ගල්කිස්සේ ගාලු පාරෙන් රට තුළට විහිදෙන වටරප්පල පාරෙනුත්, විජය පාරෙනුත් සැතපුම් කාලක් පමණ දුර ගිය තැන, ගාලු පාරට සමාන්තරව විහිදුණු සෙම්බරන් කොටුව නමින් හැඳින්වෙන බිම් තීරැව පිහිටා තිබුණේය. එම පැල්පත් සමූහයට මා එම නම භාවිත කරනුයේ එහි විසූ ජනයාට අගෞරවයක් හෝ අපහාසයක් කරන චේතනාවෙන් නොව සැබැවින්ම එම ප්‍රදේශය හැඳින්වූයේ ඒ නමින් නිසාය. අතීතයේදී මෙම පැල්පතේ ජනාවාස මෙකී ප්‍රදේශයට පමණක් නොව දෙහිවල සිට මොරටුව දක්වාම ගාලු පාරට සමාන්තරව විහිදී තිබුණු බව කියවෙයි. ගාලු පාරට සමාන්තරව දැන් පවා දෙහිවල සිට මොරටුව දක්වා තැන තැන ශේෂ වී පවතින පැල්පත් සමූහ සහිත ජනාවාසවලින් ඒ බව සනාථ වේ යැයි කිව හැකිය. කෙසේ වුවද මගේ කතාවට සම්බන්ධ වන්නේ රට තුළින් වටරප්පල පාර සහ විජය පාර යා කරමින් තිබූ පැල්පත් සමූහය සහිත සෙම්බරන් කොටවු නමින් හැඳින්වූ බිම් තීරුවයි.
එම සෙම්බරන් කොටුව ගල්කිස්ස වන් කොළම තදාසන්න ප්‍රදේශයක පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයට උඩින් පාත් වූ ගම්මානයක ලක්ෂණ පෙන්නුම් කළේය. නවසිය හැත්තෑ ගණන් පසුවන තුරුත් එහි වැඩිපුර තිබුණේ පොල් අතු හෝ ටකරන් තහඩු සෙවිළි කළ කටු මැටි ගැසූ කුඩා පැල්පත්ය. ඒ කාලයේ වටරප්පල පාරෙන් පිවිස සෙම්බරන් කොටුව මැදින් විජය පාර පැත්තට යද්දී මට ටාර්සන් චිත්‍රපටවල නැතහොත් හටාරි චිත්‍රපටයේ පෙන්වූ අප්‍රිකානු ගම් සිහිවූයේය. පැල්පත් ඉදිරිපිට දුඹුරු වර්ණ පුළුල් බොරලු පාර අද්දරට වී ගැහැනු වංගෙඩිවලට මෝල්ගස්වලින් කොටමින් උන්හ. කොලු කුරුට්ටෝ තැන තැන සෙල්ලම් කළහ. කෙල්ලෝ පාරේ බට්ටා පැන්නෝය. සරම් කඩ ඉනේ දවටාගත් උඩුකය නිරැවත් පිරිමි නිදහසේ එහෙමෙහෙ යමින් සිටියහ. එහි තිබුණේ මුඩුක්කු පරිසරයක් නොවේ. එය ගම්මානයක් බඳු වූයේ ඒ නිසාය.
එහි සිටි ළමයින්ගෙන් පාසල් ගියේ එවක පවුල් දෙක තුනක ළමයින් පමණකි. සෙම්බරන් කොටුවේ කොලු කුරුට්ටෝ අපට වඩා නිදහස් අය වූහ.
ඔවුහු ගාලු පාරේ සිට වටරප්පල පාරේ පහළට නිදහසේ රේසර් රෝද කරත්ත පැද්දෝය. වැහි දාට පාරට බැසූ දුවමින් නටමින් වැස්සේ තෙමි තෙමී ජල ක්‍රීඩා කළහ. සරුංගල් අරින තැන්වල නිදහසේ සැරිසැරුවෝය. ඔවුහු කටේ හොර නැතිව කුණුහරුප කීවෝය. කුණුහරුපයෙන් බණින සැටි සහ විනෝදයට කුණුහරුප කියන හැටි අවට ගෙවල්වල ළමෝ කුඩා කාලයේම ඔවුන්ගෙන් දැනගත්තෝය. කුණුහරුප කියන විට ඔවුන්ගේ දෙමාපියන් සිනාසිසී බලා සිටියා මිස ඔවුනට බැණ වැදුණේ නැත. උන් කියන හරුපයන් අල්ලාගෙන මා ගෙදරදී කී විට අපේ අක්කලාගේ ඇස් උඩ ගියේය. අම්මා මට වේවැල් පහර දුන්නාය. සෙම්බර කොටුව ගෙදරට වඩා නිදහස් තැනකැයි එවිට මට හැඟුණේය.
සෙම්බර කොටුවේ දරුවන්ගේ පිරිසිදුකම කෙසේ වෙතත් එහි ලෙඩ රෝග තිබුණු බවක් නම් දැනගන්නට තිබුණේ නැත. මා දන්නා කාලයක එහි මළගෙයක් තිබුණේද නැත. එම පැල්පත්වල වාසය කළ උදවිය පොසොන් කාලයට අනුරාධපුරේ ගියෝය. ඇසළ කාලයට ද වන්දනා බස් එකක සැවොම නැගී හට්ටි මුට්ටි පටවාගෙන කතරගම ගියෝය. එහෙත් ගමේ පන්සල වූ වලේ පන්සල සමඟ ඔවුන්ගේ ඇසුරක් තිබුණේම නැත.
සෙම්බරන් කොටුවේ එවකට සිටි වැඩිහිටි පිරිමි මොන මොන රස්සාවල යෙදුණේ දැයි දැනගන්නට තිබුණේ නැත. එහෙත් ඇවිදින විට කකුලක් නොණ්ඩි ගැසූ සැම්සන් (ඔහුගේ සැබෑ නම වෙනත් එකකි) අවට වතුපිටිවල පොල් කඩා ජීවිකාව කරගත් වග පෙනෙන්නට තිබිණි. ගස් නගින වළල්ලත්, පුවක් කොළපතකින් තැනූ කොපුවක ලාගත් පිහියක් නිතරම ඔහු ඉනේ දවටාගෙන උන්නේය. කැහැපට ගැසූ ඔහුගේ සරම යටින් නිල්පාට කොට කලිසමක් දිස් විය. ඔහුගේ සමේ කාල වර්ණය අව්වට පිළිස්සීම නිසා හටගත් එකක් ද නැතහොත් ඔහුගේ ස්වභාවික ඡවි වර්ණය දැයි දැනගත නොහැකි වූයේය.
සහල් සහ අල ලූනු මිලදී ගන්නට තාත්තා මා සමඟ සමූපකාරයට ගොස් සිටි වෙලේ සැම්සන් මේස ඔරලෝසුවක් රැගෙන සමූපෙට පැමිණේය. ඔහු සමූපේ සිටි දහදොළොස් දෙනාට මේස ඔරලෝසුව පෙන්වූයේය. එය මීට පෙර කවුරු හෝ පරිහරණය කරන ලද්දකි.
(බිග්බෙන්) යන නම එහි මූණතේ අච්චු ගසා තිබුණු අතර ඉලක්කම්වල පොස්පරස් දවටා තිබුණේ අඳුරේදී ඉලක්කම් දිස්වෙන්නටය.
“කාටහරි ඕනෙද? මේක විකුණනවා.” සැම්සන් කීවේය. ඔරලෝසුව මිලදී ගන්නට සමූපේ සිටි කිසිවෙක් ඉදිරිපත් නොවූවෝය. අපේ තාත්තා ඔහුගෙන් ඕක කීයදැයි” ඇසුවේය.
“රුපියල් තිහයි”
තාත්තා ඔහු සමඟ කේවල් කළේ නැත. “යංකො ඕකත් අරගෙන” සමූපේ සිට අපේ ගෙදරට තිබුණේ විනාඩි පහක දුරකි. බඩු මිලදී ගෙන ගෙදර එන අප සමඟ සැම්සන් ද පැමිණියේය.
එක්සයිස් පොතකින් කොටුරූල් කොළයක් කඩාගත් අපේ තාත්තා ඔහුගේ නම ඇසුවේය. ඔහු වාසගමත් සමඟ තම නම කීවේය. එම වාසගම ඒ පැත්තේ බොහෝ අයට තිබූ වාසගමකි. සෙම්බරන් කොටුවේ වාසය කළේ එහි පාරම්පරික ගැමියන් බවට එය සාක්ෂියකි. අප ඔහුගේ නම දැනගත්තේ එදාය. ඒ පැත්තේ අය ඔහුට කීවේ වෙනත් නමකි. තාත්තා කොටු රූල් කොළයේ කුවිතාංසිය ලීවේය.
එහි දකුණු කෙළවරේ උඩින් අපේ නිවසේ ලිපිනයත් දිනයත් විය.
“සැම්සන් (ඔහුගේ වාසගම) වන මම අද දින (අපේ තාත්තාගේ නම) හට අංක .......... දරණ බිග් බෙන් මේස ඔරලෝසුව විකුණා රුපියල් 30ක් ලබා ගතිමි” තාත්තා සත පහේ මුද්දරයක් ඊට යටින් ඇලෙව්වේය. මුද්දරයේ තිබුණේ ඩී. එස්. සේනානායක රූපයයි. මුද්දරය මත අත්සන් තබන්නට යැයි තාත්තා ඔහුට කීවේය.
“අත්සන් කරන්නට බැරි යැයි කියන වැඩිහිටියකු මට ජීවිතයේ පළමුවරට හමුවූයේ එදාය. එය මට මහ පුදුමයක් විය. සැම්සන්ගේ දකුණු අතේ මාපටැගිල්ලේ පාකර් තීන්ත උලන ලදුව එය ඩී. එස්. සේනානායකගේ මුහුණ මත තැබිණි.
එක්දහස් නවසිය හැත්තෑව මහ මැතිවරණයේදී සෙම්බරන් කොටුව උඩින් රතු පාට කොඩි වැල් ඇදුණේ උඩු වියනක් මෙනි. රතු තොප්පි ලාගත් අය පාරේ නිරතුරුව එහෙ මෙහෙ ගියහ. සම සමාජයේ පොඩි පොඩි සාකච්ඡා පැවැත්වුණේ අපේ පාරේ එක් නිවසකය. මැතිවරණයට කලින් නාමයෝජනා දෙන දවසේම වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ තීන්දුව ලැබුණේය. මැතිවරණ දා රාත්‍රියේ එ.ජා.ප බලකණු එකිනෙක බිඳ වැටෙමින් එ.ජා.පය පරාජය වූයේය. ලංකා සම සමාජ පක්ෂයෙන් දෙහිවල ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශයට තරග කළ විවියන් ගුණවර්ධන ඡන්ද 29430ක් ලැබුවාය. ඇස් ද ඇස් ජයසිංහ එජාපයෙන් ලැබුවේ ඡන්ද 27463ක් පමණක් නිසා විවියන් ගුණවර්ධන වැඩි ඡන්ද 1967කින් ජයග්‍රහණය කළාය.
හවස් වනවිට අපේ වීථියේ පහළින් ගාලු පාර පැත්තට ආ පෙළපාළියේ රතු තොප්පි ටික ඈත තියාම දිස් වූයේය. සැම්සන් එහි ඉදිරියෙන්ම ආවේය. ඔහුගේ සුපුරුදු අඳුම එදා ද වෙනස් වූයේ නැත. පෙළපාලියේ ඉදිරියේම ඉන්නා අය සැම්සන්ව අල්ලා උඩ දමන්නට ගත්හ. කෙට්ටු සැහැල්ලු ශරීරයෙන් හෙබි සැම්සන් සිනාපිරි මුහුණින් රිද්මයට උඩ යද්දී කැහැපට ගැසූ සරම යටින් ඇඳි නිල් පාට කොට කලිසම හොඳින් දිස්වූයේය.
“අපේ අම්මා ළඟ එනවා
හාල් සේරු දෙක දෙනවා”
පෙළපාළියේ පැමිණි අය එක හඬින් එසේ සටන් පාඨ මොර දුන්හ. වටරප්පොළ - වතුමුල්ල එවකට නාගරික මන්ත්‍රී සී. පියදාස ෆොන්සේකා පෙළපාළිය ඉදිරියෙන්ම ආවේය. ඔහු දෙපා ආබාධිත අයෙකි. ගොරහැඬි කටහඬක් ඇත්තෙකි. කටේ බුලත් හපය ඔහු සටන් පාඨ කියද්දීද හපනු පෙනුණේය.
අපේ ගේ ඉදිරියේදී පෙළපාළියේ ශබ්දයත් රැඟුමත් තරමක් වැඩි වූයේය. අපේ තාත්තා යූ. ඇන්. පී කාරයා බව ඔවුහු දැන සිටියහ. ඇස්. ද ඇස් ජයසිංහ මහතා වාහනයකින් ඡන්දපොළට යද්දී ගියේ අපේ තාත්තාට අත වනමින් මුව පුරා සිනාසෙමින්ය. අපේ ගේ ඉදිරිපිටදී පෙළපාළියේ සද්දෙ වැඩි වුණත් ඔවුහු අපට කිසිදු කරදරයක් නොකළෝය. අපි ද සටන් පාඨ මැද්දේ රිද්මයට උඩ යන සැම්සන් දෙස බලා සිටියෙමු.
හත් වසරක් ගෙවී ගියේය. ඒ අතර හැත්තෑ එකේ අප්‍රේල් කළබල දවස්වලදී, දවස පුරා ඇඳිරි නීතිය දැමූ දවසක පාන් බයිසිකලයක් ගෙනැවිත් පාන් බෙදන්නට නාගරික මන්ත්‍රීවරයාට සිදුවිය. හැත්තෑ දෙක තුන වනවිට මහා දුෂ්කර කාලයක් ආයේය. එවිට පාන් බෙදුවේ නාගරික මන්ත්‍රීවරයාගේ ගෙදරය. ප්ලේන්ටිය බිව්වේ රට ඉඳි සමඟය. මැයි පෙළපාළියේ සටන් පාඨය වූයේ,
“මිරිස් නැතුව හොදි කනවා
සීනි නැතුව තේ බොනවා” යන වැකියයි.
ඒ රජයට සහයෝගය දුන් අයගේ සටන් පාඨයකි. ජේ. ආර් ප්‍රමුඛ එජාපය 73දී සත්‍යග්‍රහ කළේය. හැත්තෑ පහේදී පමණ එජාපය සිවිල් නීති කඩ කරන්නට උත්සාහ ගත්තේය. සිකුරාදාට හෝටල්වල ප්‍රධාන ආහාරය වූ බත තහනම් විය. එදාට අල, බතල, මඤ්ඤොක්කා දවල් කෑමට හෝටල්වල තැබීමට නියම විය.
“සිවිල් නීති කඩ කෙරුවොත්
ඇහේ ඉඳන් හම ගහනවා
හම ගහලා බෙර හදනවා
බෙර බැඳගෙන අපි නටනවා”
මේ රජයට සහයෝගය දුන් අයගේ සටන් පාඨයකි. පාරවල සහල් පොලු, මිරිස් පොලු වැටිණි. ගම්බද උදවියට වඩා සෙම්බරන් කොටුවට අමාරුව දැනුණේය. හැත්තෑ හයේ දෙසැම්බරයේ ඇරඹි දුම්රිය වර්ජනය ජනවාරි දක්වාම ඇදී ගියේය. ජනතාව දුම්රිය පාරේ මඤ්ඤොක්කා හිටෙව්වේ රජයට ඔලොක්කුවටය.
හැත්තෑ හය වසරට පෙරම දෙහිවල ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය දෙකට බෙදිණි. ලලිත් ඇතුලත්මුදලි මහතා හැත්තෑ හයේදීම ගෙයින් ගෙට ගොස් මැතිවරණයට සූදානම් වූයේය.
හැත්තෑ හතේ මැතිවරණ දිනයට දවස් කිහිපයක් තියා සෙම්බරන් කොටුව කොළ පාට කොඩි වැල්වලින් වැසී ගියේය. කොළ පාට කොඩි වැල්වලින් සෙම්බරන් කොටුව ඉහළින් වියන් බැඳුණේය.
මැතිවරණ ප්‍රතිඵල එද්දී මුලින්ම ආවේ හැටන් මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵලයයි. ටික වේලාවකින් ප්‍රතිඵල ඒම නැවතී තිබිණි. ඉන්පසු එක පෙළට එජාපය දිනට ප්‍රතිඵල නිකුත් වූයේ. ලලිත් ඇතුලත්මුදලි ඡන්ද 19972ක් ලබා (සී. වී. ගුණරත්න ඡන්ද 12141) වැඩි ඡන්ද 7831කින් ජයගෙන තිබිණි. තුන්වැනි ස්ථානයට පත් විවියන් ගුණවර්ධන ලබා තිබුණේ ඡන්ද 3055කි.
පසුවදා හවස 3 පමණ වනවිට මහ පෙළපාළියක හඬ අපේ වීථියේ පහළින් ඇසෙන්නට ගත්තේය.
“ඔන්න බබෝ අලි එනවෝ”
සෙම්බරන් කොටුව ළඟදී කොළ තොප්පි පැළඳි මහ සෙනගක් පෙළපාළියට එක් වූහ. ඒ අතර සැම්සන් ද උන්නේය. වෙනදා ඇඳි සුපුරුදු ඇඳුමට අමතරව ඔහු කොළ තොප්පියක් ලාගෙන සිටියේය. පෙළපාළිය ඉදිරියෙන්ම සුප්‍රසිද්ධ ගායක එම්. එස්. ප්‍රනාන්දු ද පැමිණියේය. පිරිස එක්වී සැම්සන්ව රිද්මයට උඩ දමන්නට ගත්තෝය. සිනා සිසී උඩ ගිය සැම්සන්ගේ සරමට යටින් ඇඳි නිල් පාට කලිසම 70දී මෙන්ම දිස් වූයේය.
අපි දොරකඩට වී පෙළපාළිය දෙස බලා උන්නෙමු. තාත්තා උපේක්ෂාවෙන් යුතුව පෙළපාළිය දෙස බලා සිටියේය්. අලුත් යූ. එන්. පී.කාරයන් තාත්තාව අඳුරන්නේ නැත.
සැම්සන් රුපියල් තිහට දුන් ඔරලෝසුව සාලයේ සයිබෝට්ටුව මත කදිමට දිස්වූයේ රෑටය. එහි කටුවලිනුත් ඉලක්කම්වලිනුත් ලා කොළ පාට පොස්ෆරස් එළිය විහිදුණේය. එම ඔරලෝසුවේ එලාර්ම් එක කඩින් කඩ පස් පාරක් වැදුණේ ඉබේමය. ඒ අතරවාරයේ ඔරලෝසුව පිටුපස ඇති ඇනය ඔබා එලාර්මය නතර කළ හැකි වූයේය. ටික කලක් යනවිට එලාර්මය කඩින් කඩ වැදීම නතර වී එක දිගට එලාර්ම් පහම වදින්නට ගත්තේය. කවුරු හෝ ඇනය ඔබා නතර කළහොත් පමණක් එලාර්මය නැවතුණේය. එකදිගට විනාඩි දහයක් පමණ එලාර්ම් සීනු හඬ ඇසෙනවාට වඩා කබ කඩ කඩා අවුත් ඇනය ඔබා එලාර්මය නැවැත්වීමෙන් හිතටත් ගතටත් සහනය ලැබුණේය.
සමන් පුෂ්ප ලියනගේ