2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

තවම හදාගෙන යන දක්ෂිණ අධිවේගයේ කොන්ක්‍රීට් මාරයා

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

තවමත් ඉදිකෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ දිනපතා සිදුවෙන අනතුරු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ කාගේ වරදක් නිසාවෙන්දැයි සොයාබැලිය යුතුව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව කාගේ වරදින් හෝ අනතුරට පත්ව මිය යන්නේ හෝ අබ්බගාතයන් බවට පත්වන්නේ අපේම මිනිසුන් වීම නිසාය.

ඉදිවෙමින් පවතින මාර්ගයට වැඩබිම් ජනතාවට හැර සාමාන්‍ය ජනතාවට ඇතුළු වීමට අවසරයක් නොමැතිය. එහෙත් ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගි මාර්ග දිගුවේ අද වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ. දෛනිකව මෙම මාර්ගයේ සේවයේ නියුතු කම්කරුවන් ඇතුළු නිලධාරීන් සේම දිනපතා ගමන් බිමන් යන ජනතාවද මෙම මාර්ගය භාවිත කරන්නේ කිසිදු ඉවක් බවක් නොමැතිවය.

මේ සම්බන්ධයෙන් අපිද දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර 04 කොටසේ ඇවිද ගොස් සොයා බැලීමක නිරත වූයේමු. එහිදීද අපට දැකිය හැකිවූයේ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග දිගුවේ අදියර 04 කොටසේ  පමණක් මත්තල දෙසින් හා හම්බන්තොට දෙසින්ද කිසිදු බාධාවකින් තොරව අධිවේගයට ජනතාවට ඇතුළු වීමට අවසර හිමිවීමය. අධිවේගයේ පිවිසුම් දොරටු අසල “අනවසරයෙන් ඇතුළුවීම  තහනම්“ යනුවෙන් නාමපුවරු දමා ඇතත් අධිවේගී මාර්ගයට ඇතුළු වන්නන්ට කිසිදු බාධාවකින් තොරව ඇතුළුවීමට පුළුවන්කම තිබේ. අධිවේගී මාර්ගයේ අනතුරු සහිත ප්‍රදේශ පිළිබඳව හා මාර්ගයට ඇතුළු නොවන ලෙස ප්‍රදර්ශකය කර ඇති නාම පුවරු ද ප්‍රමිතියෙන් තොර ඒවා බව එහි ඇවිද ගිය අපිට දැකිය හැකිවිය. විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී මෙම ඉදිවෙමින් පවතින මාර්ගය පවතින්නේ දැඩි අඳුරේය. එහිදී මේ යොදා ඇති නාමපුවරු ද මාර්ගයට ඇතුළු කරන්නන්ට පැහැදිලිව දැකිය නොහැකිය. කෙසේ නමුත් මේ වනවිට ඉදිකිරීම් සිදුකරන සමාගම් හා අනෙකුත් කොන්ත්‍රාත්කාර සමාගම්ද වැඩබිම් සේවකයන්ගේ මෙන්ම මාර්ගයට ඇතුළු වන සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව කෙරෙහි දක්වා ඇත්තේ ඉතා අඩු සැලකිල්ලක් බව නම් ඉතා පැහැදිලිය.

ඉදිකරමින් පවතින මෙම අධිවේගී මාර්ගයට සාමාන්‍ය ජනතාවට අද වනවිට විශාල ලෙස ඇතුළු වන අයුරු අපටද දැකිය හැකිවිය. මේ හේතුව නිසා සිදුවන අනතුරැ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ. එහි ආසන්නතම සිදුවීම අපට වාර්තා වූයේ ඉකුත් 13 වැනි දින රාත්‍රියේය. ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ අදියර 4 කොටසින් ඇතුළු වී ඇති මෝටර් රථයක් අගුණුකොළපැලැස්ස හුංගම දක්වා යාමට පැමිණ තිබේ. කිසිදු බාධාවකින් තොරව අධිවේගී මාර්ගයට ඇතුළු වී ඇති මෝටර් රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර අන්දරවැව අන්තර් හුවමාරුව ආසන්නයේදී මාර්ගය මැද දමා තිබූ කොන්ක්‍රිට් කුට්ටියක වැදී මෝටර් රථය අනතුරකට පත්ව තිබුණේ ඒ අවට එකම ලේ විලක් බවට පත් කරමිනි. අනතුරින් 31 හැවිරිදි පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය. එහි ගමන්ගත් තවත් දෙදෙනෙක් අනතුරින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන්ගේ තත්ත්වය ද බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අනතුර සිදු වූ මෙම ස්ථානයේ මාර්ගය වසා දමා තිබුණේ කොන්ක්‍රීට් කුට්ටි කිහිපයක් මාර්ගය මැදට දමමිණි. මීට පෙර මෙහි සිදු වූ අනතුරු කිහිපයක් හේතුවෙන් මෙම කොන්ක්‍රීට් කැබලි වර්ණ ගැන්වීම් සිදුකර තිබුණත් එය රාත්‍රී කාලයේදී හොඳින් නොපෙනෙයි. අධික වේගයෙන් ආ මෝටර් රථයටද මේ මාර්ගය මැද දමා තිබූ බාධකය දිස් නොවීමෙන් එහි වැදී මෙම අනතුර සිදුවී තිබේ.

ඉදිවෙමින් පවතින මෙම අධිවේගී මාර්ගයේ ඇතුළු වීමේ දොරටු කිසිදු බාධාවකින් තොරව විවෘතව ඇතත් මාර්ගයේ මැද ඇතැම් ස්ථාන විවිධ බාධක යොදා වසාදමා ඇත්තේ ඉතා අනාරක්ෂිත ලෙසය. ඉදිවෙමින් පවතින මාර්ගයක හෝ වැඩබිමක් තුළ බාධක යෙදවීමේදී ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් ඇතත් අධිවේගී මාර්ගයේ අනතුර සිදු වූ මෙම ස්ථානයේ එවැනි ක්‍රමවේද භාවිතා කර නොතිබූ බව නම් ඉතා පැහැදිලිය. මෙම අනතුර සිදු වූ ස්ථානයේදීම මීට පෙරද දරුණු ගණයේ අනතුරු කිහිපයක් සිදුවූ බව අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කම්කරැවන් අපත් සමඟ පැවසූහ. මාර්ගයේ වැඩ කරන කම්කරුවන්ගේ මෙන්ම මාර්ගයට ඇතුළු වන්නන්ගේ ද ආරක්ෂාව සැපයීම අදාළ කොන්ත්‍රාත්කාර සමාගමේ පරම වගකීමකි. ඇතුළු වන දොරටුවක් අසල බෝඩ් ලෑල්ලක් දැමූ පමණින් ඔවුන්ගේ වගකීම ඉටු නොවන බවද සිහිපත් කළ යුතුව තිබේ. වැඩබිම තුළ සුරක්ෂිතතා කළමනාඅකරුවකු (safety officer) සිටියදීත් මෙවැනි අනතුරු අවම කර ගැනීමට අදාළ ඉදිකිරීම් සමාගම අපොහොසත් වී ඇතැයි ජනතාව චෝදනා කරයි.

අවසර නැතිව ඇවිත් අනතුරු කරගත්තාට අපිට කරන්න දෙයක් නෑ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර 04 කොටසේ සුරක්ෂිතතා කළමණාකරැ (safety officer) තුෂාර ගුණරත්න මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“අධිවේගී මාර්ගය තවම ජනතාවට විවෘත කර නැති නිසා මෙහි සේවය කරන අයට අමතරව සාමාන්‍ය ජනතාවට මේ මාර්ගයේ තවම යන්න පුළුවන්කමක් නෑ. ‘මෙම මාර්ගයට අනවසරයෙන් ඇතුල්වීම තහනම්’ කියලා අපි නාමපුවරුත් දමා තියෙනවා. නමුත් බොහෝ ජනතාව ඒවා පිළිබඳව කිසිදු තැකීමක් නෑ. අපි අපිට පුළුවන් අයුරින් ආරක්ෂාව සපයා තියෙනවා වැඩකරන පිරිස් වෙත. මාර්ගයට ඇතුළුවීමේ දොරටු ළඟට ආරක්ෂක නිලධාරීන් දමන්න පුළුවන් කමක් නෑ. මොකද ආරක්ෂක නිලධාරීන් දැම්මත් ඒ අයගේ කීමට සාමාන්‍ය මිනිස්සු ඇහුම්කන් දෙන්නේ නෑ. ඇතැම් ස්ථානවල ආරක්ෂක නිලධාරීන්ට පහරදී ජනතාව මාර්ගයේ ගමන් කරපු අවස්ථා තියෙනවා. ඇතුළු වෙන්න එපා කියලා ගහලා තියෙන බෝඩ් රෑට පේන්නේ නැති වුණාට දවල්ට යනකොට පේනවානේ. අනික තමයි වැඩ කරන සේවකයින් මෙ මාර්ගයේ ගමන් කරනවා. ඉතින් ඒ අතරට සාමාන්‍ය ජනතාවත් කොහොම හරි ඇතුළු වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නෑ. අනවසරයෙන් මේ පාරට ඇතුළුවෙලා සිදුවෙන අනතුරුවලට අපිට කරන්න දෙයක් නෑ.

හම්බන්තොට පැත්තෙන් අධිවේගයට අනවසරයෙන් ඇතුළුවීම වළක්වන්න අපි වැලි කොට්ට දමා මාර්ග බාධක පටි ඇද තිබුණා. නමුත් පසුගිය 16 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වන නලින් බංඩාර මහත්තයාගේ ඩිෆෙන්ඩර් එකකුයි තවත් වාහන කීපයකුයි අනවසරයෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවෙලා මාර්ගය මැද දමා තිබූ බැරියර් ඔක්කොම ඉවත් කරලා පාර හදාගෙන ඒ අය ගියා. මාර්ගය ඇතුළු වීම වළක්වන්න අපි ආරක්ෂිත පඩි ඇද තිබුණා ඇතුළු වීමේ දොරටුවේ. ඔවුන් ඒ සියල්ලම කඩාදමා තමයි අධිවේගයට ඇතුල් වුණේ. දැනුම් තේරුම් තියෙන මේ වගේ අයත් මේ විදියට නම් හැසිරෙන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද. අපි මේ පිවිසුම් දොරටු සඳහා පොලිස් ආරක්ෂාවක් ලබාදෙන්න කියලා වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් ඒ සඳහා පොලිස් ආරක්ෂාවක් දෙන්නේ නෑ. අධිවේගයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතින නිසා පොලීසියෙන්වත් මේ පාරේ එන්නේ නෑ. ඉතින් හොර හතුරෝ වගේම වෙනත් ජාවාරම්කාරයොත් ඉතා පහසුවෙන් රාත්‍රී කාලයේ මේ පාරේ යනවා. මේවා වළක්වන්න සිකියුරිටි අය දමලා බෑ.”

අද වෙනකොට වාහන හා යතුරුපැදි පුරුදු වෙන පිරිස්ද ඒ සඳහා භාවිතා කරන්නේ මෙම ඉදිවෙමින් පවතින මාර්ගයම වීම පුදුමයට කරුණකි. එපමණක් නොව කුඩා ළමුන්ද පාපැදිවලින් මෙම මාර්ගයේ ගමන් කරන්නේ ඉතා අනාරක්ෂිත පරිසරයක් තුළය. අනවසරයෙන් මේ පිරිස් ඇතුළු වන්නේ නම් අදාළ සමාගම් ඒ සඳහා සුදුසු යම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතුය. එසේ නොමැතිව “ඇතුල් වෙන්න එපා කියලා තියෙද්දීත්, බෝඩ් ගහලා තියෙද්දීත් වාහන ඇතුල් කරලා අනතුරු සිදුකර ගන්නවා නම් මොනවා කරන්නද?” යනුවෙන් පැවසීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද සිහිපත් කළ යුතුය.

ආරක්ෂාව ගැන කියන්න ගිහින් මට රස්සාවත් නැතිවුණා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර 04 කොටසේ සුරක්ෂිතතා නිලධාරියා ලෙස කලක් සේවය කළ ගාමන් පරාක්‍රම ගුණසේකර මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“මේ පාර හදන්න පටන්ගත්ත කාලේ ඉදන් මේ වෙනකොට සිදුවෙලා තියෙන අනතුරු ප්‍රමාණය ඉතා විශාලයි. වැඩබිමක් තුළ පළමුවෙන්ම තිබිය යුතු දේ තමයි එහි සේවය කරන අයගේ ආරක්ෂාව. නමුත් අධිවේගී මාර්ගයේ අදියර 04 කොටසේ ඒ තත්ත්වය අද දකින්න නෑ. මම කාලයක් මේ අදියර 04 කොටසේ සුරක්ෂිතතා නිලධාරියා ලෙස කටයුතු කළා. ඒ කාලේ මම අනාරක්ෂිත සෑම ස්ථානයකම අනතුරු ඇඟවීමේ සංඥා ස්ථාපනය කිරීමට පියවර ගත්තා. නමුත් අදියර 4 කොටසේ ඉදිකිරීම් කරන චීන සමාගම නිතරම බැලුවේ වැඩේ ෂේප් එකේ කරන්නයි. මම සුරක්ෂිතතා නිලධාරියා ලෙස දිගින් දිගටම අනතුරු ඇතිවිය හැකි තැන් පිළිබඳව ඉදිකිරීම් සමාගම දැනුම්වත් කළා. අන්තිමට බැරිම තැන ඒ අය මම මේ තනතුරෙන් ඉවත් කළා. රුපියල් දාහේ දෙදාහේ වාසිය ගැන හිතන්න ගිහින් අද වෙනකොට මේ රටට ජීවිත කීයක් අහිමිවෙලා තියෙනවද. වැඩ බිමකට සාමාන්‍ය මිනිස්සුන්ට ඇතුළුවෙන්න තහනම් කළ යුතුයි. නමුත් දැන් එහෙම එකක් නෑ. පාරත් හදනවා. මිනිස්සුත් පාරේ යනවා. කිසිදු ඉවක් බවක් සැලකිල්ලක් නෑ. අනතුරු පිළිබඳව දමන සංඥා පුවරු රාත්‍රි කාලයටත් ඉතාමත් හොඳින් පේන විදියටයි දැමිය යුත්තේ. දවල්ට විතරක් පෙණුනට මදි දමන බෝඩ්. මේවා ගැන කිව්වට දකුණු අධිවේගයේ අදියර 4 කොටසේ ඉදිකිරීම් කරන චයිනා හාබර් සමාගම ඒවා පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නෑ. මේ ගැන වගකිවයුතු පාර්ශව මීට වඩා අවධානය යොමු කළ යුතුයි කියන එකයි මගේ මතය.”

සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00