2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

යෝජිත අලි රක්ෂිතයේ ඉඩම් කුට්ටි පිටින් බෙදලා

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

“හැමදාම අපි රෑ එළිවෙනකම් ගත කරන්නේ මරණ බයෙන්. අලි වැටක් තියෙනවා. ඒක නමට විතරයි. අවස්ථා ගණනාවකදීම මේ කාරණය බලධාරීන්ට කිව්වා. වැඩක් වුණේ නෑ. බලධාරීන්ගෙන් අපි ඉල්ලන්නේ මේ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන්න කියලයි. ජීවිත හානියක් වුණාම ඇවිත් ශෝකය ප්‍රකාශ කරලා ගියාට වැඩක් තියෙනවද?”

හම්බන්තොට වැලිවැව 14 කණුව පදිංචි ජී.ජී. ඥානවතී (47) ගේ දුක් ගැනවිල්ලයි ඒ. මහගල්වැව ඒ.ජී. රත්නසිරි මේ අලකලංචිය පැවසුවේ මෙලෙසයි.

“මම හැමදාම රෑ පැල් රකින්න කුඹුරට යනවා. කුඹුරට නොගියොත් අලි කුඹුර වනසනවා. ගෙදර නොහිටියොත් ගේ කඩනවා. මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. රෑට කුඹුරට යන්නේ දරුවෝ දෙන්නටයි නෝනටයි ගෙයින් එළියට බහින්න එපා කියලයි. කුඹුර අලි වැනසුවොත් අපි ජීවත් වෙන්නේ කොහොමද? අලි ඇවිත් ගේ කඩලා. නෝනා උදේ 6.00ට කෝල් කරලා ඒ බව කිව්වා. එතකොට මගෙ පපුව පත්තු වුණා.”

අප රටේ අලි මිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතරට පසුගිය කාලයේ හම්බන්තොටද ඇතුළත් වූයේ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙනි. ඒ ක්‍රියාමාර්ග නිසා අද වනවිට එහි බොහෝ ගම්මානවල ගැමියන් මුහුණදී සිටින ඛේදවාචකයේ පැතිකඩක් පමණි ඥානවතී සහ රත්නසිරිගේ ප්‍රකාශවලින් අපට හෙළිදරව් වුණේ.

වලව වම්ඉවුරු සංවර්ධන ව්‍යාපෘතිය සහ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ මහා පරිමාණ අක්‍රමවත් සංවර්ධන කටයුතු නිසා අලි ඇතුන්ට වාසස්ථාන අහිමි වී ගම්වැදිමට පටන්ගෙන ඇත්තේ වසර ගණනාවක සිටය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වර්ෂ දෙක තුන තුළ වගාබිම්වලට පැමිණි අලි ඇතුන් 26 දෙනෙක් පමණ ඝාතනය කර තිබේ. එමෙන්ම අලින්ගේ ප්‍රහාර නිසා 13 දෙනකුට පමණ දිවි අහිමි වී තිබේ. අට දෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇත. හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළේ මේ තත්ත්වය පාලනය කිරීමටය. නිජබිම් අහිමි වීමෙන් කේන්තියට පත් අලි තරමක් හෝ සැනසීම එම ව්‍යාපෘතියේ අරමුණ විය. හම්බන්තොට ප්‍රදේශයේ ජීවත්වන අලි ඇතුන් 450කගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමට එම රක්ෂිතය නිසා හැකියාව ලැබෙනු ඇත. එම රක්ෂිතය ප්‍රකාශ කිරීමට යෝජිත වූයේ 2009 අංක 22 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධිත) පනත අනුවය. එහෙත් තවමත් අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර නැත. ආණ්ඩු මාරු වුවත්, දහසක් පරිසර පොරොන්දු දුන්නත් හම්බන්තොට ජනතාව ගැන මෙන්ම අලි ඇතුන් ගැනත් බලන කෙනෙක් නැති බවයි ඉන් පැහැදිලි වන්නේ. හම්බන්තොට වන අලින්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට දේශපාලනඥයන්ට අවශ්‍ය වී ඇති බවකි ඉන් පෙනෙන්නේ.

හම්බන්තොට වරාය සඳහා හෙක්ටයාර් 1115ක් පවරාගත් අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා පවරාගත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 2000කි. ඒ ආශ්‍රිත මාර්ග පද්ධති, යටිතල පහසුකම් නැංවීමට තවත් වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් එළි කිරීම සිදුවිය. මේ නිසා පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පුජදුර, බඳගිරිය සහ තවත් ගම්මාන රාශියක් ආශ්‍රිතව දැවැන්ත අලි මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ තැනීමට පෙර සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවල පැහැදිලිව දක්වා ඇත්තේ එම සංවර්ධන ව්‍යාපෘති නිසා උන්හිටිතැන් අහිමිවන වන අලි ඇතුන්ට රුකවරණය ලබාදීමට හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

“නමුත් තවමත් මෙය ප්‍රකාශයට පත්කර නැහැ. කනගාටුදායකම සිද්ධිය නම් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් පවා කලින් කල මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීමය.” එලෙස පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකරය. මේ ගැන තවදුරටත් අදහස් දැක්වූ සජීව, “උඩවලව, ලුණුගම්වෙහෙර, බුන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි ඇතුන්ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන තමයි මෙම රක්ෂිතය යෝජනා කර තිබෙන්නේ. ගජමිතුරෝ වැඩසටහන යටතේ 2009-2011 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් තමයි මෙම අලි කළමනාකරණ රක්ෂිතය සැලසුම් කර තිබෙන්නේ. එයට අනුව රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලි වැට ඉදිකිරීම හා අලිමංකඩ විවෘත කිරීම ඇතුළු ක්‍රියාමාර්ග යෝජනා වී තිබුණා. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් සකස් කළ වාර්තා වනජීවී ප්‍රධාන කාර්යාලයට යොමුකර වසර අටකට වැඩියි. ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව ඉඩම් අමාත්‍යංශයට යොමුකර අවුරුදු හයක්. තවම කිසිම ප්‍රගතියක් නෑ.”

රක්ෂිත ප්‍රදේශ ජාලගත කිරීමට ප්‍රධාන අලිමංකඩ තුනකින් මෙම සැලසුම සමන්විතය. එයට අනුව බූන්දල ජාතික උද්‍යානයේ සිට අලි සංක්‍රමණය වන ප්‍රධාන අලිමංකඩ කොහොලංකල පිහිටා තිබේ. අලි කළමනාකරණ යෝජිත රක්ෂිතය ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට සම්බන්ධ වන්නේ උනාදවැව අලිමංකඩ හරහාය. මේ අලිමංකඩද මේ වනවිට ඇහිරී තිබේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වන වැද්දන්ගේ ගොදුරක් බවටද පත්ව තිබීම ඛේදජනකය.

“1979 අංක 23 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරියට පවරා දී තිබේ. අලි කළමනාකරණ රක්ෂිතයෙන් 40%ක් ආවරණය වන්නේ මහවැලි අධිකාරියේ ඉඩම්වලිනි. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ හයක් මේ වනවිට තිබෙන්නේ අනාරක්ෂිතවයි. මදුනාගල අභයභූමිය ආශ්‍රිතව පිහිටි කරඹගස්මුල්ල ඔසු වනය ඒ අතරින් ප්‍රධානයි.” පරිසරවේදී සජීව පවසයි.

මෙයට වසර 15කට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර් 32000ක් පැවතියද මේ දක්වා ඉන් හෙක්ටයාර් 15000ක් පමණ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදී අවසන්ය. පසුගියදා ගොන්නොරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා පැතිරී තිබෙන වනාන්තර ප්‍රදේශයේ අක්කර 500ක් ඉඩම් කට්ටි කර ව්‍යාපාරිකයන්ට විකුණා ඇති බව වාර්තා වේ. හැඩිල්ල අලිමංකඩද දේශපාලනඥයන් කිහිප දෙනකුගේ මැදිහත්වීම මත අවහිර කරමින් ඉදිකිරීම් සිදුව තිබේ. සමහරු ව්‍යාජ ඔප්පුවලින් අලිමංකඩ ඉඩම් විදුලිවැට ගසා වෙන්කරගෙන ඇත. මෙලෙස මහා පරිමාණයෙන් රාජ්‍ය ඉඩම් අවභාවිත කරද්දී මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා ප්‍රාදේශීය බලධාරීන් නිහඬ ව්‍රතයක් අනුගමනය කිරීම කනගාටුදායකය.

බලධාරීන්ගේ වගකීම් රහිත කටයුතු නිසා තැලෙන්නේ පොඩිවන්නේ ප්‍රදේශයේ ගොවි ජනතාවයි. අලි පහරදීමෙන් අහිමිවන්නේ ඔවුන්ගේ ජීවිතයි. වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද මෙලෙස අප සමඟ පැවසුවේ ඒ ගොවීන්ගේ අඳෝනාවයි.

“මේ පළාතේ සියයට 99ක් කරන්නේ ගොවිතැන. දවස පුරාම මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන එක. රෑට නින්දක් නෑ. වන අලි කරදරය හින්දා. ඉස්සර මෙහෙම අලි කරදර නෑ. ඒ කාලේ කලාතුරකින් තමයි අලි ගම්වලට කඩා පැන්නේ. දැන් අවුරුදු පහක විතර ඉඳන් ඒ කරදරය උග්‍ර වෙලා අද අලින්ට ඉන්න කැලේ නැති හින්දා ගම්වලට පනිනවා. මහ කැලේ මැද අක්කර 20-30 එළිකරලා. ඒවාට කරන්ට් වැඩ සවිකරගෙන ඉන්නවා. හවස හතර පහ වෙනකොට අලි ටික ගමට එනවා. මේ ගැටලුව අපි කියන්න තියෙන හැම තැනකටම කිව්වා. වැඩක් නෑ. තුවාලේ තියෙන කෙනාගේ වේදනාව දන්නේ ඒ අය.”

ශ්‍රී ලංකාවේ මුලින්ම අලි විදුලි වැටක් ඉදිකළේද හම්බන්තොටය. 1992 දී ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ආශ්‍රිතව ඉදිකළ එය රණවරාව විදුලි වැටයි. දිගින් කි.මී. 20කි. කොළඹ සිට විශේෂඥයෝ අදත් හම්බන්තොට සංවර්ධනයට පිඹුරුපත් සකසති. එහෙත් ප්‍රදේශයේ ජනතාව අලින්ට බියෙන් රැය පහන් කරති.

කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ / පසුබිම් කතාව - දිලිප් නුවන් ජයසේකර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00