කප්පම් ගැනීම, බිය වැද්දීම හා පැහැරගෙන යාම වැනි අපරාධ කල්ලිවල ක්‍රියා වරින්වර වාර්තා වේ. කප්පම් ගැනීමට උත්සාහ කිරීම හෝ පැහැරගෙන ගොස් පහරදීම මහමඟ දමායාම නැතිනම් කප්පම් ඉල්ලීමේ අවසන් ප්‍රතිඵලය සැකකරැවන් පොලීසියට කොටුවීමය. අනතුරුව කළ නොකළ හා සියලු සැලසුම් පිළිබඳ විස්තර එකිනෙක වැමෑරීමය.
කප්පම් කතා අතර නවතම සිදුවීම වාර්තාවූයේ කළුතර ප්‍රදේශයෙනි. රුපියල් කෝටි දහයක කප්පම් මුදලක් ලබාගැනීම සඳහා කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයකුගේ බිරිය හා අට හැවිරිදි දියණිය පැහැර ගැනීමට උත්සාහ කිරීම එම කතාවයි. අදාළ සිදුවීමට සැකපිට මේ වනවිටත් සැකකරුවන් දෙදෙනෙක් වායු රයිෆලයක් හා තියුණු ආයුධ කිහිපයක් සමඟ දොඩංගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන සිටිති.
පැහැර ගැනීමට උත්සාහ කළා යැයි කියන දැරිය කළුතර නාගොඩ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර හසලක ඉගෙනුම ලබන්නීය. සම වයසේ දරු දැරියන් අතර දක්ෂතාවලින් පිරිපුන් ඇය කැපී පෙනුණාය. පොලීසිය පවසන්නේ අදාළ දැරිය දැනට 4 වසරේ ඉගෙනුම ලබමින් සිටින බවය. පළමුවන පන්තියේ සිට ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ දැරියගේ සම වයසේ ගැහැනු හා පිරිමි දරුවන් සිට ඇත. මීට දෙවසරකට පමණ ඉහතදී පැවැති පරීක්ෂණ හා තරග කිහිපයකින් උසස් ලෙස ජයග්‍රහණය කිරීමට මෙම දැරිය සමත්ව සිටියාය. එහිදී පාසලේ පැවැති විශේෂ උත්සවයක් අතරතුරදී ත්‍යාග හා සහතික රාශියක් දිනා ගැනීමටද සමත්ව සිටියාය. දැරියගේ දක්ෂතාවයට හිමිවූ ජයග්‍රහණ සෙසු ළමයින් අතර කිහිප දෙනෙකුටත් වඩා ඔවුන්ගේ මවුපියවරුන්ට දරා ගැනීමට නොහැකිව ඇතැයි කියති. එම නිසා අදාළ දැරිය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු පැවසීමටත් ඔවුන් පියවර ගෙන ඇතැයි කියති. ඒ අතර මූලික වී ඇත්තේ එක් පිරිමි දරුවකුගේ පියා සහ මව බවද වාර්තාවේ. එවැනි තත්ත්වයක් තුළ එම පිරිමි දරුවා පාසලෙන් ඉවත් කරගෙන වෙනත් පාසලකට ඇතුළත් කිරීමට මාපිය යුවළ කටයුතු කළ බවද දැනගැනීමට ඇත.
එහෙත් දැනගැනීමට ඇත්තේ පෙර කී දැරියගේ දක්ෂතාවන්ට ත්‍යාග හා සහතික පත්‍ර දිනාගත් සිදුවීමට ඉරිසියාවෙන් පසුවූ මාපිය යුවළ මැදිහත්ව දැරිය හා ඇගේ මවගෙන් පළිගැනීමේ අරමුණෙන් පැහැර ගැනිම සැලසුම් කොට ඇති බවකි. පැහැරගැනීමට උත්සාහ කළ දැරිය සිය මව පියා සමග කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. ඇගේ පියා නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු බවද වාර්තා වේ. මෙම වෛද්‍යවරයා පසුගිය දිනයක විදේශ සංචාරයකට එක්වී තිබෙන අතර එම කාලයේ බිරිය, දියණිය පමණක් නිවසේ සිට ඇත. එම කාලයේදී දෙදෙනා පැහැර ගැනීමේ උත්සාහයක් තිබෙන බවට ඔත්තුකරැවෙක් විසින් තොරතුරක් දොඩංගොඩ පොලීසියට ලබාදී තිබිණ. ඔත්තුකරු පොලීසියට දන්වා තිබුණේ දැරිය හා ඇගේ මව පැහැරගැනීමෙන් පසුව කප්පම් මුදල් ලබාගැනීමට සැලසුම් කරන බවය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසියට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් දොඩංගොඩ, බෝඹුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
සැකකරුවන් සතුව තිබියදී වායු රයිෆලයක්, පොලීසියට සමාන නිල ඇඳුම් හා පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක්ද පොලීසිය සොයාගෙන ඇත. එබැවින් සැකකරුවන් දෙදෙනා අධිකරණ නියෝග මත ප්‍රශ්න කරමින් සිටිති. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරැවන් දෙදෙනා ලබන ඔක්තෝබර් 2 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීම නියෝග කොට ඇත. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
► සමන්ත ප්‍රදීප් විල්තෙර