2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ලංකාවේ තෙල් මිලට වැදුණු සෞදි ප්‍රහාරය

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

ප්‍රහාරය එල්ල කළේ තමා බව යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරළිකරුවන් පවසා තිබේ. යේමනය සෞදියේ අසල්වැසි රටක් වන අතර මෙම මුස්ලිම් කැරළිකරුවන්ට ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයේ සහය ලැබී ඇතැයි දැනගන්නට ඇත.

සෞදියට අයත් ඇරම්කෝ සමාගමේ අබිබායිබි සහ බහාරිස් යන පළාත්වල පිහිටි බොරතෙල් පරිශ්‍රවලට මෙම ප්‍රහාර එල්ලවූ අතර මේවායින් දිනකට නිකුත් කරන බොරතෙල්වලින් බැරල් ලක්ෂ 50-60කට පමණ හානි සිදුව තිබේ. මෙය එරට තෙල් නිෂ්පාදනයෙන් හරි අඩකි. මේ අනුව අවම වශයෙන් මසකට බොරතෙල් බැරල් මිලියන 150ක පමණ නිෂ්පාදනයක් අඩුවීමට හේතුවී ඇත. ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් වන සෞදි අරාබිය අද වනවිට ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදකයා බවට පත්ව සිටී. එපමණක් නොව ලොව ඇතිවන හදිසි ස්වභාවිත විපත් හා යුද ගැටුම් වැනි අවස්ථාවලදී සැපයීමට හැකිවන සේ බොරතෙල් සංචිතයක් සෞදියේ ගබඩා කර තබාගෙන ඇත. එසේ වුවද මේ වනවිට නිෂ්පාදනය පහළ වැටී ඇති බැවින් තවදුරටත් එම සංචිත පවත්වා ගෙන යාහැකිදැයි ප්‍රශ්නයක් මතුවී තිබේ.

කෙසේ වුවද යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර කිරීමට සෞදිය මේ වනවිට උත්සහ දරමින් සිටින බවට ද වාර්තා වෙයි. ඒ හේතුවෙන් යේමනයේ තෙල් නිධිවලට ද හානි සිදුවී ඒවායේ නිෂ්පාදන විනාශ වුවහොත් එයද ලොව තෙල් නිෂ්පාදනය අඩපණ කිරීමට තවත් හේතුවක් වෙනවා ඇත. එහි ප්‍රතිඵල ද ලොව සෙසු රටවලට අහිත කර ලෙස බලපානවාට සැකයක් නැත.

දැනටමත් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යාමට මෙයද ප්‍රධාන හේතුවක් වනවාට සැකයක් නැත. මෙවැනි අහිත කර තත්ත්වයකට ලොව තෙල් ආනයනය කරන දුප්පත් රටවලට මුහුණපාන්නට සිදුවීම ඔවුන්ගේ ආර්ථික දියුණුවට පහරක් වනවා ඇත.

සෞදි අරාබියේ “ඇරැම්කො” Aramco රාජ්‍ය ඛණිජ තෙල් ව්‍යාපාරයට අයත් ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාර නිසා සිදුවූ තෙල් අපනයනය පහළ බැසීම මේ වනවිට ලෝක තෙල් වෙළෙඳ පොළට සෑහෙන බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇත. 16 දා වනවිට වෙළෙඳ පොළේ තෙල් මිල සැලකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා විය. එම මිල ගතවූ මාස 4 තුළ වාර්තා වූ ඉහළම මිල බව ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර තෙල් සැපයුම සියයට 5කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.

ප්‍රහාර තෙල් පරිශ්‍ර දෙකේ විනාශ වූ තෙල්වල ධාරිතාව ලෝක වෙළෙඳ පොළේ තෙල් අවශ්‍යතාවෙන් සීයයට 1ක් පමණය. සෞදිය තෙල් නිෂ්පාදනයට අදාළව ගන්නා තීරණ ලෝකයේ තෙල් වෙළෙඳාම කෙරෙහි  පමණක් නොව ගෝලීය ආර්ථිකය කෙරෙහි ද දැඩි බලපෑමක් සිදුකර ඇති බව දැනටමත් අනාවරණය වේ. මෙම තත්ත්වය අප රටට ද බලපාන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.95 ලෙස මේ වනවිට සටහන් වී ඇති අතර එය සීයයට 19ක ඉහළ යාමකි. එක්සත් ජනපද “වෙස්ට් ටෙක්සාස් ඉන්ටර් මීඩියට්” බොර තෙල් මිල ද සීයයට 15කින් ඉහළ ගියේය. එම බොර තෙල් බැරලයක විකුණුම් මිල අමෙරිකානු ඩොලර් 63.34ක් විය.

කෙසේ වුවද තෙල් මිල ඉහළයාම පාලනය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් තම ගබඩාවලින් තෙල් නිකුත් කිරීමට පටන්ගැනීම නිසා වැඩිවූ තෙල් මිල මේ වනවිට සුළු වශයෙන් පාලනය වී තිබේ. එහෙත් එය සෑම විටම කළ හැකි නොවන්නේ අමෙරිකාවේ ඇත්තේද සීමිත තෙල් තොග නිසාය. කෙසේ වුවද ප්‍රහාරවලට ලක්වූ සෞදියේ තෙල් පර්යන්ත යථා තත්ත්වයට පත්කිරීමට තව සති කිහිපයක් ගතවනු ඇති බව ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එතෙක් මෙම ගැටලුවට විසඳුමක් ලබාගැනීම ප්‍රමාද වනවා ඇත.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද යන්න පිළිබඳ මේ දිනවල බොහෝ අංශවල කතාබහට ලක්ව තිබේ. මෙම ගැටලුව නිසාම පමණක් නොව දැනට ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 182 දක්වා පහළ ගොස් තිබීමද මෙහි අනිටු විපාක තීව්‍ර කිරීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ තවදුරටත් නොවූ පරිදි රුපියල බාල්දු වී තිබීම ඉක්මනින් යළි යථා තත්ත්වයට පත්කිරීම දුෂ්කර වී ඇත. ඒ තත්ත්වය මත ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල යම් විදිහකින් ඉහළ නැංවුව හොත් එය අපට විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති බව පෙනීයයි.

මේ පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්නී ප්‍රේමා පොඩිමැණිකේ මෙසේ පවසයි

“අපේ රටේ සමස්ත ආර්ථිකයම දුවන්නේ තෙල් මත බව අමුතුවෙන් කිව යුතු නැහැ. ලෝකයේ සිදුවන සුළු විචල්‍යයක් වුවත් අපට විශාල ලෙස අහිතකරව බලපාන්න පුළුවන්. ඒ අන්දමට තෙල් මිල ලොකුවට වැඩි වුණොත් ආණ්ඩුවට සිද්ධ වෙන්නේ එම මිලට සමගාමීව අපේ මිල වැඩි කරන්නයි. ඒ හැර වෙනත් විකල්පයක් නැති බවයි කිවයුත්තේ. මෙහෙම මිල වැඩිකරන විට ආණ්ඩුව තම ආදායමටත් යමක් එකතු කරගන්න පුළුවන් විදිහට මිල වැඩිකරන බවයි අපට අත්දකින්න ලැබී තිබෙන්නේ. මෙවරත් ඒ අන්දමට කටයුතු සිද්ධ වෙයි.

කෙහොම නමුත් දැනට ජාත්‍යන්තරව මුහුණ පාන්නට සිදුව ඇති වාතාවරණය අනුව දිගටම තෙල් නිෂ්පාදනය අඩාලව තිබුණොත් අපේ තෙල් මිල වැඩි කිරීම හැර විකල්පයක් නැහැ. එසේ වුවත් සෞදි අරාබිය තම තෙල් මධ්‍යස්ථාන ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරන්නට පටන්ගෙන ඇති බව දැනගන්න තිබෙනවා. එහෙම වෙලා ඒවායේ තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කළහොත් එකවරම තෙල් මිල වැඩි කිරීමේ අවදානමක් ඇති වෙන්න බැහැ. අමෙරිකාව තම තොගවලින් තෙල් මුදාහැරියත් එය දිගටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. එයට හේතුව ඒ අයගේ තෙල් සම්පත ද සීමා සහිත නිසා ඒ අය සෞදියට උදව් කිරීම සඳහා යම් තෙල් ප්‍රමාණයක් දෙන්න පුළුවන්. එහෙත් එය දිගටම අල්ලා සිටින්න පුළුවන් දෙයක් නොවෙයි.

ලොව තෙල් මිල වැඩි නොවුණත් අපේ රැපියල අවප්‍රමාණ වීම ඉතාම අයහපත් මට්ටමට ගිහින් තිබෙන නිසා එයට සාපේක්ෂව අනාගතයේදී තෙල් මිල වැඩිකරන්න වේවී. මේ හේතු දෙක එකට එකතුවුණාම තත්ත්වය භයානක විය හැකියි. අනිත් අතට ඉන්ධන මිල සූත්‍රය නිසා මාසයේ සෑම 10 වැනිදාම තෙල් මිල වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියා කීවාට වැඩියෙන් වෙන්නේ ඉහළ යාමයි. ඒ නිසා ලබන 10දා වනවිට තෙල් මිල වැඩිවෙන්න පුළුවන්. එහෙත් නුදුරු දිනවල එන මැතිවරණ උණුසුම නිසා ඉදිරියේ තෙල් මිල විශාල ලෙස වැඩිවන එකක් නැහැ. ඒත් ඊට පසු මොකක් වේදැයි සිතන්න බැහැ.

ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල 
ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තත්ත්වය මත ඉදිරියේදී බොර තෙල් මිල ඉහළ යාමට ඉඩ තියෙනවා. යම් ලෙසකින් බොරතෙල් නිෂ්පාදනය පහළ යාමට පුළුවන්. සෞදිය කියන්නේ විශාල වශයෙන් තෙල් නිෂ්පාදනය කෙරෙන ඔපෙක් සංවිධානයට අයිති රටක්. ලෝකයේ තෙල් මිල තීරණය කරන්නේ එම රටවල්. ඕනෑම භාණ්ඩයක නිෂ්පාදනය අඩුවූ විට මිල ඉහළයාම සිදුවෙනවා. සෞදියේ තෙල් නිෂ්පාදනාගාරවලට එල්ල වූ ප්‍රහාර නිසා කෙටි කාලයකට හෝ යම් පමණකට තෙල් නිෂ්පාදන පහළ යනවා. ඒ නිසා තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාව වැඩියි.

මෙම ප්‍රහාරය එල්ල වී සතියක් ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 7-8කින් ඉහළ යාමෙන් මෙය පැහැදිලියි. මේ තත්ත්වය ලොව අනිත් රටවලට වඩා අපේ රටට දරුණුව බලපාන්නේ එයට අතිරේක වශයෙන් මේ වනවිට අපේ රුපියල අවප්‍රමාණ වීම වේගවත් වීම නිසා තෙල්වලට ගෙවන්න සිදුවන රුපියල් ප්‍රමාණය වැඩිවීම නිසයි. ඒ නිසා දෙපැත්තකින් අපට මෙය අහිතකරව බලපානවා.

හඳුන්වාදී ඇති මිල සූත්‍රය යම් අවස්ථාවේදී ඒ හැටියෙන්ම ක්‍රියාත්මක කළොත් ගැටලුවක් මතුවිය හැකියි. පසුගිය සමයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවූ විට අපේ තෙල් මිල අඩු කළේ නැහැ. වරක් අඩු කළත් එය ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඩුවීමට සාපෙක්ෂව සමාන්තර වුණේ නැහැ. ඒ නිසා එයින් පාරිභෝගිකයාට සිදුවූයේ විශාල අගතියක්. එබැවින් මේ අවස්ථාවේ එකවරම ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ ගියායැයි අපේ තෙල් මිල වැඩි කළොත් අසාධාරණයි. ආණ්ඩුව වැඩි නොකිරීමට හේතුයි සෙවිය යුත්තේ. වැඩි කිරීමට හේතු නොවේ.

බොරතෙල් ආශ්‍රිත නිෂ්පාදනවලට විශාල බදු මුදලක් රජය අයකරනවා. මේ බදු අඩු කළොත් පැට්‍රල් ලීටරය රුපියල් 80-85 පමණ මුදලකට දෙන්න පුළුවන්. යම් විදියකින් තෙල් මිල විදේශීය වශයෙන් ඉහළ ගියහොත් ආණ්ඩුව කළ යුත්තේ අයකරන බදු ප්‍රතිශතය අඩු කරලා ඉන්ධන මිල පහළ දැමීමයි. මිල වැඩිවීමේ පරතරය ආණ්ඩුව බාරගත යුතුවෙනවා. අපගේ අදහස නම් ඉන්ධන මිලට සෑහෙන කාලයකට ස්ථාවර මිලක් නියම කළයුතු බවයි. එවිට රටේ ආර්ථිකයට සිදුවන යහපත විශාලයි. එහෙම නැතුව මිල සූත්‍රයක් තබාගෙන මසින් මසට මිල එහෙ මෙහෙ කිරීම පොදු මහජනතාවට වාහන හිමියන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද අහිත කරයි. ඒත් ආණ්ඩුව කරන්නේ ඉන්ධන මිල වැඩි වූ විට ඊටත් වඩා වැඩි මුදලකට අපේ මිල ඉහළ නංවා එතැනින්ද පාරිභෝගිකයා සූරාකෑමයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සහ අමාත්‍යාංශයේ සිදුවන දූෂණ - වංචා හා අකාර්යක්ෂමතාව අඩු කළහොත් වැඩිවන ඉන්ධන මිල ජනතාව මත පටවන්න අවශ්‍ය නැහැ. ඒත් ඒවා එහෙම තබාගෙන හේතු ඉදිරිපත් කිරීම සුදුසු නැහැ. ජනහිතකාමී ආණ්ඩුවකින් බලාපොරොත්තු වන දෙයක් නොවෙයි එය.

► යසවර්ධන රුද්රිගු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00