත්කරන්නේ විශ්ව ග්‍රහ ශක්තිය විසිනි. ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අභාවය නිසාය.

2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට විශ්වශක්තිය විසින් පත්කිරීම පුදුම සහගතය. ඒ 2017 දී කැඳවන්නට තිබූ ජනාධිපති තරඟය 2015දී කැඳවීම නිසාය.

විශ්වය විසින් රටේ රාජ්‍ය නායකයා පත්කිරීමේදී එකී පුද්ගලයාට එය ලබාදීම සඳහා විශ්වය ක්‍රියාත්මක කළ නීතිය හිතුවක්කාර බව පෙනේ. ඒ එක්කෝ සිටින නායකයා ඝාතනය කිරීමය. නැතිනම් සිටින නායකයා ඒකාධිපති තීරණයක් ගැනීමය. 

මෙය දැකිය හැක්කේ නෙත් දෙකෙන් බලා නොවේ. එය බැලිය යුත්තේ අවදිකරගත් තුන්වෙනි ඇසෙනි. ප්‍රධාන වශයෙන්ම සෙනසුරැ ග්‍රහයාගේ පටන්ම ගුරැ ග්‍රහයාගේ බලපෑම මත රාජ්‍ය නායක තනතුරට ඡන්මියා පත්කර ගනු ලබන ක්‍රමවේදයක් පවතී.
පරාශර ඍතු නියාමයට අනුව දශානුදශා ක්‍රමවේදය සහ උත්පත්ති ග්‍රහයන් ශක්තියට ගෝචරය යොදාගෙනද ලොකායතන ජ්‍යොතිෂයට අනුව රටේ ජන්ම පත්‍ර යොදාගෙනද මෙය පැවසිය හැක. නැතිනම් ක්‍රිෂ්ණ මූර්ති පද්ධති ක්‍රමවේදයට හා උපස්ථාන ක්‍රමවේදය අනුව අදාළ දත්ත යොදාගෙන හෝ භිර්ගු නන්දන නාඩි සිද්ධාන්තයට අනුව ග්‍රහ දිශා ශක්තිය මෙන්ම උත්පත්ති හෝ ගෝචර ග්‍රහ කෝණ ශක්තිය ද යොදාගෙන ඉලක්ක යටතේ 2020 රාජ්‍ය නායකයා පැවසිය හැක.

උත්පත්ති ජන්ම පත්‍රවලට 2019.11.05 වෙනිදා ගුරු ග්‍රහයා ධනු රාශි ගතවීමත් සමඟ පුදුමාකාර බලපෑම් එල්ල කරන්නේය. එදා වනවිට ශනි ග්‍රහයා අංශක 21 භජනය කරයි. බොහෝ අය තනතුරැ තානාන්තරවලින් පෙරලා දමන්නේය. අලුත් අය බිහිකරන්නේය. පවතින රුල්ල කණපිට යවන්නේය. අලුත් රුල්ලක් මවන්නේය. නිහඬව සිටි කෙනකු රාජ්‍ය නායකයා බවට පත්කරන්නේය.

ඔබේ උත්පත්ති කේන්ද්‍රයේ කුම්භය - මේෂය - මිථුනය - සිංහය - කන්‍යාව යන රාශි වැටෙන ස්ථාන පාදක කරගෙන උත්පත්ති මෙන්ම ගෝචර ග්‍රහ ශක්තිය රවි - ගුරු - ශනි - ග්‍රහයින්ගේ සංවේදී ස්ථාන බවට පත්කර ගනු ලබන්නේ නම් ගහක් ගලක් උඩ ජීවත් වන කෙනකු වුවත් සියලු බලවේග යටපත්කොට දමා රාජ්‍ය නායකයා බවට පත්වනු ඇත. එය ඔබ ඉල්ලා සිටිය යුතු නැත. විශ්ව ශක්තිය විසින් ජනතා මානසිකත්වය කුළුගන්වා ඒකරාශී කරගන්නවා ඇත. ඔබ කළයුත්තේ මේ සිංහල බෞද්ධ රටේදී ත්‍රිවිධ රත්නයට ගරු සත්කාර කොට ශ්‍රී විෂ්ණු දෙවිදුන් ප්‍රධාන සියලු දේව මණ්ඩලවලට පින් අනුමෝදන්කොට සුදුසු පරිදි ක්‍රියාකොට සමාජයේ නිසි තැනට තමාව යොමුකරන ලෙසට ඉල්ලා සිටීම පමණි.