ඉන්දු චීන පෙරදිග ශිෂ්ඨාචාරයේ සලකුණක් වූ පැදුර ලාංකික ජන විඥානයෙන් අකා මකා දැමිය නොහැකි අංගයකි. සංස්කෘතිය විෂයේ ද ඉතිහාසය විෂයේ ද දෛනික ජීවිත විෂයේ ද පැදුරේ බලබෑම සුළුපටු නොවීය. කාලයා විසින් කෘත්‍රිම කර යම් පමණකට අප ජීවිතවලින් ඈත්වූ මේ අපූරු වියමනේ අතීතය විවිධ පැතිකඩ ඔස්සේ විමසීමට හැකිය. පළමුව පැදුරේ නිර්මාණ කාර්යය විමසීම වටී. අතීත රාජකාරි ක්‍රමය අනුව පැදුරු විවීමේ ප්‍රවේනි උරුමය ලද්දෝ කින්නර නම් ජන කොටසකි. එනමුත් තවත් විවිධ කුලගොත් වලට අයත් වූවන් ද මෙම සාම්ප්‍රදායික කර්මාන්තයේ නියුතුව ඇති බවට සාක්ෂි හමුවේ. එනිසාම ප්‍රදේශයෙන් ප්‍රදේශයට පරම්පරාවෙන් පරම්පරාවට පැදුරු විවීමේදී භාවිතා කළ පිළිවෙත් එකින් එකට වෙනස් වී ඇත.
පොදුවේ ගත් කල පැදුරු විවීමට භාවිත කළ පන් වර්ග රැසක් අපට හමුවේ. හාල් පන්, කාමරංග, බොරු පන්, තුන්හිරියා, හැවැන්, ගල්ලැහැ, පොතු පන්, එලු, ගැටැහැ, තුනැස්ස, තෙලහිරියා, හම්බු ආදී නම් ඉන් කිහිපයකි. පන් නෙළීම කළේ බවලතුන් විසිනි. පන් නෙළීම කලාවක් මෙන් සීරුමාරුවට කළ යුත්තක් විය. ජන කවියේ තාල පන් නෙළනා ලිය මතින් උපන්නේ ඒ නිසා විය යුතුය.
ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට
මුහුණ පුරා තෙල් ගාගෙන යන කලට
මාන බලති මිනුවන් පන් තිබෙන කොට
නෑනො නුඹත් එනවද පන් නෙළන්නට
ඇතැම් ශාකවල පන් ඉදිරීමද සිදුව තිබේ. පන් කැත්ත නම් උපකරණයෙන් සීරුවට කපා ගැනීම තුළින් පන් නෙළීමද සිදුවේ. ඒ කෙසේ වුවද එය ලලිතවත් මතකයක් ජනකවියා තුළට එකතුකර ඇති බව පෙනී යයි.
නෙළාගත් පන් පැදුරක් පුරන්නට සුදුසුවන ලෙසින් සකසා ගැනීම බාරදූර කාර්යයකි. නෙලූ පන් අව්වේ වේලලා හොඳ පන් තෝරා සායම් පොවා නැවත් වේලා ගැනීම සිදුකළ යුතුවේ. පසුව පන් මෝලෙන් තලා වියමනට සුදුසු වන අන්දමට සකසා ගැනීම සිදුවේ. අප අකුරු වියමනින් ප්‍රකට නොවන අපරිමිත දුක් කන්දරාවක් ඒ පිටුපස තිබේ. පන් පැදුරු වියන්නටද මහත් ප්‍රාගුණ්‍යයක් මෙන්න හොඳ ඉවසීමක් අවැසිය. රටා පැදුරු විවීම මෙයින් බරපතළ කාර්යයයි. දහ රටා, විසි රටා, කතුරු රටා, තාරුකා රටා, පහන් කූඩු රටා, හුළං පෙති රටා, වංගගිරිය රටා ආදී විවිධ රටාවලින් පැදුරු විවීම වෙනම ප්‍රගුණ කළයුත්තකි. එක් තැනක වැරදුනහොත් මුළු පැදුරේම රටාවන් වරදියි. දුම්බර පැදුරැද මෙහිදී අමතක කළ නොහැකිය. දුම්බර රටා මැවූ කළාල ලක් ඉතිහාසයේ සලකුණුකි. මධ්‍යම පළාතේ මහනුවර, මැණික්හින්න, හේනාවල ගම්මාන ආශ්‍රිතව ජීවත් වූ ජනයාගේ විශ්මිත නිර්මාණ වූ දුම්බර පැදුරේ කතාව වෙනම විමසා බැලිය යුත්තකි.
දුම්බර කෙතේ වැට බැඳලා රුකුම් බැලුම්
මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර උස්සා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්
මීළඟට අප විමසා බලන්නට සැරසෙන්නේ මෙලක පැදුරේ ඉතිහාස පුවතයි. මෙරට ශාන්තිකර්මවල කියැවෙන පරිදි ලොව බිහිවූ පළමු රජ වූ මහ සම්මත රජුගේ අවශ්‍යතාවක් පරිදි පැදුර බිහි වී තිබේ. එතැන් පටන් ලොව රජුන්ගේ සිට සියලු ජනයාගේ ප්‍රධාන අවශ්‍යතාවක් බවට පැදුර පත්ව තිබේ. මෙරට ඉතිහාසයේද පැදුර සම්බන්ධ ඉතිහාස කතා රැසක් හමුවේ. ගැමුණු රජ හා තිස්ස කුමරු අතර ඇතිවූ අරගලයේදී පැදුරක සැඟවී සංඝයාගේ කරමතින් ගිය තිස්ස කුමරුගේ කතාව ඒ අතරින් ප්‍රධානය. මෙරට ලියැවුණු ඓතිහාසික බෞද්ධ පතපොතේද පූජනීය කටයුතු වලදී පැදුරු භාවිතයට ගත් බව සඳහන්ව තිබේ.
සැතපීමට පමණක් නොව කෘෂි ආර්ථිකයේ අංගයක් ලෙසද පැදුර භාවිතා වී ඇත. ඒ අනුව එක එක ප්‍රමාණ වලින් වියා නිමකළ පැදුරු එකින් එකට වෙනස් කාර්යයන් වෙනුවෙන් භාවිතයට ගෙන තිබේ. විසල් පැදුරු “කළාල” ලෙස නම් විය. කළාල මෙන්ම මාගල් පැදුරු ද භාවිතා වූයේ වගා බිම්වලින් නෙළා ගත් ධාන්‍ය වියලීම ආදී කෘෂිකාර්මික කටයුතු වෙනුවෙනි. මෙම සියලු පැදුරු හකුළා එල්ලා තැබී විශේෂිත ස්ථානයක් “පැදුරු ආන” නමින් අප ගැමි නිවෙස් වල තිබී ඇත.
පැදුර වටා බැඳුණු විවිධ ජනශ්‍රැතියද සැකෙවින් හෝ විමසා බැලිය යුතුය. ජන කතා, ප්‍රස්ථාව පිළිරු පැදුර සහ බැඳී තිබේ. “පැදුර පෑගුණත් ඇති” යැයි කීවේ දරැඵල බොහෝ ඇති ගැමි ගැහැනුන් සිහිගන්වමිනි. “පැදුරටත් නොකියා යාම” යනු රහසේ පිටව යාම හඟවන්නක් විය. “පැදුරු කඩමල්ලක්” යනු දිළිඳු බව මෙන්ම අලස බව ප්‍රකට කරවන්නක් විය. උපතේ සිට විපත දක්වාම අතීත ගැමියාගේ ආත්ම හා බැඳුණු පැදුරු කතා තව බොහෝය. ගැමි සංස්කෘතිය විමසන විට ආගමික මෙන්ම ගුප්ත විද්‍යාත්මක පසුබිමක්ද පැදුරට ඇති බව වැටහෙයි.
මංගල අවස්ථාවල මෙන්ම අවමංගල අවස්ථාවල ද පැදුර නැතිවම බැරි අංගයක් විය. පන්සලේ බණ මඩුවේදී පැදුරට විශේෂිත විය. රටා දැමූ පැදුරු පන්සලට පූජා කිරීම ගැමියන් මහත් වූ පුණ්‍යකර්මයක් ලෙස සැලකූහ. එම නිසාම ගැමි ලියන් පූජාකරන පැදුරු වලය නෙළුම්, වංගගිරිය, වජ්‍රාසන, ඉද්දමල්, සමදරාමල් වැනි මෝස්තරය යොදා ඇත. මෙම සම්ප්‍රදාය ඉත මෑතක් වනතුරුම දක්නය ලැබුණකි.
සිංහල අවුරැද්දට චාරිත්‍ර ඉටු කිරීමටද පැදුර නැතිවම බැරිවිය. පැදුරේ දපා විනය කැපීම ගෙමේ තොවිල් පොලේ නාටකීය අංගය වී තිබිණි. ගුප්ත ශාස්ත්‍රයේ දී යකැදුරන් අතර පැදුරට ගෞරවයක් වූ බවට සාධයක හමුවේ. පැල් රැකීමේදී ද පැදුරට විශේෂිත ස්ථානයක් හිමිවිය. පැලේ පැදුර ගෙවිලියගේ විශ්වාසයේ සලකුණක් වී තිබේ. පැල් කවිය තුළින් එය මනාව ප්‍රකට වෙයි.
අනේ දෙවියනේ මට වුණු වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගෙදර ගිය කලට අඬ දබර බෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑසියෝයා
පැදුරේ අද කතාව අවසාන වශයෙන් අප ගලපා ගතයුතුය. අද පැදුරු කර්මාන්තය හා බැඳී තිබූ දේශීය දැනුම නෑසී යමින් පවතී. සිරියහන් ගබඩාවන් සාමාන්‍ය මිනුසුන්ගේ නිවාසවල ඉදිවෙන යුගයේ පැදුරේ නිදන්නෝ විරලය. ඒත් සංස්කෘතිය උරුමයක් නිසාම පැදුරු විවිධ අවස්ථාවල අපට අවැසි වෙයි. කෙසේ නමුත් මෙම කර්මාන්තය නගා සිටුවා විශාල පැදුරු වෙළඳපොළක් සකසා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කළ නොහැකිය. අද අප ප්ලාස්ටික් පැදුරු ආනයනය කරන තත්වයකට පත්ව සිටිති. එහෙත් සංචාරක කර්මාන්තය ආදී ක්ෂේත්‍රවලට මෙම දැනුම යොදා ගැනීමේ හැකියාවක් පවතින බව කිව යුතුය. සැබවින්ම අද අප සුරක්ෂා කරගත යුත්තේ මේ මතක දැනුම සහ උරුමයි. පැදුර යනු වර්තමානිකයාට අමතකව ගිය දේශයේ ඓතිහාසික සංස්කෘතික මෙවලමයි.
► චමිඳු නිසල් ද සිල්වා