භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් විහාරස්ථානයකට රුපියල් ලක්ෂ 15ක ජල පෙරන පද්ධතියක් ඉදිකර එය විවෘත කිරීමේදී ඒ සිද්ධිය පිළිබඳ සමරු ඵලකයක් ස්ථාපිත කිරීම සඳහා සහ එය විවෘත කිරීමේදී තවත් රඅපියල් ලක්ෂ 7 ½ ක් වැය කිරීම පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) පසුගියදා විමසුමට ලක් විය.
මෙලෙස ලක්ෂ 7 ½ ක් වැය කර සමරු ගල් පුවරුවක් ඉදිකර ඇත්තේ ඒ වෙනුවෙන් නාවික හමුදාව විසින් සකස් කර සවි කරනු ලැබ තිබූ පුවරුව ඉවත් කර බවද මෙහිදී හෙළි වී තිබේ. මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල සහ නිලධාරීන් පසුගිය 18දා කෝප් කමිටුව ඉදිරියට කැඳවූ අවස්ථාවේදීය.
සභාපති අසේල ඉද්දවෙල එහිදී පවසා ඇත්තේ මේ සමරැ ඵලකය වෙනුවෙන් එතරම් මුදලක් වැය කළේ එය ජල පෙරන ඉදි කිරීමේ ව්‍යාපෘතියේ 500 වැනි අදියර සනිටුහන් කිරීමට නිසා විශේෂ සිද්ධියක් ලෙස සලකමින් බවය. එසේම එය කුඩා පුවරුවක් නිසා ඉවත් කළ බවද ඔහු කීය. ලක්ෂ 15 ක් වැය කළ ව්‍යාපෘතියකට ලක්ෂ 7 ½ ½ ක් වියදම් කර සමරු ඵලකයක් සවි කිරීම අනුමත කළ නොහැකි බව එහිදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දී තිබෙන බවද වාර්තා වෙයි.
මෙම සිද්ධියට අදාළ විහාරස්ථානය මිහින්තලේ මිහිඳු මහ විහාරය බවද කෝප් කමිටු සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.
එසේම මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාලයේ 2019 අගෝස්තු 31 දින වන විට තනතුරු 37කට අදාළ පුරප්පාඩු 110 ක් පිරවීමට කටයුතු කර නොමැති බව විගණකාධිපති වාර්තා කර ඇති බවය. මෙම තනතුරු අතර, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නීති අධ්‍යක්ෂ, භූ විද්‍යා විද්‍යාඥ ආදී ඉහළ තනතුරු රැසක් ඇති බවද ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොපුරවා තිබීම නිසා කාර්යාංශයේ කටයුතු කරගෙන යාමට අපහසුතාවක් උද්ගතව ඇති බවද පෙන්වා දී තිබේ.
මෙම පුරප්පාඩු 2017 වසරේ සිට පවතින බව අනාවරණය වූ අතර මෙම ඇතැම් තනතුරුවල පුද්ගලයන් ඉදිරිපත් වීම අවම මට්ටමක තිබෙන බවද තෝරාගත් පුද්ගලයන් වැඩ බාර නොගන්නා බවද සභාපති අසේල ඉද්දමල්ගොඩ පැවසීය. යළි යළිත් අයදුම්පත් කැඳවුවද වෘත්තීය සුදුසුකම් ඇති අයට ලැබෙන වැටුප සහ දීමනා මෙන්ම සෙසු පහසුකම් ද අඩුවෙන් ලැබෙන නිසා එම තනතුරු බාර නොගන්නා බවද හෙළි විය. 2018 – 2019 වසර වන විට විටින් විට කිහිප වරක් අයදුම්පත් කැඳවුවද පුරප්පාඩු පුරවා ගැනීමට නොහැකි වූ බවද මෙහිදී අනාවරණය කෙරුණි.
මෙහිදී හෙළි වූ තවත් කරුණක් වන්නේ අවශ්‍ය තනතුරුවල නිලධාරීන් නැති වුවද අනවශ්‍ය තනතුරු සඳහා බොහෝ දෙනෙක් බඳවාගෙන ඇති අතර ඒ අවිධිමත් බඳවා ගැනීම් හේතුවෙන් මේ වන විට 210ක අතිරික්තයක් ඇති වී ඇති බවය. මෙහිදී අවසානයට නියෝග ලැබුණේ මුදල් අමාත්‍යංශ ලේකම්ට මේ පිළිබඳ දන්වා අනුමත සේවක සංඛ්‍යාව (carder) සංශෝධනය කරවාගෙන ඔවුන්ගේ වැටුප් හා දීමනා ආදිය යාවත්කාලීන ලෙස සකස් කළ යුතු බවටය. තම ආයතනය වෙනත් රාජ්‍ය ආයතන මෙන් භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති ආයතනයක් වන අතර රාජ්‍ය භාගය ද රජයට ගෙවන නිසා ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිව යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අනාවරණය වූ තවත් කරුණක් වූයේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහා අලුතින් මාධ්‍ය ඒකකයක් පිහිටුවා ඇති බවය. එයට හේතුව කුමක්දැයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති විමසූ විට සභාපතිවරයා පැවසුවේ මාධ්‍යවල පළවන පුවත් වලින් තම ආයතනය නිතර විවේචනය කළත් එයින් කෙරෙන හොඳ වැඩ මාධ්‍ය වාර්තා නොකරන නිසා තම සේවය ජනතාවට පෙන්වා දීම සඳහා මෙවැනි මාධ්‍ය ඒකකයක් පිහිටුවා ඇති බවය. මේ සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවකයන් ස්වල්ප දෙනකු බඳවාගෙන ඇති අතර සඟරාවක් ද ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද සභාපතිවරයා කීවේය.
සභාපති සුනිල් හඳුන්නෙත්ති මෙහිදී අනාවරණය කළේ කාර්යාංශය භාණ්ඩාගාරයෙන් මුදල් නොගත්තද, රටේ පොදු සම්පතක් වූ භූමිය ප්‍රයෝජනයට ගෙන ආයතනය මුදල් උපයන බවය. වැලි, පස්, ගල්, ඛනිජ ආදිය භූමියේ සම්පත් වන අතර එම උපයන මුදල් නිසියාකාරව පරිහරණය කළ යුතු බවද අවධාරණය කෙරැණි. සමාජ සත්කාර වැඩසටහන්වලට අනවශ්‍ය පරිදි විශාල මුදලක් වැය කරන බව විගණකාධිපති වාර්තා අනුව පෙනී ගොස් ඇති අතර පසුගිය කෙටි කාලය තුළ මිලියන 35 ක් විවිධ සමාජ සත්කාර වැඩසටහන් සඳහා වැය කිරීම අනුමත කළ නොහැකි බවද හේ කීය.
නාස්තිකාර වියදම් රැසක් සුබසාධන වියදම් ලෙස හුවා දක්වා තිබෙන බවද ඔහු කීය. කාර්යාංශයේ මුදල් සංදර්ශන හා සැණකෙළි සඳහා වැය කිරීම ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අතර එලෙස මුදල් අනවශ්‍ය ලෙස වැය කිරීම නැවැත්වීමට ද නියෝග ලැබුණි.
2014 වසරේ දී හිටපු පාරිසරික හා මහවැලි සංවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ඉල්ලීම මත කාර්යාංශයේ හිටපු සභාපති සෙනරත් ජයසුන්දර විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් මුදාහැර ඇති බවද කෝප් කමිටුවේදී හෙළි විය. මෙම මුදල් වවුචරය අත්සන් කර ලබාගෙන ඇත්තේ හිටපු සභාපතිගේ පෞද්ගලික කාර්ය සහකාර ලක්මාල් ගුණසේකර නැමැත්තකු වන අතර එහිදී කෝප් සභාපති ප්‍රශ්න කළේ මෙවැනි විශාල මුදලක් සුළු සේවකයකුට ලබාදීම අනුමත කළ හැක්කක් නොවන බවය. මෙම මුදල ගෙන ඇත්තේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට බව සඳහන්ව ඇති අතර මොහුට මහජනතාව දැනුවත් කිරීමට ඇති සුදුසුකම් කුමක්ද යන්න ද මෙහිදී විමසා සිටියේය. ඔහු දැනට රැකියාවේ නොමැති බවද මෙම ගෙවීම්වලට අදාළ වවුචර් සහ ලිපිවල මුල් පිටපත් නොමැති අතර ඇත්තේ ඡායා පිටපතක් බවද අනාවරණය විය. එය කෝප් කමිටු සභාපතිට ඉදිරිපත් කළ අතර මුල් පිටපත නොමැති වුවද ඉදිරි විමර්ශන කටයුතු සඳහා මෙය ප්‍රයෝජනයට ගත හැකි බවද තීරණය කෙරුණි.
හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට මෙම මුදල් බාරදුන් බවට ලිපියක් ද ඇති බව පැවසූ අතර 2014 වසරේ සිදු වූ මෙම සිද්ධියට ඉදිරි පියවර ගැනීම අවුරුදු හතරක්ම ප්‍රමාද කිරීම පිළිබඳ කෝප් සභාපතිවරයා නොසතුට පළ කළේය. 2018-12-18 දින අදාළ පුද්ගලයන්ට නඩු පවරන ලෙස නීතිපති නියෝග කළ ද එය තව සිදු නොවී ඇති බවද සාකච්ඡා කෙරැණි. මේ පිළිබඳ නඩු පැවරීමේ කටයුතු මසක් ඇතුළත සිදු කරන බවට කාර්යාංශ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා කෝප් කමිටුව ඉදිරියේ පොරොන්දු විය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළි වූ තවත් වැදගත් සිද්ධියක් වූයේ පසුගිය වසර පහක කාලය තුළ වරාය නගරය ඉදිකිරීම සඳහා ලබාගත් වැලි වෙනුවෙන් රුපියල් මිලියන 2245 ක් හෙවත් කෝටි 224 ක් වූ රාජ්‍ය භාගය රජයට ගෙවා නොමැති බවය. මෙය විශාල ආදායමක් අහිමි වීමකි.
වරාය අධිකාරිය 2013 වසරේදී මෙම රාජ්‍ය භාගය ගෙවිය යුතු නැති බවට නියෝගයක් නිකුත් කර තිබුණද, අධිකාරියට එවැනි නියෝගයක් කිරීමට කිසිදු නෛතික බලයක් නොමැති බවද මෙහිදී අනාවරණය කෙරුණි. වරාය නගරය ඉදිකිරීම සඳහා වැලි කියුබ් මිලියන 3 ක් පමණ ලබාගෙන ඇති අතර ඩොලර් බිලියන 1 ½ක මුදලක් වරාය නගරය වෙනුවෙන් යොදවන බවට අදාළ චීන සමාගම ප්‍රකාශ කර තිබියදී ඔවුන්ගෙන් රාජ්‍ය භාගය ලබා නොගෙන වැලි නිකුත් කිරීම විශාල ගැටලුවක් බවද අනාවරණය විය. මෙම කොන්ත්‍රාත්තුව ආරම්භ කරන ගිවිසුමේ ද රාජ්‍ය භාගය ගෙවන ලෙසට එකඟ වී තිබියදී වරාය අධිකාරියට එවැනි වැරදි නියෝගයක් නිකුත් කිරීමට බලයක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳ ද සාකච්ඡා කෙරැණි. රාජ්‍ය භාගය ගෙවන ලෙසට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය චීන සමාගමට නිර්දේශ කර තිබුණද එය ඉටු වී නොමැති බවද අනාවරණය විය.
අවසානයේ දී කෝප් කමිටු නිර්දේශය මත, රාජ්‍ය භාගය ලබා නොගෙන වැලි නිකුත් කිරීමේ පාඩුව පියවා ගැනීමට සඳහා තම අමාත්‍යංශය මගින් කැබිනට් පත්‍රිකාවක් පිළියෙළ කර එය අයකර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක කෝප් කමිටුවට පොරොන්දු විය.
► යසවර්ධන රුද්රිගු