2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

කෝටි 500ක් දිය කරන සූරියවැව ක්‍රිකට් පිටිය

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

ලංකාවේ විශාලතම ක්‍රීඩාංගණය ලෙසින් ඉදිවූ සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග කිහිපයකට සීමා වූ හා දේශීය මට්ටමේ පාසල් තරග පමණක් පවත්වන මෙන්ම දේශීය සංචාරකයන්ගේ සංචාරක ස්ථානයක් පමණක් බවට පත්ව තිබීම දැඩි කනගාටුවට කරුණක් බව ප්‍රදේශවාසීන් හා ක්‍රීඩා ලෝලීහු පවසති.

රුපියල් මිලියන 4283ක පමණ විශාල මහජන මුදලක් වියදම් කරමින් ඉදිකෙරුණු මෙම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණය අද වනවිට නමට පමණක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට පත් වී තිබේ. ඊට ප්‍රධානම හේතුව නම් අන්කිසිදු කරුණක් නොව මේ වනවිට ක්‍රීඩා ලොක්කන් පාසල් මට්ටමේ ක්‍රිකට් තරග හැරුණුකොට මෙම ක්‍රිඩාංගණයේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් තරග නොපැවත්වීමයි. විශාල මහජන මුදලක් වියදම් කරමින් ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණයට කුඩම්මාගේ සැළකිළි ලැබෙන්නේ කාගේ වරදක් නිසාවෙන්දැයි ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම අපට ද ගැටලුවකි.
මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසු මේ දක්වා මෙහි පවත්වා ඇත්තේ එක් දින තරග 15කටත් අඩු සංඛාවක් වන අතර ටී 20 තරග 07ක් හෝ 08ක් පමණක් බවයි වාර්තා වෙන්නේ. සූරියවැව ඉදිවූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා අක්කර 47ක පමණ භූමි භාගයක් වෙන්කර ඇති අතර ක්‍රීඩා ලෝලීන් තිස්පන්දහසකට පමණ එකවර තරග නැරඹීමේ හැකියාව ද මෙහි පවතී. එමෙන්ම ක්‍රීඩාපිටිය ද මිටර් 100ක දිගින් හා මීටර් 100ක පළලකින්ද යුක්තය. දිවා රෑ දෙකෙහිම තරග පැවැත්විය හැකි අයුරින් ස්ථාපිත කර ඇති නවීන විදුලි ආලෝක පද්ධතියකින් ද සන්විත මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙලෙස පාසල් මට්ටමේ තරග සඳහා පමණක් යොදාගැනීම මහා අපරාධයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අවසන් වරට මෙම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ ජුලි මාසයේදීය. ඒ සිම්බාබ්බේ හා ලංකාව අතර පැවති තරගයයි. වසර කිහිපයක් තිස්සේ තරග නොපවත්වා තිබී නැවත ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කයටුතු කිහිපයක් සිදුකර එම තරගය පැවැත්වීමට කටයුතු කෙරුණි. එහිදී ද තරග අවසානයේ සූරියවැව නම ජාත්‍යන්තරයට ගියේය. ඒ ක්‍රිකට් තරගය නිසා නම් නොව ක්‍රිකට් තරග පැවති දින කිහිපය අවසානයේ ක්‍රීඩාංගණයේ සහායට හා වැඩට පැමිණ සිටි කම්කරුවන් ඇඳ සිටි රෙදි ගලවා ගැනීමක් හේතුවෙනි.

කලින් කලට මෙම ක්‍රීඩාංගණයේ පරිපාලනය වෙනස් වූයේ විවිධ කළමනාකරුවන්ගෙන්  සිදුවූ නොමනා ක්‍රියා කලාපයන් නිසාවෙන් බවයි ගම්මුන් පැවසුවේ. කාලයක් මෙම ක්‍රීඩාංගණය සම්පුර්ණයෙන්ම විනාශයට ගොස් තිබුණි. බේබද්දන්ගේ පාරාදීසයක් බවටද මෙම ක්‍රීඩාංගණය පත්ව තිබූ බවයි ගම්මුන් පැවසුවේ. කෙසේ වෙතත් අද වනවිට එම තත්ත්වය 80%ක් පමණ වෙනස් වී ඇත්තේ අලුත් කළමනාකාරීත්වයක් යටතේය. අද වනවිට ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සඳහා යුධ හමුදා නිලධාරින් 25 දෙනෙකු පමණ යොදවා ඇති අතර ක්‍රීඩාංගණයේ දෛනික නඩත්තු කටයුතු සඳහා ද කළමණාකරුවකු ඇතුළු සේවකයින් 14 දෙනෙකු තරම් වූ සීමිත පිරිසක් යොදවා තිබේ. 2017 වසරෙන් පසුව මේ දක්වා මෙහි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගයක් පවත්වා නොමැති අතර ඒ වෙනුවට පාසල් ක්‍රිකට් තරග, දිස්ත්‍රික් මට්ටමේ හා පළාත් මට්ටමේ ක්‍රිකට් තරග පමණක් මෙහි පවත්වා තිබේ. දැනට පාසල් මට්ටමේ ක්‍රිකට් තරගයක් සඳහා දිනකට රුපියල් 15000ක පමණ මුදලකට ක්‍රීඩාංගණය ලබාදෙන බවයි වාර්තා වන්නේ. මීට අමතරව කාලයක් මේ ස්ථානය විවාහ මංගල උත්සව සඳහා ද ලබා දී තිබුණි. කෙසේ නමුත් ක්‍රීඩා ලෝලීන් පවසන්නේ මේ තරම් මහා ධනස්කන්දයක් වියදම් කරමින් ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණය මෙලෙස විනාශයට යාමට ඉඩ නොදීමට ඉහළ ක්‍රිකට් බලධාරින් වගබලාගත යුතුව ඇති බවයි.

පසුගිය ජනවාරි මස දක්වා බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය මගින් පාලනය වූ මෙම ක්‍රීඩාංගණය අද වනවිට දකුණු පළාත් ක්‍රිකට් සංවර්ධන කමිටුව මගින් පාලනය වෙයි. මේ වනවිට ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු වෙනුවෙන් හා පරිපාලන කටයුතු වෙනුවෙන් කළමනාකරුවකු ඇතුළු සේවකයින් 14 දෙනෙකු පත්කර තිබේ. එම සේවකයන් විසින් දිනපතා මෙම ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතු ද සිදුකරගෙන යන්නේ ඉතා අවම පහසුකම් රැසක් මධ්‍යයේ බවයි අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ. මෙම ක්‍රීඩාංගණයේ තණතිල්ල සකසන්නෙක්ද සිට ඇති නමුත් ඔහුද පසුගිය ඔක්තෝම්බර් මස විදේශ ගතවී තිබේ. ඒ වෙනුවට අද දක්වාම ක්‍රීඩාංගණයට තණතිල්ල සකසන්නෙක් පත්කිරීමට ද ඉහළ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර නොමැතිය. පසුගිය වසරේ පමණක් පාසල් මට්ටමේ හා පළාත් මට්ටමේ ක්‍රිකට් තරග 50කට ආසන්න ප්‍රමාණයක් මෙහි පවත්වා ඇතත් එකඳු ජාත්‍යන්තර තරගයක්වත් සූරියවැව පවත්වා නැත්තේ කාගේ වරදක් නිසාවෙන්දැයි නොවැටහේ.

කෙතරම් මුදලක් වියදම් කර කවුරුන් විසින් මෙය ඉදිකළද මෙය කිසිදු ආණ්ඩුවකට කුණු මුල්ලට දැමිය හැකි ව්‍යාපෘතියක් නොවන බවයි ගම්මුන් පැවසුවේ. ක්‍රිකට් ලෝලීන් පවසන්නේ තවදුරටත් දිගින් දිගටම මේ විදියට සූරියවැවට ක්‍රිකට් තරග නොපැමිණේන්නේ නම් මෙම ක්‍රීඩාංගණය විනාශයට යාම ද නොවැළැක්විය හැකි බවයි. අද වනවිට ක්‍රීඩාංගණය මනා ලෙස නිසි ක්‍රමවේදයකින් යුතුව පාලනය කරගෙන ගියත් ක්‍රිකට් තරග මෙහි නොපැවැත්වෙන්නේ නම් ඒතාක් මේ ස්ථානය දියුණු කිරීමට ද නොහැකිය. කලක් මෙම ක්‍රීඩාංගණය පරවියන්, වඳුරැ හා රිලා කරදර මෙන්ම වවුලන්ගේද රජදහනක්ව  තිබුණි. අද වනවිට ක්‍රීඩාගාරය තුළට වඳුරන්ට හා වවුලන්ට මෙන්ම පරවියන්ට ද අතුළු වීමට නොහැකි වන පරිදි සකස් කර තිබේ. අවට පරිසරයද මනස්කාන්ත ලෙස සකසා ඇති අතර මාසිකව රුපියල් ලක්ෂ 02ක පමණ විදුලි බිලක් හා රුපියල් ලක්ෂයක පමණ වතුර බිලක්ද ගෙවීමට සිදුව ඇත්තේ ක්‍රිකට් තරග නොපවතින පරිසරයක් තුළය.

එමෙන්ම මෙම ක්‍රීඩාංගණයට පැවති තවත් කරදරයක් නම් වන අලි කරදරයයි. ක්‍රීඩාංගණය වටා ස්ථිර අලි වැටක් නොමැති වීම නිසා දින කිහිපයකට සැරයක් වන අලින් ක්‍රීඩාංගණයට ඇතුළු වී සිදුකරනා විනාශය සුළු පටු නොවන බවද මෙහිදී සඳහන් කළ යුතුමය. අවස්ථා කිහිපයකදීම වන අලින් ක්‍රීඩාගාරය දක්වාම පැමිණි අවස්ථා ද අපට වාර්තා විය. මේ නිසා තවදුරටත් මේ ක්‍රීඩාංගණය මේ විදියට විනාශ වීමට නොදී මහජන මුදල් කාබාසනියා කරන ස්ථානයක් පමණක් බවට පත්නොකර අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් තරග පවත්වන ස්ථානයක් බවට පත්කිරීම වගකිවයුතු පාර්ශවවල පරම වගකීමක් බවද සිහිපත් කළ යුතුය. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වර්තමාන කළමනාකරු ලෙස කටයුතු කරන මහේෂ් බෝපගේ මහතාගෙන්ද අප ක්‍රීඩාංගණයේ වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමක් කළ ද ඒ මහතා පැවසුවේ ක්‍රීඩාංගණය මේ වනවිට මනා ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මාධ්‍ය වෙත තමන්ට තොරතුරු ලබාදීමට නොහැකි බවත්ය.

සටහන හා සේයා රූ -  සූරියවැව නුවන් ජයසේකර