2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

සම්මාන පැත්තකට දාලයි ලියන්න ඕනෑ!

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 172

ස්වර්ණ පුස්තක සම්මානලාභී කපිල කුමාර කාලිංග

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූයේ ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග ලියූ අදිසි නදිය නවකතාවටය. කපිල දේශය පුවත්පතට හීසරය තීරු ලිපිය ද රචනා කරයි. ඔහුගේ ජයග්‍රහණයට අපි සුබ පතමු.

ඔබගේ නවකතා මෙයට පෙරත් ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණ ඉවත් වුණා. මෙවර සම්මානය හිමිවුණා. ඒ ගැන අදහස කිව්වොත්?

මා දැනට නවකතා 5 ක් රචනා කර තිබෙනවා. ඒ අතුරින් 2012 වසරේදී පියැසි කවුළුවත්, 2013 වසරේදී කන්දේ වීදියත්, ස්වර්ණ පුස්තක අවසන් පොත් පහට නිර්දේශ වුණා. 2016 දී සැප්තැම්බරයේ දිග දවසක් නවකතාව, ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වුණත්, සංවිධායකවරුන්ගේ කොන්දේසියක් හරස්වීම නිසා එය ඉවත් කෙරැණා. එහෙත් එය ෆෙයාර්වේ සාහිත්‍ය සම්මානයට නිර්දේශ වුණා. 

දෙවරක් නිර්දේශ වීමෙන් පසු මෙවර සම්මානය පිරිනැමීම සතුටට කාරණයක්. වෙනස් ලිවීමක් සඳහා වෙනස් කියවීමක් අවශ්‍යයි. එය මෙවර ඉටුවීම නව මාවත් සොයා යන නව පරපුරටත් දිරි දීමක් බඳුයි.

සම්මානයක් හිමිවීම ලේඛකයා තුළ ඉදිරි නිර්මාණ සඳහා පෙළඹවීමක් ඇතිකරනවද?

සම්මානයක් යනු අගැයීමක්. විශාල සාහිත්‍ය ප්‍රජාවක් නැති ශ්‍රී ලංකාව වැනි රටකදී මෙය ලේඛකයන්ට ශක්තියක් ලබාදෙනවා. තව තවත් වැඩ කළ හැකියි, ඒවා පිළිගැනීමට කිසියම් පිරිසක් බලා සිටිනවා යන හැඟීම ඔවුන් තුළ ඇතිවෙනවා. මූල්‍යමය ත්‍යාග පිරිනැමීමත් ඉතා වැදගත්. එයින් ඔවුනට නිදහසේ ස්වාධීනව තමන්ගේ ලේඛන කටයුතුවල යෙදීමට අවශ්‍ය මානසික සුවය - පරිසරය සකස්  වෙනවා. සම්මානය රන් දමක දමා ගෙල පැළඳගත යුතු නැහැ. එය ඉවත දමා වැඩ කරගෙන යා යුතුයි.

සමහර විචාරකයන් ස්වර්ණ පුස්තක විවේචනය කරනවා. හොඳ පොත් තෝරනවාට වැඩිය මාකටිං වැඩක් කියලා. ඒ ගැන අදහස?

වෙළඳ ප්‍රචාරණ ලෝකයේ කියමනක් තිබෙනවා ඔබ සාර්ථක ප්‍රචාරකයෙකු නම් එස්කිමෝවරයෙකුට අයිස් පෙට්ටියක් (ශීතකරණයක්) විකිණීමට සමත් විය යුතුයි කියා. අද ලෝකයේ හැම තැනකම මාර්කටිං. ඒක ඇත්ත. සාහිත්‍ය ලෝකය තුළත් එය අඩු වැඩි වශයෙන් පවතිනවා. එහෙත් ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය ස්වාධීන මණ්ඩල දෙකක් යටතේ සිදුකෙරෙන්නක්. ප්‍රකාශකයන් තුළ මාර්කටිං ප්ලෑන්ස් තිබිය හැකි වුවත්, ඔවුන්ට ඍජුව විනිශ්චයට බලපෑම් කළ නොහැකියි. ඒ බව මෙවරත් සනාථ වුණු බවයි මගේ හැඟීම. පොත් විකිණීම සඳහා ප්‍රකාශකයන් විවිධ උපාය මාර්ග, ප්‍රචාරණ විධි යොදා ගන්නවා. එහෙත් ඒ සියලු උපක්‍රම තුළින් මිනිසුන් වෙත පොත් ළංවෙනවා නම් එහි කුමන වරදක්ද?

අදිසි නදිය විකාශය වන්නේ ඕපපාතික රටක. ඕනෑම රටකට එය අදාළ කරගත හැකියි. මෙය අපේ සාහිත්‍ය තුළ තරමක පර්යේෂණාත්මක වැඩක් කියන්නත් පුළුවන්. මේ ඇගැයීම් නිසා එයට හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණු බව පේනවා නේද?

එය ඕපපාතික රටක් නොවෙයි. ලෝකයේ බොහෝ තැන්වල දැකිය හැකි නගරවල, රාජ්‍යවල එක් නියැදියක්. සිංගප්පූරුවේ කලක් ජීවත් වූ පාඨකයෙක් අදිසි නදිය කියවා මා හා පැවසුවා, ඔහුට එය සිංගප්පූරු පසුතලයක් ලෙස දැනෙන බව. තවත් අයෙක් පැවසුවා, මෙය ඉංග්‍රීසියෙන් ලියා තිබුණා නම් ශ්‍රී ලාංකික නවකතාවක් ලෙස නොදැනෙන බවක්. 

මෙය ස්ථර කීපයකින් යුත් නවකතාවක්. එහි එක් ස්ථරයක් දේශපාලනිකයි. එම දෘෂ්ටියෙන් කියවීමේ යෙදෙන්නාට අදිසි නදිය පත්ලේ ඇති ශ්‍රී ලංකාවක් සොයා ගැනීමටත් පුළුවන්.

මගේ පරිකල්පනය මේ කොදෙව්වෙන් පිටතට දිවගිය එකක් බව ඇත්ත. එහෙත් මා ලියන්නේ මේ පොළොව මත පය තබාගෙන. මා වටා තිබෙන්නේ මා ජීවත්වන පරිසරය. මා ප්‍රාශ්වාස කරන්නේ මා වටා ගැවසෙන වාතය.

එක් විචාරකයෙක් ලියා තිබුණා අදිසි නදිය සිංහල නවකතාව වෙනස් මඟකට හැරවීමක් යනුවෙන්. මා අපේක්ෂා කළ වෙනස් තේමාව ඔහුට හසුවී තිබුණාක් මෙන්ම, පොත් කියැවීමේ පුහුණු පාඨකයන්ටද එය දැනුණා. සම්මාන ආලෝකය නිසා තව තවත් පාඨකයන් අදිසි නදිය වෙත පැමිණේවි. මා උනන්දුවෙන් හා කුහුලින් බලා සිටින්නේ ඔවුන්ගේ ප්‍රතිචාර දෙසයි. මෙය එක දිගට කියවාගෙන යා හැකි වුවත්, ඔබට සුපුරුදු කතන්දරය නම් එහි නැතිවෙන්නට පුළුවන්.

අද නවකතාවල ආකෘතිමය වශයෙන් විවිධ අත්හදා බැලීම් බහුලයි. මේ නිසා නවකතාවල කතා රසය යට යන බවට විවේචන එල්ල වෙනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

සිංහල නවකතාවේ ආකෘතිමය අත්හදා බැලීම් අඩු බවයි මගේ හැඟීම. මා නිතරම කියන්නේ කල්ලි ගැසෙමින්, තම තමන්ගේ හිතෛෂීන්, ගෝල බාලයන්ගේ කෘතීන් ඔසවා තබමින්, ඔවුන් පමණක් නොව පාඨකයා ද නොමඟ යැවීමෙන් වැළකී සිංහල නවකතාව ජාත්‍යන්තර ප්‍රමිතියට ළඟා කරවන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරන ලෙසයි. කතා රසය යනු කුමක්ද? එය එක් එක් පාඨකයාගේ රැචිකත්වය මත නිගමනය වන්නක්. හැම උසස් ප්‍රබන්ධයක්ම රසවත්. එහි මිනුම් දඬු සැකසෙන්නේ පාඨකයාගේ බුද්ධි තලය තුළින්. එසේම, අකෘතිය හෝ අත්හදා බැලීම තුළින් නීරස කෘතියක් බිහිවෙනවා නම් එය එම ලේඛකයාගේ ප්‍රතිභාව පිළිබඳ ප්‍රශ්නයක්.

නව මං නොසොයන නවකතාව එක තැන පල් වෙනවා. ශ්‍රී ලාංකීය නවකතාව ඒ අවදානමෙන් ගලවාගත යුතු තැනකයි අප සිටින්නෙ. අපේ බොහෝ ලේඛක ලේඛිකාවන්ට තවමත් ග්‍රාම සේවා තේමාවෙන් මිදීමට නොහැකි බව පෙනෙනවා. බුකර් සම්මානයට නිර්දේශ වන ලේඛක, ලේඛිකාවන්ගේ තේමාවන් හා ශෛලීන් දෙස බලන්න. එවිට අප කොතරම් පසුගාමීද යන්න වැටහේවි.

සමහරු කියන්නේ ඔබේ හොඳම නවකතාව පියැසි කවුළුව බවයි?

පියැසි කවුළුවට බොහෝ දෙනා කැමතියි. පෞද්ගලිකව මා ද එය ප්‍රිය කරනවා. එහෙත් මහාචාර්ය ලියනගේ අමරකීර්ති වැනි පිළිගත් විචාරකයෙක් කන්දේ වීදිය මගේ වඩාත් හොඳ නවකතාව ලෙස අගය කර තිබුණා. මා මෙතෙක් ලියා ඇති නවකතා පහ වෙනස් ශෛලීන් පහක් පිළිබිඹු කරන නිසා සැසඳීමකට යාම අනවශ්‍ය යැයි හැඟෙනවා.

ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?

මේ වසරේදී මගේ කෙටිකතා සංග්‍රහයක් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඊට අමතරව තිර නාටකයක් හා වේදිකා නාට්‍යයක් රචනා කිරීමටත් කාලය වෙන්කරගෙන සිටිනවා. මගේ කාලය වැඩිපුරම ගතවන්නේ ලිවීමට නොව කියවීමට!

 කුසුම්සිරි