2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල කෙරුවාව!

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:31 301

ජනාධිපතිවරණය පිළිබඳ දින වකවානු ප්‍රකාශයට පත් වී ඇත. මෙවර ජනාධිපතිවරණය වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇතැයි සිතන්නට පුළුවන. දහක 03ක පමණ සිට මෙරට පැවැත්වෙන ඕනෑම මැතිවරණයක නිදහස් හා සාධාරණ බව තීන්දු කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නිරීක්ෂණයන් යනු ඉතාමත් වැදගත් සාධකයකි.

ශ්‍රී ලංකාව තුළ මැතිවරණ නිරීක්ෂණය ආරම්භ වන්නේ 1987 වර්ෂයේදීය. එවකට තිබූ දේශපාලන වාතාවරණය අනුව මැතිවරණවල නිදහස් හා සාධාරණභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වූ පරිසරයක් තුළ එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සිවිල් සමාජ නායකයන් කිහිපදෙනකු විසින් ඇතිකරගත් සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ප්‍රථම නිරීක්ෂණ කණ්ඩායම බිහිවිය. මෙම කණ්ඩායමේ ප්‍රථම නිරීක්ෂණ ක්‍රියාවලිය 1988 ජනාධිපතිවරණයේදී සිදුවී ඇති අතර එය ජංගම නිරීක්ෂණයට පමණක් සීමා වී තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට මෙරට නිරීක්ෂණ සංවිධාන 08ක් පමණ ක්‍රියාත්මකය.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අරමුණු:

මෙරට සියලුම නිරීක්ෂණ සංවිධානවල අරමුණ වී ඇත්තේ ජනතාවට තමන්ගේ අභිමතය පරිදි  බාධාවකින් තොරව තමන්ගේ පාලකයන් පත්කර ගැනීමට නිදහස් පරිසරයක් තිබේද යන්න නිරීක්ෂණය කිරීම හා වාර්තාකරණයයි. නමුත් සියලු නිරීක්ෂණ සංවිධාන ඉතා කෙටි කාලයකින්ම ඉදිරි පියවරක් තබමින් නිරීක්ෂණය කිරීම හා වාර්තාකරණයෙන් ඔබ්බට යමින් එකී ක්‍රියාවලිය තුළ කොටස්කරුවන් බවට පත්විය. ඒ අනුව මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ බලධාරීන්ට සහය දක්වන්නකු බවට එකී සංවිධාන පත්වී ඇත. පසුකාලීනව එයිනුත් නොනැවතී නිරීක්ෂණ සංවිධාන නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනද ඇතිකර ගැනීම සඳහා ඍජු ලෙසම මැදිහත් වී ඇත.

රට තුළ වඩාත් කතාබහට ලක්වී ඇති මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල සූදානම පිළිබඳව මෙරට ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසුවෙමු.

හැම ඡන්ද කොට්ඨාසයකටම අපෙන් නිරීක්ෂකයෙක්
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

අපි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස කාලයක සිට මෙරට මැතිවරණ පැවැත්වෙන කාලසීමාවන් තුළදී ඉතා ස්වාධීන කාර්යභාරයක් ඉටුකරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් අපි ඒ විදියටම ඒ කාර්යභාරය ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා අපි පැෆරල් සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂකයන් 10,000ක් පමණ යෙදවීමට සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අප සංවිධානය මේ මැතිවරණයේ පූර්ව කාලයට තමයි වැඩි අවධානය යොමුකරන්නේ. ඒ වගේම තමයි මෙරට යෑම මැතිවරණ කොට්ඨාසයකටම දිගුකාලීන මැතිවරණ නිරීක්ෂකයකු බැගින් යොදවන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා නිරීක්ෂකයන් 200ක් පමණ මේ වනවිටත් සූදානමින් සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී නිරීක්ෂකයන් 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් මැතිවරණ පැවැත්වෙන ස්ථානයන්ට ස්ථානගත කිරීමටත් සැලසුම් කරලා තියෙනවා. 

තැපැල් ඡන්දය සඳහා පැෆරල් සංවිධානය විසින් නිරීක්ෂකයන් 1500ක් පමණ යොදවන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජංගම නිරීක්ෂණ මේ 250ක් පමණක් එහි සේවයට නිරීක්ෂකයන් 1000ක් පමණත් යොදවන්නත් පියවර ගන්නවා. මේ සියලු කටයුතු සොයාබැලීම සඳහා එක් දිස්ත්‍රික්කයකට එක් සම්බන්ධීකාරකවරයකු ලෙස යෙදවීමටත් අප පැෆරල් සංවිධානය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වාධීන විදේශීය නිරීක්ෂකයන් 35 දෙනෙකු අපගේ ආරාධනයෙන් ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණීමට නියමිතයි. එහිදී පැමිණෙන නිරීක්ෂකයන් 12 දෙනෙකු පමණ දිගුකාලීන මැතිවරණ නිරීක්ෂකයන් විදියට මාසයක් පමණ කටයුතු කරන අතර ඉතිරි විදෙස් නිරීක්ෂකයන් ජනාධිපතිවරණයේ කටයුතු සඳහා කෙටිකාලීන නිරීක්ෂකයන් විදියට තමයි කටයුතු කරන්නේ මැතිවරණ ක්‍රමය සහ අනෙකුත් මැතිවරණ කටයුතු පිළිබඳ සොයාබැලීමට තවත් විදෙස් නිරීක්ෂකයන් තිදෙනෙක් පමණ පැමිණීමට නියමිතයි. 

ඒ වගේම මේ වනවිටත් පූර්ව මැතිවරණ කාලය තුළ නීති විරෝධී ලෙස පත්වීම් ලබාදීම පිළිබඳව අපිට වාර්තා වෙලා තියෙනවා. දෛනිකව පැමිණිලි ලැබෙමින් පවතිනවා. මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට අපි ලිඛිත දැනුම් දීමක් කරලා තියෙනවා. පෙර මැතිවරණවල මෙන්ම මෙවර මැතිවරණයේදීත් අපක්ෂපාතීව, මධ්‍යස්ථව හා ස්වාධීනව කටයුතු කිරීමට පැෆරල් සංවිධානය ලෙස අපි බලාපොරොත්තු වෙනවා.

ඡන්දදායකයන්ට අල්ලස් දීම් අපි විශේෂයෙන් සොයාබලනවා
කැෆේ සංවිධානයේ වැඩබලන අධ්‍යක්ෂක අහමඩ් මනාස්

කැෆේ සංවිධානය සුපුරුදු පරිදි මෙවරත් අනෙක් මැතිවරණ සේම ජනාධිපතිවරණය සඳහා නිරීක්ෂණයට සූදානමින් සිටිනවා. දිස්ත්‍රික් විසි පහටම අප සංවිධානය විසින් නිරීක්ෂකයන් සම්බන්ධීකාරකවරුන් පත් කරනවා. ඒ වගේම තමයි දිගුකාලීන මැතිවරණ සම්බන්ධීකාරකවරුන් 7500ක් පමණ යොදවන්නත් බලාපොරොත්තු වෙනවා. පෙර මැතිවරණවල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට එරෙහිව කැෆේ සංවිධානය විසින් එම මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් පිළිබඳ විවිධ අවස්ථාවන්හි මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීම් කරලත් තියෙනවා. 

විශේෂයෙන්ම මේ වනවිට බොහෝ දෙනා මත පළකර තිබෙනවා. අපගේ හිටපු අධ්‍යක්ෂතුමා රජයේ තනතුරක් හොබවන නිසාවෙන් එය මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට බාධාවක් එල්ල වෙයි කියලා. නමුත් අප තරයේ කියා සිටිනවා කැෆේ සංවිධානය සුපුරුදු පරිදි මෙවරත් ස්වාධීනව, අපක්ෂපාතීව ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු සිදු කරනා බව. මේ වනවිට පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කැෆේ සංවිධානයට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මෙලෙස වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සියල්ල වාර්තා වූයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව සිදුකළ නීති විරෝධී ලෙස පත්වීම් ලබාදීම්. විශේෂයෙන්ම ඡන්දදායකයන්ට අල්ලස් දීම් පිළිබඳ අපි විමසිල්ලෙන් සිටිනවා. ඒ වගේම තමයි මෙවැනි සිදුවීම් ජනාධිපතිවරණයේදී වාර්තා වුවහොත් ඒ පිළිබඳ මැතිවරණ කොමිසමට වගේම අල්ලස් කොමිසමටත් දන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි හිතනවා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සිය කටයුතු සලසයි කියලා.

අපේ සොයාබැලීම් පොදු දේපොළ අවභාවිතය ගැනයි
ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ප්‍රධාන වැඩසටහන් කළමනාකාරිණී ශෂී ද මෙල්

2001 වර්ෂයේ සිට ජාතික තලයේ මැතිවරණවල පොදු දේපළ පරිහරණය කිරීම් පිළිබඳව තමයි අපගේ ආයතනය විසින් නිරීක්ෂණය කරනු ලබන්නේ. මීට පෙර මෙරට පැවති මැතිවරණයන්වල පොදු දේපළ වාහන වගේම රජයේ ගොඩනැගිලි අවභාවිත කළ සිදුවීම් වාර්තාවෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී එම අපේක්ෂකයන්ට සහය දක්වන පුද්ගලයන් රජයේ පොදු දේපළ භාවිත කරන ආකාරය පිළිබඳව සොයාබැලීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වනවිට ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවා තිබෙනවා. නමුත් තවමත් රජයේ පොදු දේපළ අයථා ලෙස භාවිතා කිරීම් පිළිබඳ වාර්තාවෙලා නැහැ. 

කෙසේ නමුත් අපි ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට ඒ පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කිරීම ආරම්භ කරනවා. ඒ වගේම කුමන පක්ෂයක ජනාධිපතිධුර අපේක්ෂකයකු වුවත් මෙලෙසින් රජයේ පොදු දේපළ අයථා ලෙස භාවිතා කළහොත් අල්ලස් කොමිසමට, මැතිවරණ කොමිසමට මෙන්ම පොලිසියට දැනුම්දීම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අයහපත් කාලගුණය නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වනවිට ගංවතුර තත්ත්වයන් හටගෙන තිබීම. මෙහිදී දේශපාලන අපේක්ෂකයන් විපතට පත්වූවන්ට දේශපාලන වාසි තකා විවිධ සහනාධාර ලබාදීම් පිළිබඳවත් අප විමසිලිමත් වෙනවා. මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙත මැතිවරණ දිනයන් තොරතුරු නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයන් පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පොදු දේපළ භාවිත කිරීම් පිළිබඳව තමයි මෙවර ජනාධිපතිවරණයේදී අප සොයාබැලීම් සිදුකරන්නේ.

නීති කැඩීම් ගැන විමසිල්ලෙන් ඉන්නවා
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර

අප ජාතික මැතිවරණ මධ්‍යස්ථානය පිළිගත් සංවිධානයක්. පසුගිය වසර දොළහක කාලය තුළ මෙරට පැවති සියලු මැතිවරණයන්හිදී අප අපගේ මැතිවරණ නිරීක්ෂන කටයුතු ස්වාධීනව සිදුකරලා තියෙනවා. අපගේ සංවිධානය තුළ වෘත්තීයවේදීන් සියලුම ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ස්වාධීන මැතිවරණ කටයුතු සඳහා අපත් සමග එක්වී සිටිනවා. බහුතරයක් දිස්ත්‍රික්කවලට අපි ජනාධිපතිවරණය සඳහා නිරීක්ෂණ කටයුතුවලට නිරීක්ෂකයන් යොදවනවා. මීට පෙර පැවති මැතිවරණවලදීත් මැතිවරණ නීති උල්ලංඝනය කරනා පුද්ගලයන් පිළිබඳ අප මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම්දීම් සිදුකරලා තිබෙනවා. ඒ වගේම 1500ක පමණ නිරීක්ෂකයන් අප මෙවර ජනාධිපතිවරණය සඳහා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා. 

තවමත් මේ ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීම සිදුවෙමින් පවතිනවා. මේ පශ්චාත් මැතිවරණ සමය නිසා තවමත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී නැහැ. වාර්තා වී තිබෙන්නේ නීති විරෝධී ආකාරයෙන් පත්වීම් ලබාදීම. මේ පිළිබඳව අප මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. තරාතිරමක් නොබලා මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් කළහොත් ඒ පිළිබඳව නීතිමය කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

අපේක්ෂකයන් සියලුදෙනාගේ මැතිවරණ වියදම් සොයා බලනවා
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක මංජුල ගජනායක

අපගේ CMEV සංවිධානයට සහ පැෆරල් සංවිධානයට තමයි මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ සඳහා ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිසීමට නීතිමය හැකියාවක් පවතින්නේ. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා 5000ක පමණ නියෝජිතයන් පිරිසක් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිගුකාලීන මැතිවරණ නිරීක්ෂකයන් 160ක් ඔක්තෝබර් පළමුවැනිදා සිට මැතිවරණ නිරීක්ෂණයට ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරණ දිනයේදී වාහන 100ක් පමණ කොළඹින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් වෙත පිටත්කර යැවීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි මෙරට ආබාධිත පුද්ගලයින් ලක්ෂ 15ක් පමණ සිටිනවා. එම පුද්ගලයින් 100ක් පමණත් අපි ජනාධිපතිවරණ දිනයේදී යොදවන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔවුන්ටත් මෙම මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම් විඳගැනීමට. 

ඒ වගේම සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එල්ලකරන විවිධ වෛරී සහගත ප්‍රකාශ, තොරතුරු පිළිබඳවත් මෙවර අපි සොයාබැලීමට තීරණය කරලා තිබෙනවා. එවැනි දේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමටත් අපි කටයුතු කරනවා. ඉතිහාසයේ මෙතෙක් කවුරුත් කරලා නැති ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලුදෙනාගේම මැතිවරණ වියදම් පිළිබඳ පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එහිදී කටවුට්, බැනර්, සංග්‍රහ වියදම් ආදිය තමයි සොයාබැලීම් සිදුකරන්නේ. තවමත් මැතිවරණ පැමිණිලි අපි වෙත ලැබී නැහැ. ලැබෙමින් පවතින්නේ තවමත් නීති විරෝධී ලෙස රාජ්‍ය ආයතනයන් සඳහා පත්වීම් ලබාදීම් තමයි. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට අපි පියවර අරගෙන තියෙනවා. ඒ වගේම පෙර පැවති මැතිවරණයන් සේම මෙවර ජනාධිපතිවරණයේදීත් සාධාරණ අපක්ෂපාතී ලෙස ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අදියර තුනක් යටතේ මැතිවරණ මෙහෙයවීම් සිදුකරනු ඇත. එම අදියර තුන වන්නේ පූර්ව මැතිවරණ අවදිය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ අවදියයි. එහිදී නිරීක්ෂණ සංවිධාන විසින් ඡන්ද දායකයන් දැනුවත් කිරීම්, මාධ්‍ය භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි සමස්තයක් ලෙස නිදහස් හා සාධාරණ  මැතිවරණයට අවශ්‍ය සියලුම කරුණු මෙම නිරීක්ෂණ සංවිධානවල අවධානයට ලක්වනු ඇත.

 

 

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00