අනෝරා වැසි ඇද හැලී ගංදිය පිටාර ගලා කඳු නායගොස් ජනතාව පීඩාවට පත්වූ සතියක අන්තයේ අතීතය වෙත පිය මැන්නෙමු. ගංගා වතුර පිළිබඳ වූ සියවසේ අඳුරුතම මතකය අද්දර අපි නතරවීමු. ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසයයි. වාතලය කැළඹී ලකඹර කාලවර්ණ ගැන්වී මොරසූරන වැසි අද හැලෙන්නට විය. නැගෙනහිරත් රජරටත් කල්පාන්ත වරුසාවට ගොදුරු වූවා මෙන් විය. කවුරැත් ආරක්ෂිතයි සිතූ රට මැද කඳුකරය තෙතබරිත වී මහා කඳු බුරුල්වීමට පටන්ගෙන තිබුණි. සියවසේ භයංකාර ස්වභාවික විපතක සලකුණු සතර අතින් මතු විය. අපි මේ මතක ඔස්සේ යාත්‍රා කළෙමු.
පුවත්පත් සහ ගුවන් විදුලිය එකම සන්නිවේදන මාධ්‍යයන් වූ මෙම යුගයේ කාගෙත් අවධානය ඊට යොමුවී තිබිණි. මෙකල පුවත්පත්වලට අනුව ගෙවුණු අවුරුදු 500 කින් මෙපිට ශ්‍රී ලංකාවේ සිද්ධ වූ විශාතලම ස්වාභාවික විපත එය විය. කටකතා ආරංචි අපමණ විය. ඒවාට අනුව කුඹුරු අක්‌කර ලක්‍ෂ 8ක් පමණ ගංදිය බිලිගෙන තිබුණි. පළමු දින කිහිපයේ පමණක් මරණ සංඛ්‍යාව 200 කට වඩා වැඩි වූ බව කියැවිණි. උදම් වූ රළ ගෙඩි නැගෙනහිරෙන් ආක්‍රමණය කර තිබූ අතර චණ්ඩ මාරුතය නිවාස පමණක් නොව වසර සිය ගණනක් පැරණි මහා රුක්ෂයන්ද බිමහෙළා තිබුණි. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශය අලි ඇත්තු පවා ගංවතුරට හසුවූහ.
1957දී ඇති වූ මහා ගංවතුර නිසා අනුරාධපුර නගරය යට වී සිදුවූ විපත ඓතිහාසික කතාවක් ලෙසින් ලියවිණි. නොච්චියාගම වැව ඇතුළු වැව් කිහිපයක් බිඳී ගියේය. රජරට වැඩිහිටියන් අතර මෙම බිහිසුණු මතකය අද ක්ෂය වී පවතී. අනුරාධපුරය නගරයේ පනස් හතේ ගංවතුර පිළිබඳ මතකය ඉතුරුකර තිබෙන සලකුණු කිහිපයක් අදද දකින්නට ලැබෙයි. ඉන් එකක් නම් සිංහ කුළුණ අසල බිත්තියක සටහන් කොට ඇති ජල මට්ටමයි. අනෙක නම් අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සලකුණු කර ඇති ජල මට්ටමයි.
නැගෙනහිර පළාත පිළිබඳ සැලකීමේදී මන්නාරම, මඩකලපුව මුතූර් වැනි නගර මෙම මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබිණි. ඉමක් කොණක් නොපෙනෙන මහ සාගරයක් වගේ ලෙසින් මෙම නැගෙනහිර ගම්බිම් දිස් විය. මුත්තූර් නගරය සොහොනක් සේ වූයෙන් මිනිස්‌සු බොහෝදෙනා එය අතඇර ගියහ. උතුරු නැගෙනහිර දෙපළාතට චණ්ඩ වාසුළියේ බලපෑම වැඩිවිය. මුහුදු රළ ගොඩගැලූ බවට කතාන්දර නිර්මාණය වූයේ එබැවිනි. මිනිස්‌සු ගස් උඩ, කඳුවල, ගොඩවී ජීවිතය බේරාගැනීමට සටන් කළහ. බොහෝදෙනාට ඉතිරි වූයේ ඇඳිවත පමණි. ඇති හැකි නැතිබැරි බොහෝදෙනා බඩගින්නේ අනාථ වූහ. ජාති ආගම් කුල මල ගංවතුරේ හේදී ගියේය. සැම එක්ව ජීවිත වෙනුවෙන් සටන් කරන්නට වූහ. මෙම යුගයේ දකුණු ලක බොහෝදෙනා මේ පළාත්වල රාජ්‍ය සේවය නියුතු වී සිටියහ. ඔවුන් ගැන කිසිදු ආරංචියක් නොවූයෙන් දකුණ මේ ගංවතුරින් තැති ගත්තේය. ඇතැමුන් සිය නෑසියන් සොයා රට මැදට සහ නැගෙනහිරට ගමන් කිරීමට තැත් කළෝය.
මේ අතර තෙත බරිත වූ කඳු කඩා වැටුණි. එය තවත් ව්‍යසනයක් විය. කුරුණෑගල, ඇතාගල කන්ද නාය ගියේය. ඉන් මරණ රැසක් වාර්තා විය. රම්බොඩගල්ලේ කන්දක් කඩන් වැටුණි. ජීවිතයට හානි මෙන්ම නිවාස හානිද රැසක් වාර්තා වී තිබිණි. මාර්ග බොහෝමයක් ඇහිරිණි. හිඳගල, කුරුණෑගල, කඩුගන්නාව වැනි ප්‍රදේශවලින්ද විනාශය වාර්තා විය. මෙකල නායයාම් විපත් වාර්තා කෙරුණේ කඳුකඩා වැටීම් ලෙසිණි. රටේ විශාල ප්‍රදේශයකට ජල ගැල්ම බලපා තිබීමෙන් බොහෝ පුවත් පමා විය. අද මෙන් පුළුල් තාක්ෂණයක් එදා නොවිණි. සන්නිවේදන මාර්ග දුර්වල විය.
පනස්හයේ පෙරළියෙන් බලයට ආ අගමැති බණ්ඩාරනායක මේ විපත සමඟ සලිතව සිටියේය. එහෙත් ඔහු කාර්යාලයේ කාර්යශූර ලෙස ලෙස විපත කළමනාකරණය කරගන්නට උත්සාහ දැරුවේය. රේඩියෝ සිලෝන් එකෙන් ජාතිය ඇමැතූ හෙතෙම ජනතාව දැනුවත් කළේය. ඉන්දියාවෙනුත් ආධාර උපකාර ලබාගත් අතර බොහෝ රටවල් ලංකාව දෙස අනුකම්පාවෙන් බැලුවේය. අහසින් ආධාර දැමිය හැකි අහස් යාත්‍රා ඉන්දියාවෙන් ලබා දී තිබිණි. කාලයේ හැටියට එය විශ්වකර්ම වැඩක් විය. වෛද්‍යවරුන්ද ලංකාවට එවීමට ඉන්දියාව කටයුතු කළේය. කෙසේ නමුත් ආපදාවේ තත්ත්වය බලවත් විය. සති කිහිපයක් යනතුරු ගංවතුර බැස නොයාම විශාල ගැටලුවක් විය.
තත්ත්වය එසේ වුවත් ආධාර ලබාදීමට අද මෙන් ඕනෑම අයෙක්ට මැදිහත් වීමට එකල ආණ්ඩුව ඉඩ තැබුවේ නැත. අගමැතිතුමාගේ නියමය වූයේ විශේෂ කොමසාරිස්‌වරයකු වෙත ආධාර භාරදිය යුතු බවය. පැරැන්නන්ට අනුව කොළඹ කොඩිගහ වීදියේ රාජකීය නේවි කඳවුරේදී මෙම ආධාර බාර ගැනීම සිදුවිය. ඒවා බෙදාදීම කළේ ග්‍රාම සංවර්ධන සමිති හරහා සහ කාන්තා සමිති හරහාය. මෙකල සමිති ඉතා ශක්තිමත් වූවා මෙන්ම දහස් ගණක් පැවතුණි. අනාථ වූවන් රැඳී සිටි ස්ථානවලට සමිති මගින් ආධාර බෙදාදීම සිදුකළේය. සන්නිවේදන කටයුතු අති දුෂ්කර වූ නිසා ඇතැම් ප්‍රදේශයවලට වූ හානිය දැනගන්නට ලැබුණේ බොහෝ දිනකට පසුවය. අතුරුදන්වූවන් පිළිබඳව මෙන්න මරණ පිළිබඳ තොරතුරු ද ලබාගැනීම පහසු නොවීය. මරණ සංඛ්‍යාව 170ක් පමණ බව ඇතැම් තැනක සඳහන් වූවද එය කොතරම් නිවැරැදිදැයි අදත් ප්‍රශ්නයකි. කඳු කඩාවැටීම් සහ සැඩ පහර නිසා ආගිය අතක් නැතිවූවෝ බොහෝ වූහ.
මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කේ නිර්මාණය වුණු වාසුළියක් බව කියැවුණි. එය ලංකාවේ නැගෙනහිර වෙරළින් රට තුළට ඇතුළු වී තිබිණි. අද මෙන් එදා මේ චණ්ඩ මාරුතයට නමක් වීදැයි පැහැදිලි නැත. එහෙත් පනස් හතේ ගංවතුර යනුවෙන් මෙම ව්‍යසනය ඉතිහාසගත විය. 1957ට පෙරත් පසුවත් ශ්‍රී ලංකාව විශාල ගංවතුර ව්‍යසනයන්ට මුහුණ පෑවේය. ඒ අතරින් 1913, 1940, 1947, 1967, 1969, 1978, 1989, 1992 සහ 2003 යන වර්ෂ ප්‍රධාන කොට දැක්විය හැකිය. කෙසේ නමුත් සුනාමි ව්‍යසනය සිදුවනතුරුම පනස් හතේ ගංවතුරේ මතකය ලාංකීය ජනතාව සතු භංකාරම ස්වාභාවික ව්‍යසනයේ මතකය විය.
විසිවැනි සියවසේ රට මුහුණ දුන් දරුණුම ස්වාභාවික ආපදාවේ මතකය මෙසේ ගලා යයි. කාලතරණයේ මතක පොත දැන් අප වසා දැමිය යුතුය. වැස්ස අප ජීවත් කරවනවා මෙන්ම ජීවිත උදුරාගන්නා ස්වභාව ධර්මයේ තිළිණයකි. මේ ගෙවෙන්නේ වැසි සමයයි. ගංදිය පිටාර ගලා ඇත. මිනිසුන් විපතට පත්ව සිටිති. කාලය විසින් නැවත නැවතත් ස්වභාව ධර්මයාගේ ස්වභාවය අපට පසක් කරමින් සිටී. මේ අතීත ස්මරණය පාඩම් ඉගෙන ගැනීමට මිස අනෙකක් පිණිස නොවේ.
► චමිඳු නිසල්
මූලාශ්‍ර : පැරැන්නන්ගේ මතකය අන්තර්ජාලය සහ පැරණි පුවත්පත් වාර්තා.
සේයාරූ : අන්තර්ජාලයෙන්