එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් වංචාවට වැරදිකරු වී වසර 11ක දීර්ඝ සිරදඬුවමක් නියම වූ රාජ් රාජරත්නම් කලින්ම සිරගෙදරින් නික්ම ගිය පුවත මහත් ආන්දෝලනයක් මතු කළ සිද්ධියකි. පොතේ හැටියට නම් ඔහුගේ සිරදඬුවම අවසන් වීමට නියමිත 2021 ජූලි 04 දිනය. ඒ අනුව ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ සිය දඬුවම් කාලය අවසන් වීමට තවත් වසර 2ක් ඉතිරිව තිබියදීය. එසේ නම් මේ හාස්කම සිදුව ඇත්තේ කෙසේද? එක්සත් ජනපදයේ 2018 First Step Act නම් වූ නව නීතිය ප්‍රකාරවය. මේ නීතිය අනුව ගෙදර සිට තම දඬුවමේ ඉතිරි කාලය ගෙවා දමන්නට ඉඩකඩ අයැදුම් කළ 60 පැන්න තවත් වරදකරුවන් 240කට ලද අවස්ථාව රාජරත්නම් හට ද උදා විය.
2009 වසරේ මහ පාන්දර කඩා පැන්න ඒෆ්.බී.අයි. නිලධාරීහු රාජ් අත්අඩංගුවට ගත්හ. ඒ වසර ගණනාවක සැඟවී කළ ලුහුබැඳීමකින් පසුවය. අමෙරිකාවේ වරදක් ලෙස සැලකෙන ආයතනික රහස් හොරෙන් ලබාගෙන ඒවායේ ආයෝජන කර අයුතු ලාබ ලැබීමේ වරදට 2011 වසරේ දී වරදකරැ වීමෙන් අනතුරුව වසර 11ක සිරදඬුවමක් ඔහුට නියම විය. ලංකාවේ අපට අසා දැක හුරුපුරුදු අන්දමට හිරේට නියම වූ සැණින් තමන් අසනීපකාරයෙක් බව කී නිසා බොස්ටන් නගරයෙන් පිටත පිහිටි ෆෙඩරල් බන්ධනාගාරයක් වූ ඩෙවෙන්ස් නමැති වෛද්‍ය මධ්‍යස්ථානයක ඔහුට කල් ගෙවීමට සිදු විය. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ක්‍රියාත්මක 2018 First Step Act නව නීතිය ප්‍රකාරව වයස අවුරුදු 60 ඉක්ම වූ හෝ දීර්ඝ කාලීන රෝගාබාධවලින් පෙළෙන සිරකරුවන් හට සිය අවසාන දඬුවම් කාලය නිවාස අඩස්සියේ ගත කිරීමට හැකිය. එම න්‍යාය අනුව ලද අවසරයෙන් වසර 62ක් වයසැති රාජ් රාජරත්නම් මෙලෙස සිරගෙදරින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ඔහුගේ සිරදඬුවමෙහි ඉතිරි කාලය පවුලේ උදවිය සමඟ මැන්හැටන් හි වෙස්ට් එන්ඩ්වල නිහඬ පළාතක මහල් නිවාසයකට කොටුව ගෙවීමට සිදුව ඇත. මෙහි ඔහු ගත කරන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් ජීවිතයකි. ඒ කියන්නේ දිවා කාලයේ දී සිය රැකී රස්සාව සඳහා පිටතට යාමට ඔහුට නිදහස ඇත. අනිවාර්යයෙන්ම රාත්‍රිය නිවසේ සිටිය යුතුමය. ඒ වුවද සිරකරුවන් ගැවසෙන තැන විපරම් කිරීම සඳහා ඔවුන්ගේ සිරුරේ පළඳවන ඉලක්ට්රෝනික උපාංගය පැළඳීමෙන් ඔහු නිදහස් බව වාර්තා වෙයි.
2011 වසරේ දඬුවම් නියම වන විට ඔහු තමන්ගේ Galleon Group LLC අරමුදල හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ඉක්ම වූ ආයෝජන අරමුදලක් අතපත ගෑ අයෙකි. රාජ් රාජරත්නම් විවිධ හිතවත්කම් සහ උප්පරවැට්ටි උපකාරයෙන් කලින් අභ්‍යන්තර තතු දැනගෙන විවිධ මූල්‍ය ආයතනවල ආයෝජනය කර අමෙරිකාවේදී නීති විරෝධී ලෙස සැලකෙන ආකාරයෙන් රුස් කරගෙන තිබූ මුදල ඩොලර් මිලියන 72ක් බව නඩුවේදී හෙළි විය. ඒ වන විට ඔහු ෆෝබ්ස් සඟරාවට අනුව 2009 වසරේ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 559 වැනි ස්ථානයෙහි පසු විය. එසේම 2000 මුල් භාගයේ දී ඔහුගේ Galleon අරමුදල ලොව 10 වැනි තැනට විශාලතම හෙජ් අරමුදල ලෙසින් සැලකිනි.
කොළඹ ඉපදුණු රාජ් සිය ජීවිතයේ මුල් වසර කිහිපය ලංකාවේම ගත කළේය. කුඩා කලම සිය මව්පියන් සමඟ එංගලන්තයට සංක්‍රමණය වන තුරු ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය හැදෑරුවේය. එංගලන්තයේදී පාසැල් අධ්‍යාපනය නිම කළ ඔහු සසෙක්ස් සරසවියෙන් ඉංජිනේරු විද්‍යා මූලික උපාධියක් ද පසුව අමෙරිකාවේ පෙනිසිල්වේනියා සරසවියෙන් කළමනාකරණ පශ්චාද් උපාධියක් ද ලබා ගත්තේය. වර්ෂ 1986 දී අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත්තේය.
චේස් බැංකුවේ ණය අංශයේ නිලධාරියෙකු ලෙස සේවය ඇරැඹූ රාජ් පසුව ආයෝජන බැංකුකරණයේ සහ වත්කම් කළමනාකරණයේ යෙදුණු නීධම් සහ සමාගමේ පර් යේෂණ නිලධාරියෙකු ලෙස සේවයට බැඳී, ක්‍රමයෙන් උසස්වීම් ලබමින් එහි සභාපතිවරයා බවට පත් විය. මේ අතර නීධම් සමාගම යටතේ ගොඩනංවනු ලැබූ අනු සමාගමක් මිලදී ගත් රාජ් එය ගැලියොන් සමූහ ව්‍යාපාරය ලෙස නම්කර ඉතා කෙටි කලකින් එම සමාගම දැවැන්ත වත්කම් කළමනාකරණ සමාගමක තත්ත්වයට දියුණු කළේය.
ගැලියොන් යන නමේ තේරුම විශාල නාවික යාත්‍රාව යන්නයි. ගැලියොන් සමාගම ද එබඳු සුවිශේෂී එකක් විය. ඒ නිසා මේ සමාගම මෙහෙය වූ කප්පිත්තා හැටියට රාජ්ගේ වත්කම් ද විශාල ලෙස ඉහළ ගියේය. වර්ෂ 2008 වන විට අමෙරිකාවේ 262 වැනි ධනවතා වූ රාජ්, 2009 වන විට 236 වැනි ධනවතා බවට පත් විය. ඒ වන විට ඔහුගේ වත්කම අමෙරිකන් ඩොලර් බිලියන 1.8ක් විය. මෙය ඒ වන විට ලංකාවේ ඉපදුණු පුද්ගලයෙකු සතු වූ ඉහළම වත්කමයි. ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා රාජ් රාජරත්නම්ව පෙළඹවීමට සිදු කෙරුණු උත්සාහයන් ගැන මෙන්ම, එල්ටීටීඊ සංවිධානයට මුදල් ආධාර දීම ගැන චෝදනා ද ඒ කාලයේ ප්‍රසිද්ධ විය.
2009 ඔක්තෝබරයේදී අයුතු අභ්‍යන්තර වෙළෙඳාම (insider trading) යන වරදට අමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය විසින් රාජ්ට එරෙහිව චෝදනා ගොනු කළ අතර දෙවසරක නඩු විභාගයකින් පසුව 2011 ඔක්තෝබර් 13 දින ඔහුව 11 වසරක සිරදඬුවමකට යටත් කෙරුණේය. රාජ් රාජරත්නම් නඩුව අඩුම වශයෙන් කරුණු දෙකක් නිසා සුවිශේෂී එකකි. පළමුව, රාජ්ට පැනවුණු දඬුවම මේ වන තුරු අභ්‍යන්තර වෙළෙඳාම සිදු කිරීම වෙනුවෙන් ලබා දුන් ඉහළම දඬුවම වීමයි. දෙවැන්න රාජ්ට එරෙහිව සාක්ෂි සොයා ගැනීමට එෆ්බීඅයි ආයතනය කටයුතු කළ සූක්ෂම ආකාරයයි.
මෑතක් වන තුරුම අභ්‍යන්තර වෙළෙඳාම යන චචනය ලංකාවේ බොහෝ දෙනෙකුට හුරුපුරුදු වචනයක් නොවීය. මේ වචනය ලංකාවේ බොහෝ දෙනෙකු පළමු වරට අසන්නට ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුවය. දැන්නම් රාජ් රාජරත්නම් සිද්ධිය සරසවි පාඨමාලාවල අභ්‍යන්තර වෙළෙඳාම යන සංකල්පය පැහැදිලි කිරීමට යොදාගන්නා පාඨ ග්රන්ථ උදාහරණයක් ද වී හමාරය. අභ්‍යන්තර තොරතුරු ලබාගැනීම හා ඒ මත සිදු කෙරෙන අභ්‍යන්තර වෙළෙඳාම යනු ලංකාවේ සංස්කෘතියේ මෙන්ම වෙනත් බොහෝ රටවල වෙළෙඳපොළ ගනුදෙනුවලදීද සාමාන්‍ය අංගයකි. අභ්‍යන්තර වෙළෙඳාම කරන්නෙකුට දඬුවම් පැමිණවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නැත. එහෙත්, අමෙරිකාවේ තත්ත්වය එසේ නොවේ. වෙළෙඳපොළ තරගකාරීත්වය තුළින් කාර්යක්ෂමතාව කරා යාමට සැදී පැහැදී සිටින අමෙරිකානු සමාජය මේ තරගකාරීත්වයට බාධා පමුණුවන භාවිතාවන් වැරදි ලෙස හඳුනාගනී. කිසියම් ගනුදෙනුවක් සඳහා උනන්දුවක් දක්වන තරගකරුවන් අතරෙන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට එයට සම්බන්ධ වන අනෙක් තරගකරුවන්ට නොලැබෙන තොරතුරක් ලැබේ නම් ඒ තොරතුරෙන් වාසියක් ගැනීමේ අවස්ථාවක් ද ඇති නිසා අනෙක් තරගකරුවන්ට අවාසියක් සිදුවේ. ඒ නිසා, මෙවැනි දේ අමෙරිකාවේ සාමාන්‍ය දේවල් ලෙස සැලකෙන්නේ නැත.
රාජ් රාජරත්නම් තමන් ලංකාවේ සමාජයෙන් උගත් දේ අමෙරිකාවට ගෙන ගියා වන්නට ඇත. ඔහු සමඟ පෙනිසිල්වේනියා සරසවියේ උගත් පෞද්ගලික මිතුරෝ බොහෝ ආයතනවල සේවය කළහ. රාජ් එවැනි ආයතනවල කොටස් මිල දී ගත්තේ මේ මිතුරන් හරහා වෙනත් අය සඳහා ‘එළියට නොයන’ එම සමාගම්වල අභ්‍යන්තර තොරතුරු ලබාගෙන ඒ තොරතුරු සිය ආයෝජන තීරණවලට පදනම් කර ගනිමිනි. මේ තොරතුරු ලබාගැනීම් රාත්‍රී භෝජන සඳහා හෝ කෝපි කෝප්පයක් සඳහා හෝ එක් වද්දී වක්‍රව මෙන්ම ඇතැම් විට ඍජුවම ද සිදුවිය. මෙසේ තමන් වරදක් කරන බව දැනුවත්ව හෝ නොදැනුවත්ව පිටතට තොරතුරු ලබා දුන් බොහෝ දෙනෙකු දකුණු ආසියානු සම්භවයක් ඇත්තෝ වූහ. තමන් විසින්ම අභ්‍යන්තර තොරතුරු එකතු කිරීමෙන් නොනැවතුණු රාජ් සිය සමාගමේ පහළ සේවකයන් ද ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතා උපයෝගී කරගෙන එසේ තොරතුරු එක්රැස් කිරීම උදෙසා දිරිමත් කළේය.
මෙය එෆ්බීඅයි ආයතනයට ඉව වැටුණත් මෙවැනි සියුම් වරදක් අල්ලා ගැනීම පහසු වැඩක් නොවේ. එෆ්බීඅයි ආයතනය මේ පසුපස හඹා යාම ඇරඹුවේ 1998 තරම් ඈතකදීය. එම වසරේදී ඉන්ටෙල් ආයතනයේ සේවය කළ ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් වූ රෑමි ඛාන් විසින් කිසියම් තොරතුරක් අඩංගු ලියවිල්ලක් ගැලියොන් සමාගමට ෆැක්ස් කරනු එෆ්බීඅයි ආයතනය විසින් රහසිගතව කැමරාගත කර තිබේ. පසුව රාජ් රාජරත්නම් වෙත දැලක් එළීමට එෆ්බීඅයි ආයතනය විසින් මෙම රෑමි ඛාන් නමැත්තියව ඉත්තෙකු ලෙස යොදාගනු ලැබිණි. කෙසේ වුවද, රාජ් රාජරත්නම්ට එරෙහිව නිශ්චිත සාක්ෂි එක්රැස් කර ඔහුට හා තවත් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර වරදකරුවන් කිරීමට වසර දොළහක පමණ කාලයක් ගත විය. මෙහිදී එෆ්බීඅයි ආයතනය විසින් සිදුකළ දුරකතන ටැප් කිරීම් වැනි දේ පෞද්ගලික නිදහස කඩ කිරීම යන නීතිමය පදනමින් අභියෝගයට පවා ලක් විය. එහෙත්, ඇතැම් මාධ්‍ය උලුප්පා දැක්වූ අයුරු රාජ් අභ්‍යන්තර වෙළෙඳාම කිරීමට වරදකරැ වූ එකම අමෙරිකානුවා නොවේ. පසුගිය වසර කිහිපය තුළ අමෙරිකානුවන් අනූවකට වැඩි ගණනක් මේ වරදට දඬුවම් ලබා ඇත. එහෙත් හිරෙන් කලින් ගෙදර ගියේ රාජ් පමණි.
► සුගත් පී.කුලතුංගආරච්චි