2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

නොවැම්බර් 16 දවස අනුව ජනපති ජය කාටද?

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 281

ජනපතිවරණය පැවැත්වෙන 2019.11.16 වැනි දින සෙනසුරාදා උදා නත්කාල ලග්නය වූ කිවි හිමි වන්නේ තුලාවටය. මිථුනයේ ගෝචරය වන චන්ද්‍රයා පිංගල පක්ෂියා නිවේදනය කරනු ලබන්නේය. දින උදාවේදී රජ අවස්ථාවේ සිටින්නේ වී නමුත් කුක්කුට පක්ෂියා මර පක්ෂියා වී අශුභයා බවට පත් වී සිටී. දිනාරම්භයේ දී භේරුණ්ඩයා නිදිය. කාකයා මරණ අවස්ථාවේය. මයුර පිංගල දෙදෙනා ක්‍රියාකාරී වන්නේය. මීට අදාළව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඇති නම් ඔහුගේ ජය තහවුරැ කර ගැනීමට උත්සාහ කළාට වරදක් නැත. එසේ නැතිව කරන්නන් වාලේ වැඩ කරමින් විස්සක් විසිපහක් දෙනා මෙවැනි අභිවෘද්ධිදායක අවස්ථාවේදී ජනපති පොරයක් අල්ලන්නට මාන බලන්නේ ඇයිදැයි කියා සිතාගත නොහැක.

තුලාවේ මෙදින රවි ග්‍රහයා නීච වී සිටී. දින උදා ලග්නය ද තුලා වන්නේය. එකී තුලා රැසේ මිථුන - කන්‍යා හිමි බුධ ග්‍රහයා වක්‍ර වී සිටී. තුලා, වෘශ්චික රාශි අධිපතියන් පරිවර්තනයක් ද සිදු කරගෙන සිටී. මෙම ලිපිය දේශය පුවත්පතටම පමණක් ලියා එවනු ලබන්නේ 2019.09.24 වැනිදාය. මේ අනුව 2019.11.16 වැනිදා වන විට තුලා සහ වෘශ්චික ලග්න හිමියන් අතර ද්වන්ධ සටනක් ඇවිලී බොහෝ අපේක්ෂකයන් විසිවී යටපත් වී ඉන්නවා ද කියා අවධානයක්වත් ඇති නොවෙනවා ඇත.

මෙදින රාහු කාලය පෙරවරැ 09.01 සිට 10.31 දක්වා බලපවත්වන්නේය. මේ කාලය අතරතුරදී භේරැණ්ඩයා රජ අවස්ථාවේ සිටියත් එකී පක්ෂි බලය ඇත්තන් ඡන්ද කටයුතුවල නිරත නොවන්නේ නම් මැනවි. පිංගල පක්ෂියා බලය ඇත්තන් තම ඡන්ද කටයුතු පෙ.ව. 10.49ට පෙර හෝ ප.ව. 3.40න් පසු හෝ සිදු කිරීම වැඩදායක විය හැක.

මයුර පක්ෂි බල ඇත්තන් පෙ.ව. 8.25ට එකී කටයුතුවලට ආරම්භයක් ගැනීම ඉතා සුදුසු වනු ඇත.

කාක පක්ෂි බලය ක්‍රියාත්මක වන අය ප.ව. 01.15න් පසුව 3.30 දක්වා තමාට සුදුසු මොහොතක් පෞද්ගලික ජ්‍යොතිර්වේදියාගෙන් ලබාගත යුතුය.

එක් එක් පක්ෂීන් නිවේදනය කරනු ලබන දේවතාවා පිදීමෙන් ද තම පක්ෂි බලය වර්ධනය කරගත හැක. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සුරකින ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ද ශ්‍රී ලංකාවට පමණක් නොව මුහුදින් එතෙර තවත් දිවයින් හතරකට දිව්‍ය තේජානුභාවය මුදාහරිනු ලබන කතරගම දෙවිඳුන් ද මුල්කොට සර්ව දේවතා පූජා පවත්වා භක්තියෙන් විශ්වාසයෙන් දිව්‍ය ආරක්ෂාව ඉල්ලා සිටින දේව දරැවෙක් වන බව කියා රටේ ප්‍රධාන පුරවැසි වරම ලබා දෙන්නැයි කන්නලව් කිරීම ද යහපති.

අනුන් තලා පෙලා හිරිහැර කරන්නට, පළිගන්නට විනාශ කරන්නට බලය දෙන්නැයි යන ඉල්ලීම් විශ්වයට විශ්වගත කිරීම සුභවාදී නැත. 2019 සැප්තැම්බර් 25 සිට නොවැම්බර් 10 දක්වා ශනි - කුජ ග්‍රහ යුවල චතුරස්‍ර පිහිටීමකට ලක්වේ. මෙම පිහිටීම නිසා ගිනිගැනීම්, හදිසි අනතුරු, ගහමරා ගැනීම්, මනු සිත කුපිතවීම් ඉස්මතු වන්නේය. එකී ඇවිලී යන ගින්නක් බඳු ග්‍රහචාරයට දේශපාලන වේදිකාවල වහසි බස් දොඬාගැනීම එකී ගින්නට පිදුරු දමනවා වාගේ වේවි. පාවෙන ඡන්ද ටික දිනාගන්නට තමාගේ මහජන සේවාව කීම පමණක් වටී. එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීමෙන් ජනතාවට ප්‍රයෝජනයක් නැත. ඒ නිසා සියලු කථිකයන් ඒ ටික සිතේ දරාගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම නම් වටී.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී