2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ලංකාවේ කලපු 10කට සුපිරි වරමක්

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 861

ගොඩබිමත් ජලයත් එකතු වන මායිම වසාගත් කඩොලාන පක්ෂීන් ඇතුළු සත්වයන් රැසකට පාරාදීසයකි. ජල රළ නැගෙන නොනගින කලපු තීරය දුටුවන්ට රසඳුනකි. සංචාරක කර්මාන්තයේත් ධීවර කර්මාන්තයටත් වැදගත් ශ්‍රී ලංකාවේ කලපු පද්ධතිය තුළ තෝරාගත් කලපු 10 ක් සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කටයුතු කරයි.

දිවයින පුරා හඳුනාගෙන තිබෙන කලපු 116 අතුරින් රුකව, කොග්ගල, ආරුගම්බේ, පානම, හලාවත, බුන්දලම, පුත්තලම, යාපනය, උප්පුආරු සහ තොණ්ඩමනාරැ යන කලපු 10 පළමු අදියරේ දී සංවර්ධනය කෙරෙනු ඇත. මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වශයෙන් පරිසර සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙමින් සිදු කිරීමට නියමිතය.

ධීවර හා සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කොටගෙන නව රැකියා සහ නව ආදායම් උත්පාදනය කිරීමට සැලසුම් කෙරෙන කලපු සංවර්ධන වැඩසටහන මගින් රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය සපුරාලීම හා අපනයනය කිරීමත් කලපු ආශ්‍රිතව සංචාරක කලාප ඇති කිරීමත් ප්‍රධානය. කලපු සඳහා වන ප්‍රවේශ මාර්ග සංවර්ධනය, කලපුවේ රොන්මඩ ඉවත් කර මත්ස්‍ය ගහණයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම, පාරම්පරික ධීවර කර්මාන්තය නැවත ආරම්භ කිරීම, ධීවර නිවාස සංවර්ධනය, සනීපාරක්ෂක පහසුකම් නැංවීම, සමාජ ආර්ථික තත්ත්වය නගා සිටුවීම, ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ඇරඹීම, සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් හා ආධාර සැපයීම, මත්ස්‍ය අභිජනනය, ඉහළ ඉල්ලුමක් සහිත ඉස්සන්, මෝදා සහ කකුළු වගාව ව්‍යාප්ත කිරීම, සංචාරක බෝට්ටු සේවා ඇරඹීම, කලපුවේ මත්ස්‍ය අස්වැන්න අලෙවිය සඳහා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම හා කලපු කළමනාකරණ කමිටුවක් පිහිටුවීම ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක කෙරේ.

මේ පිළිබඳව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එච්.එල්. තිසේරා මහතා මෙලෙස අදහස් දැක්වීය.

කලපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළේ ලංකාවේ ප්‍රථම වතාවටයි. 2018 අයවැය යෝජනාවට අනුව ක්‍රියාත්මක කරන මෙය රැපියල් මිලියන 3200ක ව්‍යාපෘතියක්. ඒ වගේම වසර තුනකින් වැඩසටහන නිමා කිරීමට සැලසුම් කරලා තිබෙනවා. පළමු වටයේ තෝරාගත් කලපු 10 අතුරින් මුලින්ම රුකව කලපුව සංවර්ධන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. මෙතෙක් ලංකාවේ කලපු ආශ්‍රිතව සීමා නිර්ණ කටයුතු කරලා නෑ. මේ වැඩසටහන හරහා එම කටයුත්ත සිදු කරනවා. දැනට කලපු 8ක කටයුතු අවසන් කර තිබෙනවා. 

සීමා නිර්ණ කටයුතු සඳහා මිනින්දෝරැ දෙපාර්තමේන්තුවේ සහාය ලැබෙනවා. ඒ වගේම එහි සෙසු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සහයෝගය ලැබෙනවා. ඔවුන් කලපුවේ මායිම්වල කොන්ක්‍රීට් කණු ස්ථාපිත කිරීමට කටයුතු කරනවා.

වැඩසටහන තුළදී ජලජ පරිසරය සංරක්ෂණය, කලපු ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම, ධීවර පහසුකම් නැංවීම සඳහා ඔරු තොටුපොළ සැකසීම, සංචාරක කර්මාන්තයට කැමති පිරිස් තෝරාගෙන නිවාසවල කාමර සංචාරක නවාතැන් ලෙස සංවර්ධනය හා ඊට පිරිස් යොමු කිරීම, යාන්ත්‍රික බෝට්ටු ලබාදීම හා කුරැල්ලන් නැරඹීම සඳහා ස්ථාන සැකසීම සිදු කෙරේ. Home stay සංකල්පය යටතේ නිවාස දහයක් යෙදවීම සඳහා රුකව කලපුව ආශ්‍රිතව මේ වන විට කටයුතු සූදානම්ව පවතී. ඊට අමතරව සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ රැකියා විරහිත තරැණ තරැණියන් යොමු කිරීම සිදුවේ.

මෙතෙක් පැවති කිසිදු රජයක් විසින් කලපු සංරක්ෂණය හෝ ප්‍රවර්ධනය කොට මෙවැනි ව්‍යාපෘතියක් සඳහා යොමුව නැත. ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කරන වැඩපිළිවෙළ පසුපස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සිටී. මෙම ව්‍යාපෘතිය රටට ආදායමක් මෙන්ම ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සැපිරීම සඳහා මනා තෝතැන්නකි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00