2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

තත්ත්වෙට ගැලපෙන ලෙසට කටයුතු කළ යුතුයි

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

බුදු රජාණන්වහන්සේ විශාලා මහනුවර කටාගාර ශාලාවේ වැඩවාසය කළා. විහාරයට නිතර යන එන තෙරැවන් නමදින උපාසකයෙක් උන්නා. ඔහු දක්ෂ කරනවෑමියෙක්. ඔහු තමයි එනුවර රජතුමාගේ සිටුවරුන්ගේ දැළි රැවුල් බෑම, කෙස් කැපීම කළේ.

මේ කරනවෑමියා දවසක් රජගෙදර අයගේ කෙස් කැපීම සඳහා යනවිට සිය තරුණ පුතත් එක්ක ගියා. ඒ වනවිට රජගෙදර හිටියා දුටුවන් නෙත්සිත් ඇදගන්නා අතිශය රූමත් කුමාරියක්. කරනවෑමියාගේ තරුණ පුතා ඇය දැකීමෙන් විස්මයට පත් ආශාවක් ඇති කර ගත්තා. ආපසු ගෙදර ආවා. ඒ රූමත් කුමාරිය ගැන සිත සිතා උන්නා. නොකානොබී ඇය ගැනම කල්පනා කළා. පසුව ඔහු යහන්ගතවම උන්නා. කරනවෑමියා පුතාගෙන් ඇසුවා උඹට මොකද වෙලා තියෙන්නේ. කන්නෙත් බොන්නෙත් නැතිව කල්පනා කරන්නේ. උඹේ හිතේ තියෙන දෙය කියාපන් මට පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම් කිව්වා.

පුතා නිහඬව පියා දෙස බලා සිටියා.

පියා නැවැත නැවැත පුතාගෙන් කාරණය ඇසුවා?

බැරිම තැන පුතා කිව්වා. මට එදා රජගෙදර උන් ලිච්චවි කුමාරි සරණපාවා ගන්න ඕනෑ. ඒක කරදෙන්න කියා.
පුතේ උඹ මොනවද මේ කියන්නේ. උඹ ඉස්සර වෙලා උඹේ තරම දැනගනින්. අපි කවුරුද? ඒ කුමරිය ළඟ. අහසයි පොළොවයි වගේ. ඇයි පුතේ උඹ දන්නේ නැද්ද අපි කරනවෑමියෝ බව. හීන කුලයේ උපන් අය. ඒ කුමරිය උභය කුල පාරිශුද්ධ රාජා වංශයේ උපන් කුමරියක්. ඒ කන්‍යාව උඹට මේ ආත්මයේ නම් ලබාගන්න බෑ. ඒ නිසා පුතේ විකාර නැතිව හිත හදාගනින්. මම අපට ගැලපෙන රූමත් තරුණියක් උඹට සරණ පාවා ගෙනත් දෙන්නම්. දැන් ඉතින් නැගිටලා මොනවා හරි කාලා හිටපන්. පියා කිව්වා.

පියාගේ අවවාද පුතා ඇසුවේ නෑ. කුමරිය ගැනම හිත හිතා උන්නා. ඉන් ඔහු රෝගාතුර වුණා. පියා දුක් වුණා. වෙද හෙදකම් කළා. නොයෙක් දේ කළා. පුතාගේ හිත හදවන්න. පියාට බැරිව ගියා. රෝගය උස්සන්න වී ඔහු මිය ගියා.
මේ අසරණ කරනවෑමියා මහත් කම්පාවට පත්වුණා. පුතාගේ ආදහන කටයුතු නිම කළා. බුදුන් වැද එකත්පස් වුණා.

උපාසක ඇයි මෙතෙක් කල් විහාරයට නාවේ බුදුහු විචාලා. 

ස්වාමීනී! මගේ පුතාගේ වියෝව නිසා මම තාමත් ඉන්නේ දුකින්.

ඇයි උපාසක දුක් වන්නේ. ඒ ඔහු යායුතු ගමන ගියා. ඔබ ඔහුට එන්න කීවෙත් නෑ. යන්න කීවෙත් නෑ. ඔහු ආවා ගියා විතරයි. බුදුහු වදාළා. 

කරනවෑමියා නිහඬව බුදුන්වහන්සේ දෙස බලා උන්නා. ඔහුගේ දෙනෙතේ කඳුළු පිරුණා.

උපාසක තම තමන් තමාගේ තත්ත්වය දැන ජීවත් විය යුතුයි. එසේ කටයුතු කළ යුතුයි. ඔබේ පුතා මේ වර නොවේ පෙරත් නීච කුලයේ ඉපිද උසස් කුලයේ අය ගැන සිතිවිලි ඇතිකර ගෙන බලාපොරොත්තු සුන්කර ගෙන විනාශ වුණා. බුදුන් ප්‍රකාශ කළා.

ස්වාමීනී! ඒ කෙසේ දැයි පහදා දෙනු මැනවි කරනවෑමියා ඉල්ලා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ මෙම කතාව වදාළා.

හිමාලයේ රත්ගල්තලාවේ බොහෝම නැණවත් සිංහයෙක් උන්නා. ඌට සහොදරයෝ සත්දෙනෙක් සහ සහෝදරියක් උන්නා. ඒ සහෝදරිය තමයි පවුලේ බාලයා. හරි හුරැබුහුටියි. සුරතල් ධේනුවක්. මේ රත්ගල්තලාව එක්කම වගේ පළිඟු ගුහාවක් තිබුණා. පළිඟු ගුහාව යට තිබුණේ රිදී ගුහාවක්. එහි නරියෙක් වාසය කළා. 

ඒ අතර මේ සිංහයන්ගේ මව්පියන් මිය ගියා. නංගී රැකබලා ගැනීම සිංහයන් පිට පැවැරුණා. ඔවුන් ඉතා ඕනෑකමින් එය කළා. නංගිට ගුහාවෙන් පිටයන්න දුන්නේ නෑ. සහොදරයන් අටදෙනාම සතුන් මරා උන් කෑම කා නංගිටත් ගෙනත් දුන්නා. හොඳට රැකබලා ගත්තා. බොහොම සතුටින් සාමයෙන් මේ සිංහයෝ කල්ගෙව්වා. 

ටික දිනක් ගතවුණා. සිංහ ධේනුව එන්න එන්නම ලස්සන වුණා. රිදී ගුහාවේ උන් නරියාට සිංහ ධේනුව සමඟ සංවාසයේ යෙදෙන්න ආශාවක් ඇති වුණා. ඌ සහෝදරයන් කෑම සොයා යනකන් බලා උන්නා. උන් පිටවී ගියාට පසු සිංහ ගුහාවට ගියා. දොරකඩට වෙලා ශබ්ද කළා.

සිංහ ධේනුව එළියට ආවා.

නරියා මනමාල හිනාවක් දැම්මා.

ඇයි ඔබ ආවේ. කුමක්ද උවමනාව ධේනුව ඇසුවා.

බලන්න. ඔබත් සතර පා ඇත්තියක්. මමත් සතර පා ඇත්තෙක්.

ඔව්. අපි සිව්පාවෝනේ. ඉතින් කුමක් ද කියන්නේ.

නෑ ඉතින් අපි සමාන අයනේ.

මේ අනම් මනම් නොකියා ඔබ ආ කාරණය කියපන්.

මට ඔබ දැක්ක දා ඉඳලා ලොකු ආශාවක් ඇතිවුණා.

ඒ කුමක් සඳහා ද?

ඔබ කැමැති නැද්ද මගේ බිරිය වන්න.

මේ නරියෝ අපි සිව්පාවුන් වුණාට ඔබ කැලේ ඉන්න නීච ජාතියේ එකෙක් මම සිව් පාවුන්ගේ උසස්ම ජාතියේ. කොටින්ම උඹයි මමයි අතර පරතරය අහසයි පොළොවයි වගේ. මට වද නොදී පලයන් සිංහ ධේනුව කෝපයෙන් කිව්වා. 
නරියා එය ගණන් ගත්තේ නෑ රාගනීශ්‍රිත කතා කිව්වා. සිංහ ධේනුව කෝපයෙන් පුපුර පුපුර හිටියා. ටික වේලාවක් ඉඳ නරියා ගියා. මේ අතර සිංහ සහෝදරයෙක් නංගිට කෑම අරන් ආවා. වෙනදට වඩා නංගී වෙනස් වෙලා. මොකද ඔබට වුණේ. සෝකයෙන් වගේ ඌ ඇසුවා. එවිට සිංහ ධේනුව නරියා ගැන සිද්ධිය කිව්වා. ඌට තරහ ආවා. නරියා සොයාගෙන ගියා. රත්ගල් තලාවට නැග්ගා. පහළ වුන් නරියාගේ ඡායාව පළිඟු ගුහාවේ වැටී තිබුණා. සිංහයා හිතුවා මේ නරියා කියා පළිඟු ගුහාවට පැන්නා. ගුහාවේ උගේ පපුව වැදී පැළුණා. ඉන් මිය ගොස් පහළට වැටුණා. ඒ අතර තවත් සහෝදරයෙක් ආවා. ඌටත් නරියා ගැන කිව්වා. අයියා ඌ සොයා ගියා තාම ආවේ නෑ කිව්වා. ඌත් නරියා සොයා ගොස් පළිඟු ගුහාවේ ඡායාව දැක පැන ජීවිතය නැති කර ගත්තා. එසේ නංගී නිසා නරියා සොයන්න ගිහින් සොහොයුරන් හත්දෙනාම විනාශ වුණා. මේ අතර ණැනවත් සිංහයා ආවා. ඌටත් නරියා ගැන කිව්වා. අයියලා ඌ සොයා ගියා. තාම ආවේ නෑ. සිංහ ධේනුව කිව්වා.
නැණවත් සිංහයාත් ගියා. රත්ගල්තලාවට නැග්ගා. වටපිට බැලුවා. නරියාගේ ඡායාව පළිඟු ගුහාවේ දැක්කා. කලබල වුණේ නෑ. ටිකක් වෙලා කල්පනා කළා. රත්ගල්තලාවෙන් පහළට බැස පළිඟු ගුහාවේ පාමුලට ගියා. සහෝදරයෝ හත්දෙනාම එතැන මැරී වැටී සිටියා. ඌට දුක හිතුණා. රිදී ගුහාවට ගියා නරියා උන්නා. සිංහ නාද කළා. ඉන් බිය වූ නරිය බියවී ළය පැලී මළා. සිංහයා ආපසු ආවා සහෝදරයන් මිය ගොස් ඇති බව නංගිට කිව්වා. ඒ ධේනුව අඬන්න වුණා. සිංහයා ඇයට කරුණු කාරණා කියා සනසා ගත්තා. එදා ඒ නරියා තමයි ඔබේ පුතා බුදුහු වදාළා.

සිඟාල ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක