විනෝදාංශයක් ලෙස පියාසැරි යානා තනන පරම්පරා තුනක සාමාජිකයන්ගෙන් යුතු පවුලක් ගැන මීගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. එහෙත් ඔවුන් තැනූ එක් අයකුට පමණක් පියාසර කළ හැකි සැහැල්ලු ගුවන් යානය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නිවසේ කාමරයක දමා දොරගුළු ලා තිබේ. තවත් ආරක්ෂිත කාමරයක හා ඔවුන්ගේ පර් යේෂණ කාමරය තුළ දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන, ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද කුඩා ගුවන් යානා ආකෘති [Model aircraft] ගබඩා කර ඇත.
දරු මුණුබුරන්ට පෙනෙන්නට පමණක් ඔවුන්ගේ නිවස පිහිටි සීමාවේ ඉතා පහතින් එම කුඩා යානා ඉඳහිට පියාසර කරවීමට දැන් ඔවුන්ට සිදුව තිබේ. මේ පවුලේ සාමාජිකයන් සතුව ගුවන් යානා තාක්ෂණය හා අනෙකුත් නව නිපැයුම් අත්හදා බලන්නට වෙන්කළ පර් යේෂණ කාමරයක් ඇත. බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණු එය අංකුර නිර්මාණකරුවන්ට උත්තේජනය සපයන ස්ථානයකි.
ශ්‍රී ලංකාවේ වැඩිම ගුවන් යානා ආකෘති සංඛ්‍යාව තමන් සතු බව කියන මේ පවුලේ ප්‍රධානියා එඩ්වඩ් පෙරේරාය. ඔහු මෙන්ම වැඩිමහල් පුත්‍රයා වන කොලින් පෙරේරා පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ එකම දිනකය. ඔහුගේ අනෙක් පුත්‍රයා වන අමිත් පෙරේරා සහ මුණුපුරෝද විනෝදාංශයක් ලෙස ගුවන් යානා තාක්ෂණය අත්හදා බලමින් සිටිති. මේ පවුලේ එකම දියණිය මෘදුකාංග ඉංජිනේරැවරියක වන මිහිකා පෙරේරාය. ඇය පියාට සහ සොහොයුරන්ට ගුවන් යානා සැලසුම් කිරීමේදී මතු වන තාක්ෂණික ගැටලු නිරාකරණය කර දෙන්නීය.
පොලිස් අත්අඩංගුවට
සිය විනෝදාංශය නිසා මොවුන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථා ද තිබේ.
“නීති නොදන්නා නිසා ඇතැම් නිලධාරීන්ගෙන් අපට අනන්තවත් හිරිහැර වෙලා තිබෙනවා. හත් අට වතාවක් මාව පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුව කියලා තිබුණ මෙයා නීතියට අනුව වරදක් කරල නෑ කියලා...” යනුවෙන් එඩ්වඩ් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේය.
මීගමුව නගරය ආසන්නයේම කර්මාන්ත ශාලාවක ඇතුළු කාමරයක එඩ්වඩ්ගේ පරීක්ෂණාගාරය පිහිටා තිබේ. යන්ත්‍ර සූත්‍ර පසුකර ගොස් එම කාමරයට ඇතුළු වනවිට ඇති වූයේ කුතුහලය පිරි හැඟීමකි. එඩ්වඩ් පවුලේ සාමාජිකයන් අතින් නිර්මාණය කෙරුණු ආකෘති ගුවන් යානා බොහොමයක් පරීක්ෂණ කාමරය තුළ දක්නට ලැබේ.
එමෙන්ම ගුවන් යානා ආකෘති නිර්මාණය පිළිබඳ නවීන තාක්ෂණික දැනුම සහිත ලොව ප්‍රකට සඟරා, නව නිර්මාණවලට අදාළ ඉංජිනේරු සැලසුම් මෙන්ම විවිධ ක්ෂේත්‍රවලට අයත් නව නිපැයුම් එහි දක්නට ලැබේ. ඒ අතරින් ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානීන් සමඟ එඩ්වඩ් ගත් ඡායාරූප පෙළක් දෙස අපගේ නෙත් යොමු විය. ඒ ගැන විමසීමේදී එඩ්වඩ් පෙරේරා පැවසුවේ එම ඡායාරූප තමන්ගේ මෙම පරීක්ෂණ කාමරයේ පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර ඒ ගැන මෙතෙක් කිසිදු මාධ්‍යයකට හෙළි නොකළ රහසක් පළමුවරට බීබීසී සිංහල සේවය ඔස්සේ හෙළි කරන බවය.
“යුද්දේ කාලේ මට අවස්ථාවක් ලැබුණා මිනිසුන් රහිත ගුවන් යානාවක් හදලා දෙන්න ගුවන් හමුදාවට. ඒ අවස්ථාවේ ගත්ත ඡායාරෑප තමයි ඔය තියෙන්නේ. මම මේ වෙනුවෙන් කිසිදු මුදලක් ගත්තේ නෑ. ඒක ඉතා රහසිගතව සිද්ධ වුණු දෙයක්. මේක දැන් කියන්න තහංචියක් නෑ කියලා මම විශ්වාස කරනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. එඩ්වඩ් පවසන ආකාරයට 2000 වසරේදී එම යානය ගුවන් හමුදාවට භාර දී තිබේ.
රතිඤ්ඤා එතීමට ගෙනා කොළවලින් ඇරඹූ ගමන
මේ වනවිට 73 වැනි වියේ පසුවන එඩ්වඩ් පෙරේරා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙකි. එකල ඔවුන්ගේ නිවාස පිහිටියේ කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේය. එවක එය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නොවූවද රාජකීය ගුවන් හමුදාවේ සංදර්ශන නැරඹීමට 1958 දී පමණ කාලයක සිට තමන් එහි ගිය බව එඩ්වඩ් පවසයි. ඒ හරහා ගුවන් යානා පිළිබඳ ආශාවක් ඇති වන්නට පසුබිම සැකසී ඇත.
පියා ගෘහ කර්මාන්තයක් ලෙස රතිඤ්ඤා නිෂ්පාදනය කළ අතර රතිඤ්ඤා එතීමට අවශ්‍ය කොළ රැගෙන ඒමට දිනක් එඩ්වඩ් නිවසින් පිටත්ව ගිය අතරේ ඔහුට ගුවන් යානාවල ඡායාරූප ඇතුළත් සඟරා කිහිපයක් හමුවී තිබේ. ඒ සඟරාවලට ඇති වූ ආශාව නිසා ඒවා තමන් ළඟ සුරැකිව තබාගත් බව එඩ්වඩ් පැවසුවේය.
“මම තාත්තට කිව්වා රතිඤ්ඤා ඔතන්න මේ සඟරා ටික නම් දෙන්න බෑ කියල. මම ඒවායින් තමයි දැනගත්තේ ආකෘති ගුවන් යානා කියල වර්ගයක් තියෙනවා. ඒවා බලාගෙන තමයි ලොකු ගුවන් යානා හදන්නේ කියලා. ඒ කාලේ ඔක්කොම මට හිනා වුණා.” එඩ්වඩ් සිය මතකය අවදි කළේය.
50 දශකයේ මීගමුව ආශ්‍රිතව කොහු මෝල් සහ මිරිස් මෝල් වැඩි වශයන් පිහිටා තිබුණු බව එඩ්වඩ් පවසයි. එම මෝල්වල පිහිටි විශාල යන්ත්‍ර සූත්‍ර දැක බලා ගැනීමට ඔහු වැඩිහිටියන්ගේ අතේ එල්ලී නිතර ගිය බව සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි.
“මම ඒ කාලේ ඉඳන් හරි ආසයි මේ කැරකෙන පුදුම හිතෙන දේවල් බලන්න. 1952 මාරිස්ටෙලා ඉස්කෝලේ හිටපු සුදු බ්‍රදර් කෙනෙක් අපිට එන්ජිමක කුඩා ආකෘතියක් ගෙනත් පෙන්නුවා. ඒක වැඩකළේ වාෂ්ප බලයෙන්. හරියට අපේ ගමේ ලොකු මෝල්වල තිබුණ එන්ජිමක් වගේමයි. 65දී අපේ ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකට මම ඒ වගේම වාෂ්ප එන්ජිමක් හදලා පළවෙනියා වුණා...” යැයි එඩ්වඩ් පැවසුවේ අදටත් සිය පරීක්ෂණ කාමරය තුළ ඇති, තවමත් ක්‍රියාත්මක කළ හැකි එම ‘ජයග්‍රාහී එන්ජිම’ පෙන්වමිනි.
වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක්
වාෂ්ප බලයෙන් ක්‍රියාකරන යන්ත්‍ර සූත්‍ර නිපදවන්නට කුඩා කළ ඇති වූ ආශාව අදටත් ඔහු තුළ පවතී. එබැවින් මේ දිනවලත් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන තවත් නිර්මාණ කිහිපයක් එඩ්වඩ් අත්හදා බලමින් සිටී. ඒ අතර ඔහු අප කැඳවාගෙන ගියේ පරීක්ෂණ කාමරයෙන් පිටත ස්ථානයක තබා ඇති එඩ්වඩ් සිය මුණුපුරා වෙනුවෙන් සාදන ලද වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පෙන්වීමටය.
ඉතා හොඳ නිමාවක් සහිත එම දුම්රිය එන්ජිම තුළ විශාල දුම්රිය එන්ජින් තුළ ඇති සියලු යාන්ත්‍රික කොටස් අන්තර්ගත බව එඩ්වඩ් විස්තර කළේය. පසුව ඔහු විසින් නිර්මාණය කළ රියැදුරකු නොමැතිව එකම දුම්රිය මාර්ගයක ප්‍රතිවිරැද්ධ දිශාවලට ධාවනය වන දුම්රිය දෙකක් පණ ගන්වා පෙන්වීය.
“මේ වගේ ආදර්ශ හරි නම් තියෙන්න ඕන අපේ කාර්මික විද්‍යාලවල. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම පරිගණකගත පරිපථ ආධාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. කොයිම වෙලාවකවත් එක පීල්ලේ ආවට මේ කෝච්චි හැපෙන්නේ නෑ. ඒවා නියමිත තැන්වල නවත්තගෙන ඉඳලා තත්ත්පර කිහිපයක ගැප් එකකින් පීලි මාරු වෙනවා. ඒ අනුව නියම විදියට මේ සිග්නල් ලයිට් වැඩකරනවා...” යනුවෙන් එඩ්වඩ් පැවසුවේ කාර්මික අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය මේ දැනුම බෙදාදෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බව සිහිපත් කරමිනි.
“තණකොළ පෙත්තා” නිසා උඩ ගිය හැටි
රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිපදවීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් ලොවපුරා ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු මෙන්ම නව නිපැයුම්කරුවකු සහ ගගන විද්‍යාඥයකු වූ රේ විජේවර්ධන හමුවීම එඩ්වඩ් පෙරේරාගේ ජීවිතයේ සන්ධිස්ථානයකි.
“මම නිවාඩු තියෙන හැම වෙලාවකම ගිහින් ඩොක්ටර් රේ ට උදව් කළා. එයා ඒ වෙනකොට ගුවන් යානා දාහතරකට වැඩිය හදලා තියෙනවා. මිනිසුන්ට යන්න පුළුවන් ඒවා හදනකොට මමයි ලොකු පුතයි උදව් කළා. ඩොක්ටර් රේ අන්තිමට හදපු මිනිස්සුන්ට යන්න පුළුවන් යානය බලපත්‍රයකින් අපිට තෑගි කළා. ඒත් නඩත්තු කරන්න බැරි නිසා අපි ඒක භාරගත්තේ නෑ.” යනුවෙන් එඩ්වඩ් පවසද්දී ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ද ඒ අතීතය සිහිපත් කළේය.
“රේ විජේවර්ධන හම්බ වෙනකොට මම හයවැනි පන්තියේ. එතනින් තමයි මට රේඩියෝ කොන්ට්‍රෝල් ප්ලේන්වලට, අල්ට්‍රා ලයිට් ප්ලේන්වලට යන්න පුළුවන් වුණේ. බොහොම සන්තෝෂයි කියන්න ලංකාවේ පළමුවෙන්ම හදපු අල්ට්‍රා ලයිට් සැහැල්ලු ගුවන් යානය හදන්න පුංචි කාලේ මට පුළුවන් විදියට දායක වෙන්න ලැබුණා. ඒක තමයි ඩොක්ටර් රේ විජේවර්ධන හදපු තණකොළ පෙත්තා කියන ගුවන් යානය...” යනුවෙන් කොලින් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේය.
එඩ්වඩ් පෙරේරාගේ අනෙක් පුත්‍රයා වන අමිත් පෙරේරා ද මේ දිනවල දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන විශාල ප්‍රමාණයේ යානාවක් නිර්මාණය කරමින් සිටී. ඔහු ඒ සඳහා යොදා ගන්නේ 150CC ධාරිතාවක් සහිත එන්ජිමකි.
“මම හිතනවා මේක එකලස් කරලා ඉවර වුණහම මේක තමයි ලංකාවේ තියෙන දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන ලොකුම යානාව වෙන්නේ. මේකේ තටු වල දිග අඩි 14ක් වෙනවා. කඳ අඩි 7ක්. මම දන්න තරමට දැනට ලංකාවේ දුරස්ථ පාලයකින් ක්‍රියා කරන ලොකුම 3-D එයාර් ක්‍රාෆ්ට් එක තියෙන්නෙත් මගේ ළඟ. සමහර බඩු අපි පිටරටින් ගේනවා. මේවයේ සැකිල්ල හදන්නේ, යකඩ ලේත් වැඩ සේරම කරන්නේ අපිමයි...” යනුවෙන් අමිත් පෙරේරා ප්‍රකාශ කළේය. අමිත්ගේ ගුවන් යානා නිර්මාණ සහිත කාමරයේ කොටසක් ඔහුගේ පුතු රෙහාන් පෙරේරා වෙනුවෙන්ද වෙන්කර තිබේ. අවුරුදු 9ක් වයසැති රෙහාන් ද පියා, සීයා සහ මහප්පා සමඟ එක්ව නව අත්හදා බැලීම් කරමින් සිටී.
එඩ්වඩ්ගේ දියණිය වන මිහිකා පෙරේරා මේ වන විට විදෙස්ගතව ජීවත් වන අතර ඇය සිය පවුලේ අත්දැකීම් මෙලෙස විස්තර කළාය.
“පුංචි කාලේ ඉඳන් පවුලේ අපි පස්දෙනාම ගුවන් යානා පදින්න වගේම රිමෝට් කොන්ට්‍රෝල් යානා යවන්න කල්පිටිය වගේ පැතිවලට යනවා. බොහෝ දවස්වලට අපි යන්නේ ඉරිදා දවස්වලට. තාත්තත් එක්ක ප්ලේන්වල ගිය අත්දැකීම් හරිම සුන්දරයි.”
ගුවන් යානා තාක්ෂණය කෙරෙහි දැනුමක් නොමැති වුවද සැමියාගේ සහ දරුවන්ගේ විනෝදාංශවලට තමන්ද ඉතා ප්‍රියකරන බව එඩ්වඩ්ගේ බිරිඳ විල්මා ප්‍රනාන්දු පැවසුවාය.
“මම තමයි මේ සේරටම මුදල් කළමනාකරණය කරන්නේ. ඇතැම් ගමන්වලට මට යන්න ලැබෙන්නේ නෑ. ෆැක්ටරියේ වැඩ බලාගෙන ඉන්නවා. සතිය පුරාම අපි මහන්සි වෙලා හම්බ කරන දේ මේවට තමයි වියදම් කරන්නේ. අපේ පවුලේ වෙන වියදම් නෑ. අපේ පවුල්වල හැමෝම මේකෙන් ලොකු සතුටක් ලබනවා. මේක විනෝදාංශයක් වගේම අධ්‍යාපනයක් ලැබෙන වැඩක්...” විල්මා ප්‍රනාන්දු පැවසීය.
► බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි