- වෛද්‍ය රංගන කුරුවිට
වෛද්‍ය රංගන කුරුවිට තම වෘත්තියට අමතරව ශාස්ත්‍රීය පර්යේෂකයකු වශයෙන්ද කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරයි. ඔහු විසින් පළකළ ශ්‍රී නාම රත්නාලංකාරය (සූරිය ප්‍රකාශන) කෘතියට පසුගියදා ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමිවිය. එයට පෙර ඔහු ලියූ කුරුණෑගල විස්තරය කෘති සංස්කරණය ගොඩගේ සම්මාන ප්‍රශස්ත කෘතියක් ලෙස නිර්දේශ විය. ඔහුගේ අලුත්ම පොත නපුරැ දොස්තර පසුගියදා නිකුත් විය.
බොහෝ වෛද්‍යවරු තම සීමාවාසික කාලය ගැන කතාකරන්න කැමති නැහැ. නමුත් ඔබ ඒ කාලයේ විඳි අනුවේදනීය අත්දැකීම් සරල කතාංග බවට පත්කරලා නපුරු දොස්තර ලියා තිබෙනවා. ඒ ගැන කිව්වොත්?
ඕනෑම වෛද්‍යවරයෙක් තම වෛද්‍ය ජීවිතය ආරම්භ කරන්නේ සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට. විශේෂඥ වෛද්‍යවරයකු යටතේ වන පුහුණු කාලයක් ලෙසත් එය හඳුන්වන්න පුළුවන්. එය එකම එක දවසකවත් නිවාඩුවක් නැතිව, හරිහැටි කෑමක් බීමක්වත් නැතිව මුළු දවසම රෝහලක ගත කරන්න වෙන දුෂ්කර ක‍්‍රියා සමයක්. මේ නිසාම සීමාවාසික වෛද්‍යවරයා තමයි රෝගීන්ට ඉතාම සමීප.
රෝහලක ඇතැම් අත්දැකීම් අනුවේදනීයයි. නපුරු දොස්තර ලිවීමේදී මා තෝරාගත්තේ එක්තරා වෛද්‍යවරයකු විඳි එවන් අත්දැකීම් සමහරක්. එදිනෙදා දකින දෙයක තියෙන යථාර්ථය, හැකිතාක් කුඩා කථාවක් මගින් පාඨකයාට සමීප කරන්න මම මේ තුළින් උත්සහ කළා. එවන් කථා 58ක් මෙහි තිබෙනවා.
ඔබ වෛද්‍යවරයෙක් වුණත් අප නම් හඳුනන්නේ ශාස්ත්‍රීය පර්යේෂකයෙක් වශයෙන්. ඒ සඳහා උනන්දුව ඇතිවුණේ කෙසේද?
මෙරට උරැමයත් ඓතිහාසිකත්වයත් ගැන සෙවීමට මා කුඩා කළ සිටම ආශා කළා. මා ඉගෙනගත් කුරුණෑගල මලියදේව විද්‍යාලයත් ඊට අනුබලයක් වුණා. ඒ ආශාව යථාර්ථයක් වුණේ මට පේරාදෙණි සරසවි වරම් හිමිවීම නිසයි. වටිනා පුස්කොළ පොත් ඇතුළු ඓතිහාසික ලේඛන පිරැණු පේරාදෙණි සරසවි ප‍්‍රධාන පුස්තකාලය මට නිධානයක්” වුණා. මාව ශාස්ත‍්‍රීය පර්යේෂකයකු කළේ පේරාදෙණිය කියලා මට බය නැතිව කියන්න පුළුවන්.
කාටත් අමතක වී තිබුණු කුරැණෑගල විස්තරය පුස්කොළ පොත් රාශියක් කියවා ඔබ සංස්කරණය කරනවා. ඒ ගැන කිව්වොත්?
මා තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදී කුරුණෑගල ඉතිහාසය සහ කුරුණෑගල නගරය තුළ ඇති ඓතිහාසික ස්ථාන පිළිබඳව හස්තිගිරි නගරය හෙවත් කුරුණෑගල් නුවර යනුවෙන් ග‍්‍රන්ථයක් පළ කළා. එයට අවශ්‍ය තොරතුරැ සෙවීමේදී කුරුණෑගල පිළිබඳව ලියැවුණු පුරාණ ලියවිල්ලක යතුරු ලියනය කළ පිටපතක් කුරුණෑගල ඉබ්බාගල විහාරයෙන් හමුවුණා. එම ලේඛනයේ පුස්කොළ පිටපත් රාශියක් පේරාදෙණි පුස්තකාලයේ තිබෙන බව දුටු මට ඒ පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් සහ සංස්කරණයක් කිරීමට අවශ්‍ය වුණා. ග‍්‍රන්ථ සංස්කරණ මූලධර්ම තනිවම හදාරා, ඉන්පසු ජාතික කෞතුකාගාරය, ජාතික ලේඛනාගාරය, ශී‍්‍ර දළදා මාළිගය වැනි ස්ථානවල තිබූ පුස්කොළ පොත්ද අධ්‍යයනය කර, බිහිවුණු ග‍්‍රන්ථය තමයි කුරුණෑගල විස්තරය ශාස්ත‍්‍රීය සංස්කරණය සහ විමර්ශනය.
එම පොතට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?
පොත පළ වී මාස 6ක් පමණ ඇතුළත පොතේ පිටපත් සියල්ල විකිණී අවසන්ව තිබුණා. එම වසරේ ගොඩගේ සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත ශාස්තී‍්‍රය කෘති අතර කුරුණෑගල විස්තරයත් තිබුණා. නමගිය ශාස්ත‍්‍රඥයන්ගේ නම් අතර අවසාන වසර වෛද්‍ය ශිෂ්‍යයකුගේ නමක්ද ජාතික සම්මාන උළෙලක දී සඳහන් වීම ඉතිහාසයේ ප‍්‍රථමවරටයි සිදුවුණේ.
ඊට පසුව ඔබ ශ්‍රී නාම රත්නාලංකාරය පොත සංස්කරණය කර පළ කළා. එම පොත ශ්‍රී වික්රම රාජසිංහ රජුට ලියපු එකක්...?
ශ‍්‍රී වික්රම රාජසිංහ රජු සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ සිංහල ජාතියට හා බුද්ධාගමට වින කළ අයකු හැටියට. ඒත් රාජසිංහ රජු බෝධිසත්ව ගුණ ඇති අයකු වැනි යයි පවසමින් බෞද්ධ භික්ෂුවක් ලියූ පැරණි කාව්‍ය ග‍්‍රන්ථයක් ජාතික කෞතුකාගාරයේදී මා නෙත ගැටී තිබුණා. එවකට කැඩී බිඳී ගොස් තිබුණු අනුරාධපුර ථූපාරාමය ප‍්‍රතිසංස්කරණය කර දෙන්නැයි කතුවර ස්වාමීන් වහන්සේ රජුගෙන් ඉල්ලා සිටිනවා. එම ග‍්‍රන්ථයේ පුස්කොළ පිටපත් ගණනාවක් සොයා අධ්‍යයනය කර කළ පර්යේෂණය ශ‍්‍රී නාම රත්නාලංකාරය ශාස්ත‍්‍රීය සංස්කරණය සහ විමර්ශනය ලෙස මා පළ කළා.
ඔබේ ශාස්ත්‍රීය මෙහෙය අගයපු බව මේ කෘති දෙකම අගැයීමට ලක්වීමෙන් පේනවා. එය සතුටට හේතුවක් නේද?
ග‍්‍රන්ථය කළේ සම්මානයක් බලාගෙන නොවුණත්, අපේ උරැමය වෙනුවෙන් යම් මට්ටමක මෙහෙයක් කිරීමට හැකි මට්ටමේ පර්ෙය්ෂණයක් සිදු කළා කියන ශාස්ත‍්‍රීය සතුටක් ඒ මගින් ඇතිවුණා.
බොහෝ වෛද්‍යවරුන් පමණක් නොවෙයි වෙනත් වෘත්තිකයන් පවා කියන්නේ තමන්ට නවකතා පොතක් කියවීමටවත් වෙලාවක් නැති බවයි. ඔබ මේ සඳහා වේලාව සොයාගන්නේ කෙසේද?
වෙලාව තිබෙනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ තමන්ට යම් වැඩකට තිබෙන ඕනෑකම මතයි.
අද ශාස්ත්‍රීය පර්යේෂණ විශ්වවිද්‍යාලවලින් පවා කෙරෙන්නේ අඩුවෙන් නේද?
ඒ විදිහේ පර්ෙය්ෂණයකට විශාල කාලයක්, ශ‍්‍රමයක් වගේම ධනයක් අවශ්‍යයි. උදාහරණයක් කීවොත් ශ්‍රී නාම රත්නාලංකාරයට අවශ්‍ය ඇතැම් පුස්කොළ පිටපත් මා ගෙන්වා ගත්තේ බ්‍රිතාන්‍ය පුස්තකාලයෙන්. මට රැකියාවක් තිබෙන නිසා මම මුදල් වියදම් කර ඒ පිටපත් ගෙන්නුවා, ඒත් පර්යේෂණයක් කරන ශාස්ත‍්‍රවන්තයකුට එහෙම මුදල් ආදායමක් නැතිව මුදල් වියදම් කරන්න අමාරුයි. මේ වගේ පොතක් විකුණලා හම්බවෙන්නේ සොච්චම් මුදලක්. පොතට යන වියදම ඊට වැඩියි. මම වෛද්‍යවරයකු වුණනිසා මේ දේවල් කළා. සමහරවිට මම කලා උපාධියක් කළා නම් මේ කිසිම නිර්මාණයක් බිහි නොවෙන්නත් ඉඩ තිබුණා.
ඊළඟට මේවාට මූලාශ‍්‍රය හොයන එක එපාම කරපු වැඩක්. ලංකාවේ පුස්කොළ පොත් තියෙන ඇතැම් තැනකින් ඒවා බලන එක ඇඟෙන් පට්ටයක් ගන්නවා වගෙයි. එංගලන්තයේ තියෙන පුස්කොළ පොතක ඡායා පිටපතක් ගෙන්වා ගැනීම ඊට වඩා ලේසියි. පර්යේෂණයකට උනන්දු කරන දේට වඩා වැඩියෙන් තියෙන්නේ පර්යේෂකයන් අධෛර්යයට පත්කරන දේවල්. එහෙම බලනකොට ශාස්ත‍්‍ර ආයතනයකින් ශාස්ත්‍රීය නිර්මාණ බිහි නොවීම පුදුමයට කරැණක් නෙවෙයි. ඒ නිසා පර්යේෂණයක් අඩුවෙන් බිහිවීම ඒ ආයතනවලවත් පුද්ගලයන්ගේවත් වරදක්ම කියලා කියන්න බෑ. වරද තියෙන්නේ කොතැනද කියන එක ජාතියක් වශයෙන් අපට කල්පනා කරලා බලන්න වෙනවා.
කුසුම්සිරි